Wednesday, May 04, 2011

බින් ලඩන් මරා දැමු හැටි

බින් ලාඩන් මරාදැමීමේ රහසිගත මෙහෙයුම සිදු කළ හැටි
අලූත්ම වාර්තා අනුව බින් ලාඩන් මරාදැමීමේ මෙම සූක්ෂ්ම මෙහෙයුම සැලසුම් කර ඇත්තේ මාස 9 කට පෙර පසුගිය අගෝස්තු මාසයේ සිටය. වයඹදිග පකිස්තානයේ ඇබොටබාට් ප‍්‍රදේශයේ බින් ලාඩන් සැගවී සිටින බවට ඔත්තුවක් ලබාගත හැකිව තිබෙන්නේ ඔහුට පණිවිඩ ගෙනගිය ඔහුගේ සහායකයෙකු ඇමරිකානු ඔත්තුසේවා අත්අඩංගුවට පත්වූ පසුවය. ඇමරිකානු ජනපතිවරයාත් තවත් කිහිප දෙනෙකුත් හැර කිසිවෙක් මේ තොරතුර පිළිබඳ දැනගෙන නොසිටි බව කියැවේ. මුලදී වාර්තාවී තිබෙන්නේ මෙහි කිසියම් ප‍්‍රබල ත‍්‍රස්තවාදියෙකු වාසය කරන බව පමණි. බින් ලාඩන් බව වාර්තාවී ඇත්තේ ඉතා මෑතකදීය. කෙසේ වුවත් නිසි මොහොත පැමිණෙනතුරු කලබල නොවී සිටින්නැයි ඔබාමා දුන් උපදෙස අනුව මෙම මෙහෙයුම පමා කළ බවද වාර්තාවේ.

බින් ලාඩන් වාසය කළ මන්දිරය ඇබොටබාට් ප‍්‍රදේශයේ පකිස්තානු හමුදා ඇකඩමියට මීටර සියයක් තරම් ආසන්නයේ පිහිටා තිබීමද විස්මිතය. පකිස්තානු සහය බින් ලාඩන් රැකවරණයට ලැබී තිබුනේදැයි සැකයක් ඇමරිකාවට පැවතිණි.මේ නිසාදෝ මෙම මෙහෙයුම ගැන ඇමරිකානුවන් පකිස්තානු බලධාරීන් කිසිවෙකු අවසන් මොහොත තෙක්ම දැනුවත් කර තිබුනේ නැත.

බින් ලාඩන් වාසය කළ මන්දිරය තට්ටු 2කින් යුතුවූ අතර එය වටා අඩි 18 ක පමණ උස්වූ තාප්ප බැඳ තිබිණැයි වාර්තා වේ. විශාල ආරක්ෂක ගේට්ටු දෙකක් ඇතුළුවන තැන තිබූ බවත් කිසිවෙකුට ඒ හරහා ගමන් කිරීම අපහසු මට්ටමක පැවතීම හේතුවෙන් මෙහෙයුම ගුවනින් කරන්නට සැලසුම් කළ බවත් වාර්තාවේ.

පාරක අවසානයේ ඉදිකර තිබූ මෙම විශාල නිවාසය අවට නිවාස හා සසැඳීමේදී අටගුණයකින් පමණ විශාල එකක් වූ බවද කියැවේ. 2005 වසරේදී පමණ මෙය ඉදිකර ඇති අතර අවට නිවැසියන් මෙය සුල්තාන්වරයෙකුට අයත් එකක් යයි විශ්වාස කර තිබිණි.
 මෙම නිවසේ බින් ලාඩන්ගේ ළාබාල බිරියත් ඇගේ සහෝදරයිනුත් තවත් පවුලේ උදවියත් එකට වාසය කළ බව කියැවේ.
පෙබරවාරිය මැද වන විට ආරක්ෂක කවුන්සලය සමග පස්වතාවක් පමණ රහසිගත සාකච්ඡා පැවැත්වූ බරක් ඔබාමා මෙම මෙහෙයුම පිළිබඳ සැලසුම් කටයුතු සිදු කළේය.

පාබල හමුදා මෙහෙයුමකින් මෙය සිදු කරන්නේ නම් පකිස්තානය සමග හවුල්විය යුතුවීමත් එය නුවණට හුරු නොවීමත් නිසා ගුවන් මෙහෙයුමකින් මෙය සිදු කරන්නට අවසානයේ තීරණය විය.
මෙම මෙහෙයුමට ඔබාමාගේ අවසරය ලැබුනේ පසුගිය සිකුරාදා බි‍්‍රතාන්‍යයේ රාජකීය මංගල්‍යය පවත්වන අතරතුරදීය. මෙහෙයුම සඳහා තෝරාගත්තේ ඇමරිකානු ත‍්‍රස්ත විමර්ශන කටයුතු සඳහා ප‍්‍රසිද්ධියක් උසුලන නාවික හමුදා කණ්ඩායමක් වන සීල්ටීම් සික්ස් පිරිසකි.මෙහෙයුම බාරව ක‍්‍රියා කළේ සී අයි ඒ අධ්‍යක්ෂ ලියොන් පැනෙටාය.

වර්ජිනියා නුවර සී අයි ඒ මූලස්ථානයේ පිහිටි රැස්වීම් ශාලාවේ සිට සන්නිවේදන උපකරණ මාර්ගයෙන් මෙහෙයුමට සජීවීව සම්බන්ධ වෙමින් සම්පූර්ණ අණදීම හා මෙහෙයවීම සිදුවිය.
දැඩි ප‍්‍රතිප‍්‍රහාරයකට සූදානමින් හෙළිකොප්ටරය මන්දිරය වෙත පහත් කරද්දී බින් ලාඩන්ගේ භටයින් එය වෙත රොකට් ග්‍රෙනෙඞ් එල්ල කළ අතර හෙළිකොප්ටරය ගිනිගෙන පැත්තකට කඩා වැටිණි. ඇමරිකානු සෙබළුන් ඉන් පැන මැෂින්තුවක්කු ප‍්‍රහාර එල්ල කරද්දී බින් ලාඩන්ගේ 

ආරක්ෂකයින් එතැනම මිය ගියෝය.මේ අතරතුර එක් වෙඩි පහරක් නිසා බින් ලාඩන්ද මිය ගිය අතර එය කවුරුන් විසින් තැබූ එකක්දැයි පැහැදිලි නොවිණි. මිය ගිය එක් අයෙකු බින් ලාඩන්ගෙ 24 හැවිරිදි පුත‍්‍රයෙකු බවද වාර්තා විය.
මේ අතර එතැන සිටි කාන්තාවක්ද මිය ගියාය. ඇය මිය යන්නට පෙර වෙඩිතැබූ අය විසින් ඇයව ප‍්‍රාණ ඇපයට තබා බේරෙන්නට තැත් කළ නමුත් සියල්ල මරා දැමුණ නිසා එම උත්සාහයෙන් පළක් නොවුණ බවද වාර්තාවේ.
මෙම සම්පූර්ණ මෙහෙයුම සඳහා ගතවී තිබෙන්නේ මිනිත්තු 40ක් වැනි කෙටි කාලයක් පමණි.
වසර 10 කට වැඩි කාලයක් තිස්සේ අල්ලා ගන්නට අපහසු වූ අංක එකේ ත‍්‍රස්තවාදියා මරා දැමිමේ මේ ඓතිහාසික මෙහෙයුම ඇමරිකානු ඉතිහාසයේ ඔත්තුසේවාවන් ලැබූ හොඳම ජයග‍්‍රහණය බවට දැන් පිළිගැනේ.
Source:Gossip Lanka News