Monday, September 12, 2011

සිංහරාජයෙත් සුදු වඳුරෝ


ලෝක උරුමයක් වන සිංහරාජයේ නෙළුව ලංකාගම ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රථම වරට සුදු වඳුරන් කණ්ඩායමක් හමුවී ඇතැයි ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. පසුගිය වසර දෙකක් තිස්සේ පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ඒකකයේ ආධාර ඇතිව සිංහරාජය පිළිබඳව කළ පරිසර ගවේෂණයකදී මේ සුදු වඳුරන් සිංහරාජයේ දකුණු ප්‍රදේශයේ විවිධ ස්ථානවල දක්නට ලැබුණු බවද ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා පවසයි.

මේ නව සොයාගැනීම පිළිබඳව අන්තර්ජාතික පාරිසරික සඟරාවක් වන ලෝරිස් සඟරාවේ සැප්තැම්බර් කලාපයේ 6 වැනි ඉදිරිපත් කිරීම ලෙස ඉදිරිපත් කර ඇත.

”මේ සුදු වඳුරන් පිළිබඳව අපිට මුලින්ම තොරතුරු දුන්නේ සිංහරාජයේ නෙළුව ලංකාගම ප්‍රදේශවලින් කැලෑව ඇතුළට ගිහිල්ල කිතුල් මදින අය. ඒ අයගේ උදව් ඇතිව අපේ සංගමයේ නියෝජිතයන් සුදු වඳුරන්ගේ ඡායාරූප පවා ලබා ගත්තා. ඒ අනුව මේ නව සොයා ගැනීම මෙරට වනජීවී සංරක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂ සොයාගැනීමක් වේවි.” මධුර ද සිල්වා මහතා පවසයි.

කෙසේ වුවත් මෙම අධ්‍යයනය අනුව මෙම සුදු වඳුරන් සිංහරාජයේ වෙසෙන කළු වඳුරාගේ වර්ණ විභේධනයක් බවත් ඇලි තත්ත්වයක් නොවන බවත් අපට පැහැදිලිව විද්‍යාත්මක දත්ත ලැබුණා.” ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සාමාජිකයෝ පවසති.




නිහාල් පී. අබේසිංහ

Source : Silumina