Monday, August 22, 2011

පබා පබළු අමා ගැන කතාවක්


ශාන්ත සොයිසා ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක්. පබා, පබළු ප්‍රේක්ෂක සිත්වලට වඩා ළං වූ ටෙලි නාට්‍ය යුගළකි. ඒ නිර්මාණ ශාන්තගේය. මේ දිනවල විකාශය වන ‘අමා’ හි නිර්මාණවේදියා ද ශාන්තය.
‘මගේ 3 වන ටෙලි නාට්‍යය ‘අමා’ බදාදා හැර සතියේ අනෙක් දිනවල රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වෙනවා. මේ ටෙලි නාට්‍යයේ තේමාව ‘ආදරය’යි. පවුල කියන විෂය තුළ නිර්මාණය වන ‘අමා’ නගරය සහ ගම අතර සිදු වන සිදුවීම් මාලාවකින් යුක්තයි.
* ඔබේ ටෙලි නාට්‍ය ත්‍රිත්වයේම කතා රචකයා මහේෂ් රත්සර මද්දුමආරච්චි. ඔහුම පමණක් ඔබේ නිර්මාණවලට සම්බන්ධ කර ගැනීමට විශේෂ හේතුවක් තියෙනවද?
ඔව්, විශේෂ හේතුවක් තියෙනවා. මම දකින හොඳම හොඳ තිර රචකයා ඔහුයි. මහේෂ් කියන්නේ දක්ෂයෙක්. පබා ලබා ගත් ජනප්‍රියතාවයත් එක්ක මගේ ඊළඟ නිර්මාණය එක්තරා අන්දමකට අභියෝගයක් වුණා. ලංකාවේ අංක 1 ට පත්වූ ‘පබා’ හා සම ජනප්‍රියත්වයක් මගේ ඊළඟ ටෙලි නාට්‍යයට ඕන වුණා.
ඒක බැරෑරුම් කාර්යයක්. නමුත් ‘පබළු’ ඒ අභියෝගය ජය ගත්තා. අමා එකටත් මම මහේෂ්වම තෝර ගත්තේ ඔහු මගේ රුචිකත්වය හොඳින් හඳුනන නිසයි. අනික මම කවදාවත් ඔහුගේ කර්තව්‍යයට බලපෑමක් කරලා නැහැ. අහවල් චරිතය ඉස්මතු කරන්න වැනි ඉල්ලීම් මගෙන් ඔහුට නැහැ.
* ඒ ප්‍රකාශය ඔබ වගකීමෙන්ද පවසන්නේ?
ඉතාම වගකීමෙන් පවසන්නේ. ඒකට උදාහරණයක් මම කියන්නම්. පබා ටෙලි නාට්‍යයේ මගේ දුව රඟපෑවා. එයාගේ චරිතය දිගටම නොයන කොට එයා මගෙන් ඇහැව්වා ‘තාත්ති මගේ ඒවා තව නැද්ද’ කියලා. මං ඒ වෙලාවෙ දුවට කිව්වෙත් ‘ඒක මහේෂ් අන්කල්ගෙ දෙයක්’ කියලා. අනික මම එහෙම බලපෑමක් කළොත් ඒ හානිය ලැබෙන්නේ නිර්මාණයට. මං මහේෂ්ට කියලා තියෙන්නේ ‘අඩු ගානේ  Location එකකටවත් මම බලපෑම් කරන්නේ නැහැ. මහේෂ්ගේ හිතේ මැවෙන දේ ලියන්න’ කියලා.
* පබා සහ පබළු ටෙලි නාට්‍යයේ පටන් ගැන්මට වඩා ‘අමා’ පටන් ගැන්ම අලස බවක් ගෙන දෙනවා කියලා දැනෙනවා වගේම ඇතැම් චරිත නිරූපණය කරන්නන් ‘ඕවර් ඇක්ටිං’ කරන බවක් හැඟෙනවා?
ම් . . . අමා වෙනුවෙන් ඒ චෝදනාව ලැබුණෙ ඔබෙන්. හැම කෙනාම වගේ කතා කරලා කිව්වෙ අමා ධ් කොටස හොඳටම හොඳයි කියලා. කොහොම වුනත් අඩු පාඩු පෙන්වලා දෙනවට මම කැමතියි. කවුරු හරි එහෙම පෙන් වන්නේ නිර්මාණයට තියෙන ආදරය නිසා කියලා මම දන්නවා.
