Tuesday, November 29, 2011

දක්‍ෂිණ අධිවේගී මාර්ගට ඇතුළු වූ වාහන 4530 අතරින් සිදු වූ ප්‍රථම අනතුරෙන් දෙන්නෙක් රෝහලේ


දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව සිදුවූ ප්‍රථම අනතුරෙන් රුසියන් ජාතිකයකු ඇතුළුව පුද්ගලයන් දෙදෙනකු සුළු තුවාල ලබා තිබේ. එම මාර්ගයේ කහතුඩුවට ආසන්න ප්‍රදේශයේදී ඊයේ  පෙරවරු 7.15 ට පමණ මේ අනතුර සිදුවූ අතර ඉන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හොරණ රෝහලට ඇතුළත් කර ඇත. කොළඹ දෙසට ගමන් ගත් එම වෑන් රථය පාලනය කරගත නොහැකිවීමෙන් මාර්ගය හරහා පෙරළී ඇති අතර අනතුරෙන් රුසියානු ජාතිකයාගේ වම් අතට තුවාල සිදුව තිබේ. එහි රියෑදුරුට ද සුළු තුවාල සිදුවී ඇතැයි දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් සහ නඩත්තු අංශයේ අධ්‍යක්‍ෂ ටී. පී. කේ. බණ්‌ඩාර මහතා "දිවයින"ට පැවසීය.

මීට අමතරව දක්‍ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව කොට්‌ටාව පිවිසුම් මාර්ගයට ඇතුළු වෙද්දී කැබ් රථයක්‌ තවත් වාහනයක ගැටී සුළු අනතුරක්‌ සිදුවී ඇතැයි ද කී එඇ මහතා මෙහි ගමන්ගත් වාහන කිහිපයක බල්ලන් සහ කුරුල්ලන් ගැටීමේ සිද්ධි කිහිපයක්‌ ද වාර්තා වී ඇති බවද කීය.

අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව ගතවූ පළමු පැය කිහිපය තුළ වාහන 4000 ක පමණ ප්‍රමාණයක්‌ ඊට ඇතුළු වී ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.




අනතුරු වූ සැණින්
සහන සේවා කඩිනමින්

 දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ සිදුවූ ප්‍රථම අනතුර පෙරවරුවේදී කහතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ සැනින් එම මාර්ගයේ මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ නිලධාරීහු පැමිණ සහන සේවාවල නිරත වූහ. කොළඹ බලා පැමිණෙමින් තිබූ නිල් පැහැති වෑන් රථයක්‌ මෙසේ අනතුරට ලක්‌ව පාර මධ්‍යයේ පෙරළී ගිය අතර ගිලන් රථ, ආපදා රථ, පොලිස්‌ රථ ආදිය එම ස්‌ථානයට ක්‍ෂණිකව පැමිණ තුවාලකරුවන් රෝහල්ගත කරනු ලැබිණි. ඒ සමගම අනතුරට පත් රථය මාර්ගයෙන් වහා ඉවත් කොට, සුන්බුන් ආදිය ද ඉවත් කර එම ස්‌ථානය සෝදා පවිත්‍ර කිරීමටද එම කාර්යමණ්‌ඩලය පියවර ගනු ලැබීය. එවැනි සේවාවන් සැලසුවද මෙවැනි අනතුරුවලට ලක්‌වන්නන්ගෙන් කිසිදු අයකිරීමක්‌ නොකෙරේ.



Source :- Divaina