Monday, June 27, 2011

අවුරුදු 03ට අඩු දරුවන්ට ඇස්ට‍්‍රා විෂ සහිතයි

ආහාර නිෂ්පාදන කරනු ලබන ආයතන ඊට අදාළව ක්‍රියාත්මකවන පනත්වල නීති රෙඟුලාසි නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පවසයි.  ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ඇස්ට්‍රා මාගරින් නිෂ්පාදනය වයස අවුරුදු 03ට අඩු දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බැවින් වහාම එය අදාළ නිෂ්පාදනවල ‍ලේබල්හි සටහන් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වෙනත් කිසිඳු වගකිව යුතු ආයතනයක් තමන්ට නියෝගයක් නිකුත් කර හෝ උපදෙස් ලබා දී නැතැයි යුනිලිවර් සමාගම පැවසීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

පසුගිය 23වනදා අනුරාධපුර කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියෝග කරනු ලැබුවේ ඇස්ට්‍රා මාගරින් වයස අවුරුදු 03ට අඩු දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බැවින් වහාම එය අදාළ නිෂ්පාදනයන්හී ලේබල්වල සහ ප්‍රචාරණ කටයුතුවල සටහන් කිරීමට පියවර ගන්නා ලෙසය.

මාගරින්වල අඩංගු ඊ - 319 නැමැති ප්‍රතිඔක්සීකාරකය දරුවන්ගේ වැඩීමට අහිතකර ලෙස බලපාන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පනත මගින් පෙන්වා දී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු සාමාජිකයින් තිස්දෙනෙකුගෙන් සමන්විති ආහාර උපදේශක කමිටුව’ විසින් ආහාර සම්බන්ධයෙන් වූ නීති රීති සකස් කරනු ලැබේ. ඒ අනුව ආහාර පනතට විටින් විට විවිධ සංශෝධනයන් ඉදිරිපත් කර එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරේ.

මෙවැනි තත්ත්වයක් හමුවේ ආහාර නිෂ්පාදන ආයතන එම නීති නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා අවධාරණය කරයි.

මේවන විට ඇස්ට්‍රා මාගරින් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව යුනිලිවර් සමාගම වෙත අධිකරණයෙන් නියෝගයක් ලබා දී ඇති අතර ඉදිරියේ දී ඔවුන් එම නීතිය කඩ කළ හොත් අධිකරණ නීතියක් උල්ලංඝනය කිරීම පඳනම් කර ගනිමින් නීතිය ඉදිරියට යෑමට සූදානම් බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කරයි .



Source:-srilankamirror