Wednesday, December 07, 2011

මොන තරම් ආදරේ කළත් ආත්මීය සහකරුවකු තාම නෑ



ආත්මීය සහකරු මගෙ
සොයා ආ මඟ වන්දනාවේ
නාඳුනන මිනිසුන්ට පෙම් කළ
මංමුලා වී හුදකලා වූ
අහිංසක ප්‍රේමවන්තිය මා 

නිරෝෂා විරාජිනී ය. උප්පැන්න සහතිකයේ හැටියට නම් විරාජිනී ලාලිත්‍යා ද සිල්වා ය. දශක දෙකක් පුරා අපේ ගී ලොව විරහිනිය ඇය ය. විරහ ගීයෙන් සුවහසක් ගීතලෝලීන්ගේ ආදරය දිනා සිටින නමුත් ආත්මීය සහකරු සොයා යන වන්දනා ගමනේ දී සිය ආත්මය තේරුම් ගැනීමට නොහැකි මිනිසුන්ට පෙම් කොට අද හුදකලා වී දිවි මඟ යනෙන ඈ  සමඟ හෘදයාංගම කතා බහකට එක්වූවේ මෙසේ ය.

”මම ආදරය කරද්දී සීමාවක් නැතුව ආදරේ කරන ගැහැනියක්. එවිට මම මගේ මුළු ජීවිතෙන්ම ආදරෙයි. ඒත් මගේ ජීවිතය, මාව සහ මගේ ඇතුළාන්තය හරිහැටි තේරුම් ගත් කිසි කෙනකු නැහැ. මං මොනතරම් ආදරේ කළත් මට අද මේ වනතුරු තවමත් ආත්මීය සහකරුවකු නැහැ.”

ජීවත් වෙන්න ආත්මීය සහකරුවකු අවශ්‍යම ද?

”ඔව්, මට මගේ ජීවිතය බෙදාගන්න විශ්වාසනීය කෙනකු ඕනේ. ආදරය, විවාහය වැනි දේවල් මේ ලෝකයේ පවතින්නේ ඒ අවශ්‍යතාවය නිසා තමයි.”

ආදරය, විවාහය වැනි ඒවා ඔබේ ජීවිතයේදි කෙටි දුර ධාවන තරග වගේ වේගයෙන් ඇරැඹි වේගයෙන්ම අවසන් වෙනවා. ඒ ඇයි?

”ඊට ප්‍රධාන හේතුව මට ආත්මීය සහකරුවකු හමු නොවීමයි. හොඳ සිතුවිලි ඇතුව තමයි ආදරයෙන් බැඳිලා විවාහයට එකතු වෙන්නේ. එකිනෙකාව ලබා ගන්න, අයිති කරගන්න ඉක්මන් වුණාට එකතු වුණාට පසුවයි තීරණය වෙන්නේ ‘අපිට එකට යන්න පුළුවන් ද කියලා. කොහොම වුණත් මට දුක තුළ ඉන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. ඉන්න පුළුවන් නම් ගහ බැණ ගෙන හරි අල්ලා ගෙන ඉන්න මම සූදානම්. හැබැයි පීඩනයකට මැදි වී අසහනයෙන් ඉන්නත් මම කැමැති නැහැ.”

ඔබ පවසන්නේ කුමනාකාර පීඩනයක් පිළිබඳව ද?

”ප්‍රධාන වශයෙන්ම සැකය නිසා ඇති වන පීඩනයට මම කැමැතිම නැහැ. විශේෂයෙන්ම මගේ වෘත්තීමය පැත්තෙන් වන බලපෑම් නිසා හෝ සමාජයෙන් ලැබෙන තොරතුරු නිසා මාව සැක කරනවා නම් එවැනි පීඩන තත්ත්වයන් විඳවන්න මට බැහැ. මේ සමාජයේ සැකයක් ඇති නොවී ජීවත් වෙන්න බැරි බව ඇත්ත. සැකයක් ඇති වුණෝතින් ‘මෙයා මගේ ආදරවන්තිය නේද’ කියා හිතලා කතාබහ කරලා ප්‍රශ්න විසඳගන්න ආදරවන්තයකුට පුළුවන් වෙන්න ඕනේ. අර මං මුලින් කිව්ව ආත්මීය සහකරුවා ජීවිතයට අවශ්‍යම වෙන තැනක් මේ. ඒ වුණාට ඔය ටික තේරුම් ගත්ත කෙනකු මගේ ජීවිතේට තවම හමුවෙලා නැහැ.”

ඔබට වැරැදීම් සිදු වුණේ ඔබ ඉක්මන් හිතුවක්කාර තීරණ ගත් නිසා නොවේද?

