Saturday, April 23, 2011

මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගනී

මාලිංග බොරු ලෙඩ නිවාඩු දමා එංගලන්ත ටෙස්ට් සංචාරය මගහරිමින් අයිපීඑල් ක‍්‍රීඩා කරන බවට ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා සිදු කළ චෝදනාත්මක ප‍්‍රකාශය සිදු කර පැය 48 ක් ඇතුළත මාලිංග තමා ටෙස්ට් ක‍්‍රිකට් වලින් සමුගන්නා බවට ඉන්දියාවේ සිට නිවේදනය කර තිබේ.
මෙම ප‍්‍රකාශය ඔහු කරන අතරම පෙරකී චෝදනාවටද පිළිතුර සපයමින් කියන්නේ,තමාට සත්‍ය වශයෙන්ම රොගාබාධ තත්වයක් පවතින බවත් දණහිසේ පවතින ආබාධයට දැනටමත් ප‍්‍රතිකාර ගනිමින් සිටින අතර අත්හැරිය නොහැකි නිසා අයිපීඑල් ක‍්‍රිඩා කරන බවත් කෙසේ වෙතත් දීර්ඝ කාලීනව සැලකීමේදී මෙම ආබාධ සහිතව ටෙස්ට් ක‍්‍රීකට් ක‍්‍රීඩාවේ යෙදීම අහිතකර බව වෛද්‍ය උපදෙස වී තිබෙන බවත්ය.
තමන් එක්දින හා විස්සයි විස්ස තරග සඳහා ඉදිරියට සහභාගී වන බවත් මාලිංග කියා ඇත.
ශරීර සෞඛ්‍යය ගැන සිතා මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට මින් මාස තුනකට ඉහත පසුගිය ජනවාරියේ මාධ්‍ය සාකච්ඡුාවකදී ප‍්‍රකාශ කර තිබූ පසු ඒ පිළිබඳ පුළුල් ප‍්‍රචාරයක් ලැබුණ නමුත් ඔහුගේ නියෝජිත චාර්ලි ඔස්ටින් පසුව ප‍්‍රකාශ කළේ, ඔහු විසින් කරන ලද්දේ හරි තත්වය පිළිබඳ නොදැන කළ ‘නොමේරූ ප‍්‍රකාශයක්’ බවත් එය වලංගු නොවන බවත්ය.


කෙසේ වෙතත් ‘එංගලන්ත ටෙස්ට් ප‍්‍රශ්නය’ සමග මාලිංග යළි පෙර කතාවම කියා තිබේ.
මෙම ටෙස්ට් සමුගැනීම ක‍්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය වාර්තා කළත් තවම ක‍්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත්වී නැත.
ක‍්‍රිකට් පරිපාලනය සමග ඇති මතභේදයක් මත මාලිංගගේ ටෙස්ට් සමුගැනීම ඉක්මන් වූයේ යයි අද මේ සිද්ධිය වාර්තා කරන ඊඑස්පීඑන් ක‍්‍රිකට් අන්තර්ජාතික මාධ්‍යය පවා පැහැදිලි කර තිබේ.