Tuesday, October 18, 2011

සුපර් සික්ස් ගීත ඇල්බමය එළිදුටු දා



 ‘Super Six’ උදාරගේ අලුත්ම චිත්‍රපටයයි. දැවැන්ත වියදමක් දරා නිම කළ මේ අපූරු චිත්‍රපටය සැවොම නම් කොට තිබුණේ වාණිජ චිත්‍රපටයක් ලෙසටය. චිත්‍රපටයේ එකඳු රූප රාමුවක්වත් නොදුටු අප එය කුමන තරාතිරමක චිත්‍රපටයක්දැයි අර්ථ ගැන්වීම නිශ්ඵල කටයුත්තකි. ඒ නිසාම මෙතැනට පැමිණි බොහෝ මාධ්‍ය හිතවතුන් චිත්‍රපටය පිළිබඳ තිබුණේ සුබ සිතිවිල්ලකි.

‘වැඩේ හොඳට ඇති නේද’

කෙනෙකුන් තවෙකෙකුගෙන් ප්‍රශ්න කරනවා මිස චිත්‍රපටය ගැන කියන්නට කිසිවකුටත් දෙයක් නොවීය.

පළමුව චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළි දැක් වූ අතර ඉන් පසුව චිත්‍රපටය පිළිබඳ විවිධ කතා සිව් දෙසින් ඇසුණි.

ඒ අතරතුර ‘Super Six’ චිත්‍රපටයේ නිළ වෙබ් අඩවිය වන www.supersix.lk එලි දැක්විණි.
සුපර් සික්ස් චිත්‍රපටයේ ගීත ඇතුළත් ගීත තැටිය මාධ්‍ය වෙනුවෙන් එළිදැක්විම සිදු වූයේ උදාර පල්ලියගුරුගේ, චිත්‍රපටයේ නිෂ්පාදක සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් අතිනි.

මුල්ම ගීත ඇල්බමය සිංහල සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් මහත්මිය වෙත පිරිනැමීමෙන් අනතුරුව නිර්මාණය සඳහා දායක වූ සියල්ලන් සඳහාම ගීත ඇල්බමය ප්‍රධානය සිදු වූයේ සියලු දෙනා සතුටු සිනාවක ගිල්වමිනි.

මහේෂ් දෙනිපිටියගේ සහ රංග දසනායකගේ අලංකාර ස්වර වියමනින් හැඩ වූ මේ ගීත දොළහ රචනා කොට තිබුණේ නිලාර් එන්. කාසිම්, කැළුම් ශ්‍රීමාල්, නන්දන වික්‍රමගේ සහ අජිත් කුමාරසිරි විසිනි.

ශිහාන් මිහිරංග, දේව් ද සිල්වා, සුරේන්ද්‍ර පෙරේරා, සංඛ දිනෙත්, උරේෂා රවිහාරි, රූකාන්ත ගුණතිලක, රෝස් අලගියවන්න, ශානිකා වනිගසේකර, අජිත් කුමාරසිරි, ජානක විතානගේ, ජයශ්‍රී , සමන් ලෙනින්, හිමාෂ මනුප්‍රිය මේ ගී අපූරුවට ගියා තිබුණි.

එකිනෙකට වෙනස් පද මාලා වෙනස්ම තනු නිර්මාණ, විවිධ හඬ, විවිධ නද යොදා ගනිමින් නිමවා තිබූ මේ ගීත දොළහට එකිනෙකට වෙනස් විචිත්‍ර ඒවාය. විටින් විට සභාවේ සියල්ලෝ මේ ගී රිසිසේ විඳ ගනු මම පසෙකට වී බලා හිඳිමි. මේ ගීත රූප සමඟ බලන්න නොබෝ දිනකින් හැකි වේවා යයි මේ අසන සැමගේ නොනිමි පැතුම බව මට හැඟුණි.


ශ්‍රිමතී, සදේශ් සහ උදාර වෙබ් අඩවිය එළි දක්වමින් සුමිත්‍රා පීරිස් මහත්මියට ගීත ඇල්බමය පිරිනැමූ මොහොත
ප්‍රධාන නළු නිළි පිරිවරේ සතුට සංගීතා සහ උදයකාන්ත