Thursday, September 08, 2011

මම ගෙදර ඉන්නවට ප්‍රසංග කැමතියි


2006 වසරේ "කැප්රි රූ රැජිණ" ලෙසින් ද නැවතත් එම වසරේදීම ඡවි කළ්‍යාණිය ලෙසින් ද කිරුළු පලන් ඇය නමින් වත්සලා දියලගොඩ වන්නීය. රූප රාජිණී තරග 02 කින් ම එකපිට ජයග්‍රහණය කිරීමේ වාසනාව මතින් කලා ක්‌ෂේත්‍රයට පිවිසී ඇය රඟපෑ ප්‍රථම ටෙලි නාට්‍යය වුයේ නාලන් මෙන්ඩිස්‌ගේ "සෙනෙහසට ආදරෙයි" ටෙලිනාට්‍යයයි. මෙම ටෙලි නාට්‍යයේ ඇය රඟපෑ මේනකාගේ චරිතයට වඩා මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයේ නිරාෂාගේ චරිතය අතිශයින් ම ජනප්‍රිය වූ අතර ඇය වටා ලක්‌ෂ සංඛ්‍යාත ප්‍රේක්‌ෂක පිරිසක්‌ එක්‌ වන්නට විය. අද වන විට ඇය රංගන ශිල්පිනියක ලෙස ඉදිරියට යමින් නිවේදිකාවක ලෙසද දක්‌ෂතා පෙන්වයි. මේ වත්සලා සමඟ  කළ කතාබහයි.

 වත්සලා මේ දවස්‌ වල මොනවද කරන්නේ

මේ දවස්‌වල මම "අමා" ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් සඳහා සම්බන්ධවෙනවා. ඔක්‌තෝම්බර් මාසයේ තවත් ටෙලි නාට්‍යයක වැඩ පටන් ගන්නවා. ඊට අමතරව දෙරණ නාලිකාවේ "මනාලිය" වැඩසටහනේ සහ සියත නාලිකාවේ "ටොප් හිට්‌ස්‌"  වැඩසටහන් වල නිවේදිකාව ලෙස කටයුතු කරනවා.

 නිවේදිකාවක්‌ ලෙස කටයුතු කරන්නට ලැබීම පිළිබඳව සතුටුද?

මුලින් ම නිවේදිකාවක්‌ ලෙස මට කිසිම අත්දැකීමක්‌ තිබුණේ නැහැ. මාව නිවේදිකාවක්‌ කළේ සියත නාලිකාවයි. සියත නාලිකාවේ හංසලී සහ සමෘද්ධි මගේ සැමියාගෙන් නිවේදිකාවක්‌ ලෙස කටයුතු කරන්න මම කැමති වේදැයි අසා තිබුණා. ඒ දවස්‌වල මම කලා කටයුතු වලින් තරමක්‌ ඈත් වෙලා සිටි නිසා ඒ ආරාධනාව පිළිගත්තා. මුලින් නිවේදන කටයුතු මට අසීරු වුණා. දැන් නම් ගාණක්‌ නැහැ.

 නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න වෙලාවට වත්සලා මොනවද කරන්නේ.

මමත් ප්‍රසංගත් ගෙදර ඉන්න දවස්‌වලට කොහේ හරි ඇවිදින්න යනවා. විශේෂයෙන් ම ඈත පිහිටි ලස්‌සන හෝටල් වලට හෝ ලස්‌සන තැන් බලන්න යනවා. නැත්නම් ඩිනර් අවුට්‌ යනවා.

 ගෙදර වැඩ කටයුතු කරගන්නේ තනියමද?

ඔව්. අපේ ගෙදර ඉන්නේ මමයි ප්‍රසංගයි විතරයි. අපේ ගෙදර ලොකු වැඩක්‌ නැහැ. උයන පිහන ඒවා මම කරනවා. ප්‍රසංග කැමතියි මම හදන කෑම කන්න. එයා කොහොමටත් කඩෙන් කන්න අකමැති කෙනෙක්‌. ගෙදරට අවශ්‍ය දේවල් ගන්න අපි දෙන්න ම එළියට යනවා. නැත්නම් ඉඩ ලැබෙන විදිහට අපි දෙන්නා බෙදාගෙන වැඩ කර ගන්නවා.

 තවමත් වත්සලා නිතරම ඔයාගේ අම්මලාගේ ගෙදර යනවද?

ඔව්. මගේ අම්මලා පදිංචි වෙලා ඉන්නේ කඩුවෙල. පුළුවන් හැම වෙලාවක ම අම්මලා බලන්න යනවා. එයාලත් අපේ ගෙදර එනවා. නැත්නම් ප්‍රසංග ගේ අම්මලා ඉන්නේ එයාගේ නංගිලාගේ ගෙදර .එහෙ යනවා.

 ඔබේ සොහොයුරියත් නිවේදන කටයුතු කරනවා නේද?

බුවිනි තව ම අධ්‍යාපනය ලබනවා. ඒ අතරේ දී ඇය සියත නාලිකාවේ "සිත්මල් හැන්දෑව" සහ "ප්‍රයිඩේ රික්‌වෙස්‌ට්‌ ෂෝ" සජීවී වැඩසටහන ඉදිරිපත් කරනවා.

 වත්සලා සැමියාගේ කටයුතු වලට සහයෝගය ලබා දෙනවාද?

ඔව්. ප්‍රසංග කරන්නේ මියුසික්‌ වීඩියෝ සහ දැන්වීම් වලට සම්බන්ධ ආයතනයක්‌. මම එයාගේ රාජකාරි කටයුතු වලට සම්බන්ධ නොවුණත් එයාගේ වැඩකටයුතු හොඳින් කරගෙන යන්න අවශ්‍ය ගෙදර වටපිටාව හරිගස්‌සලා දෙනවා.

 ඔබ කාර්යය බහුල වෙනවාට සැමියා කැමතිද?

කොහෙත් ම නැහැ. එයා කැමතියි මම ගෙදර ඉන්නවට. ඒ නිසා මම වැඩ බාරගන්නේ දවස්‌ දෙක තුනක්‌වත් ගෙදර ඉන්න පුළුවන් විදිහට. පවුල් ජීවිතයට මුල් තැනක්‌ දෙනවා.

 වත්සලාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මේ ඉන්න විදිහට ම සතුටින් හොඳින් ජීවත් වෙන එක තමයි. විශේෂයෙන් ම ප්‍රසංග, මගේ දෙමව්පියන්, ප්‍රසංගගේ දෙමව්පියන් සමග සතුටින් ඉන්න තමයි කැමති. මම කොහොමටත් සරල කෙනෙක්‌ නිසා ලොකු ලොකු බලාපොරොත්තු කිසිවක්‌ මගේ නැහැ.





 හරින්දී ලියනගේ
පින්තූර - සුජාතා ජයරත්න
 
Source: Navaliya