* ඔබේ ටෙලි නාට්‍යවල තාරුණ්‍යයේ සිටින අය වැඩිහිටි චරිත නිරූපණය කරනවා. ‘අමා’ හි නිරෝෂන් විජේසිංහ, චන්දික නානායක්කාර සහ නිරෝෂා හේරත් ඒ සඳහා උදාහරණ. ‘පබළු’ හි බිමල්, නයනා වගේම ගයත්‍රි රඟපෑවෙත් වැඩිහිටි චරිත. එවැන්නක් කිරීම එක්තරා අන්දමක අභියෝගයක් නේද?
මම කවදත් අභියෝගවලට කැමති කෙනෙක්. මගේ පළමු ටෙලි නාට්‍යයම මට අභියෝගයක්. විදේශීය ටෙලි නාට්‍යයකට ප්‍රේක්ෂකයා ඇබ්බැහි වෙලා හිටපු ගුවන් කාලය තමයි මට ලැබුණේ. ඒ වෙලාවේ අනිත් චැනල් දෙකක ප්‍රවෘත්ති විකාශය වෙනවා. ඒවාට තිබුණ ආකර්ෂණය කඩන්න අමාරුයි. නමුත් මම ඒ දේ කළා. වැඩිහිටි චරිතවලට තරුණ ශිල්පීන් තෝරා ගැනීමත් එවැනි අභියෝගයක්.
* එවැනි ක්‍රියා ඔබ කරන්නේ ඔබේ නිර්මාණයට වැඩි අවධානයක් යොමු කරවා ගැනීමට කිව්වොත්?
ඒ කතාවත් හරි.
* පබා සහ පබළු කියන ටෙලි නාට්‍ය දෙකේදීම අතරමඟදී නළු නිළියන් හිටි හැටියේම අතුරුදහන් වුනා. මෙය අමා නාට්‍යයටත් බලපායිද?
‘පබා’ එකට නම් ප්‍රශ්නයක් වුනා කියන එක මුළු ලංකාවම දන්නවා. එහිදී සමහරු ෂූටිං එනවා කියලා එන්නේ නැහැ. එවැනි දේ නිසා සමහර චරිත මඟදී හිටියේ නැහැ. ඒ ඇරෙන්න නළු නිළියන් සමඟ අපේ ගැටීමක් තිබුනේ නැහැ. පබළු එකට අපි ලෑස්ති වුනේ කොටස් 300 – 350 කට ගෙනි යන්න.
නමුත් රජය නිවේදනයක් නිකුත් කළා කොටස් 250 කට මෙගා නාට්‍ය සීමා කරන්න කියලා. ඒ වෙන කොට කොටස් 225 ක් අපි කරලා තිබුනේ. අන්තිමේදී අපි තීරණය කළා ප්‍රධාන චරිතවලට ප්‍රමුඛතාවය දීලා නාට්‍යය අවසන් කරන්න. ඒ ඇරෙන්න කිසිම කෙනෙක් අපි හැලුවේ නැහැ.
* මෙගා ටෙලි නාට්‍ය කරද්දී වැඩි කාලයක් එකම පිරිසක් සමඟ වැඩ කරන්න වෙනවා. එතනදි හැල හැප්පීම් ඇති වෙන්නේ නැද්ද?
නැහැ. මම මගේ් නිර්මාණවලට ගන්නේ ඒ නිර්මාණවලට සුදුසු අය සහ මාත් එක්ක වැඩ කරන්න පුළුවන් අයමයි. 2007 දීයි පබා පටන් ගත්තේ. ඒ නිෂ්පාදන කණ්ඩායම තමයි අදටත් මං එක්ක ඉන්නේ.
* හිතවත්කම්වලට රඟපාන්න දෙන්නේ නැද්ද?
කවදාවත් නැහැ. පබළු එකේ සයුරිගෙ තාත්තාට රඟපෑවේ මගේ අයියා. එහෙමයි කියලා මං අයියව මගේ හැම එකකටම ගත්තේ නැහැ. හැබැයි මං කරන නාට්‍යයේ චරිතවලට ගැළපෙනව නම් මම හිතවත් කියලා නොගෙන ඉන්නෙත් නැහැ.