”ඒ නිසා පෞද්ගලික ජීවිතයේ නම් මට වැරැදීම් වී තිබෙනවා තමයි. ඒත් මං සැලැස්මකට වැඩ කරන කෙනෙක්. සැලැස්මක් නැතුව නම් කිසිම දෙයක් කරන්නේ නැහැ. වැරැදුණා හෝ හරි ගියා හෝ මං කරන්නේ මට හිතුණු දේමයි. කාටවත් ඕන ඕන විදිහට මාව මෙහෙයවන්න බැහැ. එකම දේට දෙන්නෙක් මුහුණ දෙන්නේ දෙවිදිහකට නිසා කාටවත් බැහැ තව කෙනකුව විවේචනය කරන්න. කොහොම වුණත් අපේ රටේ පිරිමි කැමැති නැහැ පිරිමියා අභිබවා යන කාන්තාවන්ට.”

ඔබ හිතන්නේ කාන්තාව පිරිමියා අභිබවා යා යුතු බවද?

”නැහැ. මම කියන්නේ මේ රටේ සමාජයේ ඉහළට යන කාන්තා චරිතයට පිරිමි අකැමැති වගයි. පිරිමි මූලික සමාජ පරිසරයක අපි ජීවත් වෙන නිසයි එසේ වී තියෙන්නේ.”

ඈත් වූ ආදරයක් නැවත ඔබට ලැබෙනවා නම්...?

”මම කැමැති නැහැ. මම මුළු ජීවිතෙන්ම ආදරය කරද්දී එය රැකගන්න උත්සාහ ගන්නේ නැතුව ඈත්වෙලා ආපසු ඇවිත් මට ආදරය දුන්නට මට ඕන නැහැ. මගේ ආදරේ බිඳුණොත් බිඳුණාමයි. සමාව දිදී ඉන්නේ නැහැ මම.”

”මවක් වෙන්න” ඔබ ආසයි. ආසාව ඔබ ඉටුකර ගන්නේ කෙදිනකද?

”කවදාද කියලා හරියට කියන්න බැහැ. හැබැයි කෙදිනක හෝ මම අම්මා කෙනෙක් වෙනවා. මට තවම අවස්ථාව තියෙනවා. විද්‍යාව අද හුඟාක් දියුණුයි. ඒ ආසාව මොන විදිහට හරි මම ඉටු කරගන්නවා.”

”ඔබේ දුරකථනයේ ස්ක්‍රීන් එකේ ඉන්න දරුවා කවුද?

”ඩැනියෙල් නවීත්, මගේ නංගිගේ පුතා. මම එයාගේ ලොකු අම්මා. මම දැන් වැඩියෙන්ම ආදරේ කරන්නේ එයාට තමයි.”

ඔබේ හිතට දැනෙන මිතුරුකම් ඇති මිතුරු මිතුරියන් කවුරුන් ද?

”මේ ජීවිතයේ අද වෙනකම් එහෙම කවුරුවත් නැහැ. සාමාන්‍යයෙන් මිතුරු මිතුරියන් ඉන්නවා. ඒත් මට මමමයි වැඩියෙන්ම මිතුරු.”

ඔබට දිනාගන්න බැරි වූ දේවල් මේ ලෝකයේ තිබෙනවාද?

”ඔව්. ආදරණීය බිරියක් සහ මවක් වීම තමයි මට මේ ලෝකයේ දිනාගන්න බැරි වූ දේවල්. ඒත් ඒවා දිනාගන්න මම උත්සාහ කරනවා හැමදාමත්.”

පරිසරයට ඔබ ආදරෙයි ද?

”ආදරෙයි. පිරිසුදුවට පරිසරය තියාගන්න මම කැමැතියි. සතුන්ට, ගහකොළට පවා මං ආදරෙයි. මම මලක් වුණත් කඩන්නේ නැහැ. පරිසරයේ පැවැත්මට ගහ කොළ මල් ඕනේ.”

පොත්පත් කියවනවාද?

”ඉස්සර නම් කියෙව්වා. දැන් කාලය මදි. ඒත් කාලීන ප්‍රවෘත්ති දැන ගන්න උනන්දු වෙනවා.”

ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරනවාද?

”මම දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. හැබැයි අන්තවාදීව ආගම අදහන්නේ නම් නැහැ. මට දෙවියන්ගෙන් බොහෝ දේ ලැබී තියෙනවා. මට දුක් වේදනා වූ විටදී දෙවියන් මට ශක්තිය දුන් අවස්ථා තියෙනවා. ‘අබ ඇටයක පමණ ප්‍රමාණයක් මම අදහනවා නම්’ එය මම මට ශක්තියක් කරගෙන තියෙනවා.”

අපි දැන් සංගීත ක්ෂේත්‍රය පිළිබඳව තොරතුරු බිඳක් කතා කරමු. අවුරුදු විස්සක් පුරා ඔබ සාර්ථකව මෙම ක්ෂේත්‍රයේ රැඳී සිටින්න අනුගමනය කළ ක්‍රියාමාර්ග මොනවාද?

