Thursday, November 17, 2011

නාඳුනන කෙනෙක් තෑග්ගක් අරන් ගෙදරටම ආවා
















මීට වසර කීපයකට පෙර පැවැති ‘සිරස කුමරිය’ තරගාවලියේ ජයග්‍රාහිකාව වූයේ ඇයයි. ඇය ශලිනි තාරකා. ශලිනි මේ වනවිට කාර්ය බහුල රංගන ශිල්පිනියකි; නර්තන ශිල්පිනියකි. පසුගියදා නිමාවුණු ‘ඩාන්සින් ස්ටාර් ඩාන්ස්’ තරගාවලියේදී ඇයගේ නර්තන හැකියාව රටටම දැකගත හැකි විය.

සැබැවින් ම ඇය ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ පායා එන තාරකාවකි. අද ‘තරුවක් සමඟ වරුවක්’ වෙන්වන්නේ ශලිනි සමඟ කළ කතාබහ වෙනුවෙනි.

ඔබ මේ දිනවල කාර්ය බහුල ද?

“ඔව් තරමක් කාර්ය බහුලයි. ‘සිහින පියාපත්’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේ ම මේ දිනවල ‘නාමල් අරණ’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලටත් සහභාගි වෙනවා. ඒ රූපගත කිරීම් කෙරෙන්නෙ දඹුල්ලෙ.

ඔබ රංගනයෙන් දායක වුණු ‘සෙල්වම්’ චිත්‍රපටය ළඟදීම තිරගත වෙනවානේද?

“ඔව්, ‘සෙල්වම්’ චිත්‍රපටය ළඟදීම රට පුරා ම තිරගත වෙනවා. මේ චිත්‍රපටයේ මට රඟපාන්න ලැබුණේ මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වැනි අපේ සිනමාවේ දැවැන්තයින් සමඟ. ඒක මා ලද භාග්‍යයක්. මේ චිත්‍රපටය තමයි ජෝ අබේවික්‍රම මහත්තයාගෙ අවසන් රංගනය ඇතුළත් චිත්‍රපටය. ඒ වගේ ම මම එතුමා සමඟ රඟපෑ පළමු චිත්‍රපටය. ඒ නිසා මේ චිත්‍රපටය මට සුවිශේෂයි.

මේ චිත්‍රපටය මාත් එක්ක ප්‍රධාන චරිතය නිරූපණය කළේ ගෝකුලන් නම් දෙමළ තරුණයෙක්. ඔහුත් රංගනයට ආධුනිකයෙක්. මේ චිත්‍රපටයේ සිටි ප්‍රවීණයින්ගෙන් රංගනය ගැන ගොඩක් දේවල් අපිට දැනගන්න ඉගෙන ගන්න ලැබුණා. මට හැකි උපරිම දායකත්වය ‘සෙල්වම්’ චිත්‍රපටයට ලබාදුන්නා.”

මෙහි ඔබත් සමඟ රඟපෑ ගෝකුලන් පිළිබඳව ඔබ කලින් දැනගෙන සිටිය ද?

“මේ චිත්‍රපටය මූලික කතාබහේදී මට දැනගන්න ලැබුණා. ගෝකුලන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වෙලා සිටි කෙනෙක් කියල. ඒ වෙලාව මට බයත් ඇති වුණා. ඒත් ඔහු සමඟ වැඩ කරන විට ඒ බය ඉක්මනින් ම පහවෙලා ගියා. ඔහුට හොඳට සිංහල භාෂාව කතා කරන්න පුළුවන්. ගෝකුලන් මට දෙමළ භාෂාවත් ටිකක් ඉගැන්නුවා. ඔහු හොඳ රංගන හැකියාවක් තියෙන කෙනෙක්. අපි දැන් හොඳ මිතුරන්.

ඔබේ අධ්‍යාපන කටයුතු අවසන් ද?

“උසස් පෙළ ලිව්වේ පසුගිය අවුරුද්දෙ. විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න ලකුණු මදි වුණා. හැබැයි මගෙ අධ්‍යාපන කටයුතු මම නවත්වල නෑ. එය දිගටම කරගෙන යන්නයි බලාපොරොත්තුව.”

කලාවට පිවිසීම ඔබේ පැතුම් ඉටුවීමක් ද?