* ඔබේ හැම නිර්මාණයකම ප්‍රධාන චරිතය ලැබෙන්නේ අලුත් කෙනෙක්ට?
ඔව්. උපේක්ෂා, අමිල තමයි ඒ පටන් ගැන්ම. මම කැමති මට විතරක් ආවේණික වුන අයට. මගේ ටෙලි නාට්‍යවල ඉන්න අය මගේ නිර්මාණය අවසන් වනතුරු වෙනත් මෙගා ටෙලි නාට්‍යයක රඟ නොපෑ යුතුයි.
* ඒක ආත්මාර්ථකාමී සිතිවිල්ලක් නේද?
වෙන්න ඇති, නමුත් මගේ නිර්මාණවල ඉන්න අයට මගෙන් අසාධාරණයක් වෙලා නැහැ. ඒ අයට ජනප්‍රියත්වයේ ඉහළම තැනට එන්න ලැබුනා. මම කියන්නේ තවත් මෙගා එකකට යන්න එපා කියලා මිසක් කොටස් 40 – 50 තියෙන නාට්‍යවලට යන්න එපා කියලා නෙවෙයි.
* ‘සිනමාව’ ඔබට දුර හීනයක්ද?
ඕනෑම අධ්‍යක්ෂවරයෙක්ගේ කැමැත්ත සිනමාව. කලින් අයි ටී එන් එකේ හිටපු සභාපතිතුමා අවුරුද්දකට චිත්‍රපට 2 ක් කරන්න මූලික අඩිතාලම දාලා තිබුනේ. මට සිනමාව ගැන ලොකු දැනුමක් නැහැ. ප්‍රසන්න විතානගේ මහතා සමඟ සාකච්ඡා කරලා චිත්‍රපටයක් කරන්න හිටියේ. ඔහු යුද්ධය සම්බන්ධ ප්ලොට් එකක් දුන්නා. ඒක කළා නම් හොඳයි. නමුත් විවිධ හේතූන් නිසා කලින් සභාපතිතුමා එය ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ නැවත මම නාට්‍යවලට හිත යොමු කළා.
හොඳ චිත්‍රපටයක් කරන්න කැමතියි. ඒ සඳහා සාකච්ඡා පවත්වනවා. ලබන අවුරුද්දේ ඒ හීනය සැබෑ වෙනවා.
* ඔබේ දුව වගේම පුතාත් රඟපානවා?
ඔව්. මගේ දුව වියානා සඳරාජිනී පබා ටෙලි නාට්‍යයේ රඟපෑවා. සඳරුවන් ජයවික්‍රමගේ ටෙලි නාට්‍යයකත් රඟපෑවා. පුතා අභිෂේක් පබා එකේ රඟපෑවා. ඔහුට තවම වයස අවුැදු පහයි. අමා ටෙලි නාට්‍යයෙත් ඔහු රඟපානවා. ඒ චරිතය දීර්ඝව යන චරිතයක්.
* බිරිඳ ගැන සඳහන් නොකළොත් එය අඩුවක් වේවි?
ඔව්. ඇය රසාංගිකා රාජිනි. මගේ නිර්මාණවලට ඇගෙන් ලැබෙන සහයෝගය අපමණයි.
* අවසන් වශයෙන් විශේෂ යමක් පවසන්න තියෙනවාද?
අනිවාර්යයෙන්ම ඔව්. මගේ පබා, පබළු, අමා ටෙලි නාට්‍යවල සිටි රංගන ශිල්පීන් ඒ කර්තව්‍යයන් අවංකව සහ ඕනෑකමින් කළා. ඒ වගේම අයි. ටී. එන් සියලු නිලධාරීන්ගෙන් මට සහයෝගයක් මිස බලපෑමක් ඇති වුනේ නැහැ. සියලු කාර්මික ශිල්පීන්ගෙන් ලැබුන සහයත් ඒ වගේමයි. ප්‍රධානම දේ ප්‍රේක්ෂකයා මගේ නිර්මාණ ප්‍රතික්ෂේප කළා නම් අද මට රැෙඳන්න බැහැ. ඒ සියලු දෙනාට මගේ හද පිරි ස්තුතිය පළ කරන්න ඕනෑ.

iriúh mqj;am; weiqfrks