Thursday, January 19, 2012

පාසල් වෑන් රිය බස්‌ රියක ගැටී සිසුන් ඇතුළු 10 ක්‌ රෝහලේ











කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කීපයක අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක්‌ රැගත් වෑන් රථය ඊයේ (18 දා) පෙරවරු 6.40 ට පමණ අධික වේගයෙන් කොළඹ දෙසට ධාවනය කර ඇත. එහි රියෑදුරු අනාරක්‍ෂිත ආකාරයට වෑන් රථය ධාවනය කරද්දී එය පෞද්ගලික බස්‌ රථයක ගැටී තිබේ.

අනතුරින් වෑන් රථයට බරපතල හානි සිදු විය. අනතුරින් පසු වෑන් රථය තුළ සිරවී සිටි කුඩා දරුවන් ගල්කිස්‌ස නගරවාසීන් සහ පොලිසිය මගින් දැඩි පරිශ්‍රමයක්‌ දරා ඉවතට ගෙන ඔවුන් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.

සිද්ධිය සැලවූ වහාම එම ස්‌ථානයට ගිය ගල්කිස්‌ස මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කමල් පුෂ්ප කුමාර මහතා ඇතුළු නිලධාරීහු අනතුරට ලක්‌වූ වෑන් රථය සහ බස්‌ රථය එම ස්‌ථානයෙන් ඉවත් කර ඒ වන විට ගල්කිස්‌ස ප්‍රදේශයේ ඇති වී තිබූ දැඩි මාර්ග තදබදය අවම කිරීමට කටයුතු කළහ.

පාසල් වෑන් රථය අනතුරට ලක්‌වීමෙන් පසු ඒ තුළ සිරවී සිටි කුඩා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විලාප නඟමින් කෑගසා ඇති අතර වෑන් රථයේ දොරවල් කඩා දමා ඔවුන් බේරා ගැනීමට නගරවාසීන්ට සහ පොලිසියට දැඩි පරිශ්‍රමයක යෙදීමට සිදු විය.

අනතුරින් තුවාල ලැබූ කොළඹ නාලන්දා විද්‍යාලයේ කවිඳු සහ තර්ස්‌ටන් විද්‍යාලයේ දිවන්ත ශිෂ්‍යයන්ගේ තත්ත්වය තරමක්‌ බරපතල බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය. එහෙත් ඔවුන් කිසිවකුටත් ජීවිත අවදානමක්‌ නොමැති බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.

මෙහිදී තුවාල ලැබූ ශාන්ත ලෝරන්ස්‌ විද්‍යාලයේ සචිනි, ආනන්ද විද්‍යාලයේ ප්‍රභාෂ්, නාලන්ද විද්‍යාලයේ කනිෂ්ක, සෙනිත්, විශාකා විද්‍යාලයේ නෙත්මි, ගෝතමී විද්‍යාලයේ මල්කි යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.







Source Divaina