“නැහැ. මම කලාවට එන්න සිතාගෙන සිටි කෙනෙක් නෙවෙයි. ඒක සිදුවුණේ අහම්බෙන්. සිරස කුමරිය තරගයෙන් ජයගත්තට පසුව තමයි මම කලාවට ආවෙ.”

නර්තනයට කැමැත්තක් දැක්වූවේ කොයි කාලෙ පටන් ද?

“පෙර පාසල් යන්නත් කලින් ඉඳල තමයි මම නර්තනයට ඇලුම් කළේ. සාමාන්‍ය පෙළට මම උඩරට නර්තනය ඉගෙන ගත්ත. ඒ වගේ ම පාසලේ බටහිර නර්තන කණ්ඩායමෙත් මම හිටියා.”

ඔබ ලියු නවකතාව...?

“මම ලියන්න කියන්න ආසයි. මේ වනවිට නවකතා දෙකක් මම බාගෙට ලියල තියෙනව. ඒව තවම අවසන් කරගන්න බැරි වුණා. හැබැයි ඉදිරියේදී ඒවා ලියා අවසන් කරල මුද්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා.”

‘ඩාන්සින් ස්ටාර් ඩාන්ස්’ තරගාවලියේදී ඔබට ලැබුණෙ මොන වගේ ප්‍රතිචාර ද?

“මටත් පුදුමයි මම නොහිතපු තරමේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මට ලැබුණා. එම තරගයෙන් ඉවත් වුණු දවසේ ගොඩක් දෙනෙක් දුක් වුණා. මගේ ඉවත්වීම ගැන. එහිදී මට අලුත් නර්තන නිර්මාණ ඉදිරිපත් කරන්න හැකිවුණා. අදත් මඟ තොටේදී හමුවෙන රසික රසිකාවියන් මගේ නර්තනයන් ගැන සතුටින් කතා කරනවා.”

කලා ක්ෂේත්‍රයේ ඔබ කොතෙක් දුරක් යන්න බලාපොරොත්තු වෙනවද?

හැකි තරම් කාලයක් කලාව තුළ රැඳිල ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒත් මිනිසුන්ට ‘එපා වෙන’ තෙක් කලාව තුළ ඉන්න මගෙ බලාපොරොත්තුවක් නැහැ.

ඔබ දීපිකා පදුකෝන් වගේ කියල ඇතැමුන් කියනව නේද?

“ඔව්. සමහරු එහෙම කියනව. මම දන්නෙ නෑ ඒක එහෙමද කියල. නමුත් ඒ කතාවට මම කැමැතියි; ඒ මගේ ප්‍රියතම නිළිය දීපිකා පදුකෝන් නිසයි.

ඔබ ජීවත්වන මීගමුව පුරවරය කලාකරුවන් රැසක් ම බිහිකළ පුරවරයක් නේද?

“ඇත්තෙන් ම ඔව්. රුක්මණී දේවිය, විජිත මල්ලිකා, ලීනා ප්‍රනාන්දු වැනි දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියන් රැසක් ම ජීවත් වුණේ මීගමුවේ. ඔවුන් කිසිම කෙනෙක් මම සජීවීව දැක නෑ. ඒත් ඔවුන් ගැන මට හරිම ආඩම්බරයි.”

ප්‍රේමණීය ආරාධනා එහෙමත් ඔබට ලැබෙනව ඇති...?

“ඇත්තෙන් ම ලැබෙනවා. නමුත් මම ඒව ඉතාම ආදරයෙන් ප්‍රතික්ෂේප කරනවා. වතාවක් මගෙ ගෙදරටම එක පුද්ගලයෙක් තෑග්ගකුත් අරගෙන ආව. ඒ මගෙ 19 වැනි උපන්දිනය දා. ඒ වෙලාවෙ මම ගේ ඇතුළෙ හැංගුණා. ඇතැම් වෙලාවට එවැනි කරදරවලටත් මුහුණ දෙන්න සිදුවෙනවා. හැබැයි මම එවැනි මානුෂික හැඟීම් වලට හිනාවෙන්නෙ නෑ.”

ඔබේ පෙම්වතා පිළිබඳව සඳහන් කළොත්...?

එහෙම කෙනෙක් තවම නැහැනෙ. ගැළපෙන කෙනෙක් තවම මුණ ගැසුණේ නෑ.





ගාමිණී සුසන්ත

Source : Silumina