”රැඳී ඉන්නම කියලා අනුගමනය කළ කිසිම ක්‍රියා මාර්ගයක් නැහැ. අධිෂ්ඨානය, ධෛර්්‍යය, කැපවීම තිබුණා. ගී ගයද්දී ඒ ගීත තුළ ජීවත් වෙන්න මා වෑයම් කළා. සහජයෙන්ම උරුම වූ ගායන හැකියාව, උපතින්ම ලැබිලා තියෙන කල්පනා ශක්තිය තුළින් පන්නරයක් ලැබුණා. අමරදේව සර්, නන්දා ඇන්ටි වැනි ප්‍රවීණයන්ගේ ගී ශ්‍රවණය කිරීමෙන් පොත්පත් වලින් සහ විදේශයන්ගෙන් ඉගෙන ගත් දේවල් බොහෝමයි. මට ඕන කළේ හොඳ ගායිකාවක් වෙන්න මිස ජනපි‍්‍රය ගායිකාවක් වෙන්න නෙමේ.”

නව පරපුර පිළිබඳව කියන්න කැමැති මොනවද?

”දක්ෂයින් ඉන්නවා. ඒත් ඔවුන්ගේ පැවැත්මේ ප්‍රශ්නයක් තිබෙනවා. හේතුව ඔවුන්ට තමන්ව තේරුම් ගැනීමේ හැකියාවක් නැතිකම. නාලිකා බලන්නේ ඔවුන්ට ජනපි‍්‍රය වැඩසටහනක් නිර්මාණය කරගන්නයි. නව පරපුරේ ශිල්පීන් දැන ගන්න ඕනේ තමන්ට පැවැත්මක් ඇති කරගන්න.”

ජනපි‍්‍රය ගී නැවත ගැයීම සුදුසුද?

”පැරැණි ජනපි‍්‍රය ගී නිර්මාණ යළි ප්‍රතිනිර්මාණය වීම සුදුසුයි. එවිට අලුත් ගීත රසික පරම්පරාවන්ටත් එම ගීත රස විඳින්න ලැබීමෙන් නිර්මාණයට පැවැත්මක් ඇති වෙනවා. සාර්ථක නිර්මාණ එලෙස යුගයෙන් යුගයට ප්‍රතිනිර්මාණය වෙමින් පැවතීම සුදුසුයි.”

ඔබේ ‘හදවතේ රිද්මය” ගැන කියනවා නම්...?

”ම්, ම්... මම අරඹන |”
Beats of Heart”  (හදවතේ රිද්මය) සංගීත ඇකඩමිය ගැන - නේ. ඒ ගැන නම් අපි කතා කරන්නම ඕනේ. මෙයින් මම කිරීමට බලාපොරොත්තු මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ මෙතෙක් කිසිවකු නොකළ දෙයක්. අපේ රටේ විශාරද අයත් ඉන්නවා ගායනයේදී දුර්වල. එමනිසා මතු පරපුරට මඟ පෙන්වීමක් දීමටයි මගේ අරමුණ. ඉන්දියානු සහ බටහිර සංගීත තාක්ෂණ අභ්‍යාස සමඟ ශාස්ත්‍රීය, සරල, ජන, නූර්ති ආදි විවිධ ගී ගායන ශෛලීන් අනුව හඬ පාලනය මෙන්ම හඬ වර්ධනය කරගැනීමේ අභ්‍යාස සහ වේදිකා මතදී පෞරුෂ ආකර්ෂණය ලබා ගැනීමට වැඩ මුළුවලින් මූලික දැනුමක් මගේ මෙම ඇකඩමියේදී ලබා දෙනවා. ප්‍රාසාංගිකව ගීතයක් නිවැරැදිව ගයන්න, තමන්ම තමන්ව හඳුන්වා දෙන්න, තමන්ගේ හැකියාව හඳුන්වා දෙන්න මෙන්ම ගායන ශිල්පියකු ලෙස සමාජයේ හැසිරෙන විට කටයුතු කළ යුතු ආකාරය ඇඳුම් අඳින පලඳින අයුරු පටන් මේ විෂයට ආදරය කරන මතු පරපුරට දැනුම ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. මෙය බොහෝ දුරට විනෝදජනක පාඨමාලාවක් වේවි සහභාගි වන සැමට.”

”Beats of Heart” ඇකඩමියට ඇතුළත් වෙන්නේ කොහොමද?

”වයස් භේදයකින් තොරව කවියක් හෝ ගැයීමේ හැකියාව ඇති ඕනෑම අයකුට මෙම ඇකඩමියට ඇතුළත් වීමට හැකියි. ඒ සඳහා උනන්දුව දක්වන සැමට මම ඇරියුම් කරනවා, 0777 676333 හෝ 071 5266333 දුරකථන අංකයකට අමතන්න කියා.”





Source :- Silumina