Thursday, September 08, 2011

ඓයිශ්වර්යා නඩු මගට


1994 වර්ෂයේදී ලෝක රූ රැජිණ කිරුළ දිනාගැනීමෙන් පසුව 1997වසරේදී බොලිවුඩ් සිනමාවට පිවිසි දැනට 37වන වියෙහි පසුවන ඓයිශ්වර්යා රායිගේ සිනමා දිවියෙහි මුල් වසර කිහිපය වෘත්තීය වශයෙන් එතරම් සාර්ථක නොවීය. ඇයගේ රංගන ජීවිතයේ ස්වර්ණමය යුගය එළඹෙන්නේ 1999වසරේදී රංගන දායකත්වය ලබාදුන් සංජය ලීලා බන්සාලිගේ "හම් දිල් දේ චුකේ සනම්" චිත්‍රපටයත් සමගය. එම චිත්‍රපටය සඳහා ඓයිශ්වර්යා හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය ද හිමිකරගත්තාය. "තාල්, ජෝශ්, අල්බේලා, දේව්දාස්, කාකි, ධූම් 2, ගුරූ, ජෝදා අක්බාර්, රාවන්, එන්දිරන් සහ ගුසාරිෂ්" ඇය‍ගේ සිනමා දිවිය හැඩකළ නිර්මාණ වූ අතර ඓයිශ් හොලිවුඩ් සිනමාව සඳහාද සිය රංගන දායකත්වය ලබා දී තිබේ. 1999වසරේදී සුපිරි නළු සල්මන් ඛාන් සමග ඓයිශ්වර්යා ප්‍රේමයෙන් බැඳුණු අතර එම සබදතාවය වසර 02ට පමණක් සීමා විය.

2007 වසරේ ජනවාරි 14වන දින ඇය අභිෂේක් සමග විවාහ ගිවිස ගනු ලැබීය. එම වසරේ අප්‍රේල් මස 20 වන දින මෙම යුවල සම්ප්‍රදායික හින්දු චාරිත්‍රානුකූලව විවාහ දිවියට ඇතුළුවිය. අභිෂේක් හා ‍ඓයිශ්වර්යා ලොව පුරා වෙසෙන බොලිවුඩ් රසික රසිකාවියන්ගේ නොමඳ අවධානය දිනාගත් තරු යුවලක් වන අතර ඔවුන් දෙදෙනා මව්පිය පදවිය ලබනු දැකීම ඔවුන් සැමගේ බලාපොරොත්තුව විය. අවස්ථා කිහිපයකදීම ඓයිශ්වර්යා මව් පදවිය ලැබීමට සැරසෙන බවට විවිධ පුවත් මතුවුවද එම සෑම පුවතක්ම අසත්‍ය කටකතාවලට පමණක් සීමාවිය. පසුව ඓයිශ් -අභී යුවලට මහත් සේ ආදරය කරන රසික රසිකාවියන්ගේ සිත් වෙත නොමඳ සතුටක් එක්කරමින් ඓයිශ්වර්යා ගැබ්ගෙන ඇත යන පුවත ඉන්දීය මාධ්‍ය විසින් තහවුරු කරනු ලැබීය. අභි‍ෂේක් බච්චන්ගේ ආදරණීය පියාණන් මෙන්ම සුපිරි ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පියෙකු වන අමිතාබ් බච්චන් ඨ්විට්ටෙර්වෙබ් අඩවියේ සිය වෙබ් පිටුව හරහා මෙම සතුටුදායක ආරංචිය පිළිබඳව දැනුම් දී තිබිණි.

ඓයිශ්චර්යාගේ ගැබ් ගැනීම නිසා ඇය විසින් ගිවිසුම් අත්සන් කර තිබූ ඇගේ නවතම චිත්‍රපටය වන මධුර් භන්ඩාකර් අධ්‍යක්ෂණය කරන "‍හිරොයින්" චිත්‍රපටයේ රංගන දායකත්වයෙන් ඉවත්වීමට ද ඓයිශ්වර්යාට සිදුවිය. පසුව එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා කරීනා කපූර් තෝරාගෙන ඇති බවට ද විවිධ වාර්තා පළවිය. චිත්‍රපටය වෙනුවෙන් ඓයිශ්වර්යා ලබාගෙන තිබූ අත්තිකාරම් මුදල සඳහා වූ චෙක්පත ද ඇය විසින් නැවත බාර දී ඇති බව වාර්තා විය. කෙසේවෙතත් චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඡායාරූපයට නගන ලද සිය රුව රැගත් ඡායාරූප ප්‍රසිද්ධියට පත්කිරීමට එරෙහිව ඓයිශ්වර්යා විසින් "හිරොයින්" චිත්‍රපටයේ නිෂ්පාදකයින් වන යූ.ටී.වී සහ මධුර් භන්ඩාකර්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සිය නීතිඥයින් මාර්ගයෙන් ඇයි චිත්‍රපටයේ නිෂ්පාදකයින් වෙත ලිපියක් යවා ඇති බව ද සඳහන්ය.   

 "චිත්‍රපටය වෙනුවෙන් ලබාගත් මුදල ඓයිශ් විසින් කල් තබාම නැවත බාරදී තිබෙනවා. එමනිසා ඇය විසින් අධ්‍යක්ෂ හෝ නිෂ්පාදකවරයා වෙත බාර දිය යුතු කිසිවක් ඉතිරි වී නෑ. තමන් බොරුකාරියක ලෙස පවසමින් මධුර් විසින් දැවැන්ත බ්ලොග් පිටුවක් රචනය කිරීම පිළිබඳව ඓයිශ් තවමත් කැළඹීමට පත්ව සිටිනවා. ආපසු පැමිණ චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කිරීමට ඓයිශ් නිතරම කැමැත්තෙන් සිටියා. නමුත් සියලු කරුණු වෙනත් දෙසකට හැරුණා"ඓයිශ්වර්යාගේ සමීපතමයෙකු සඳහන් කර තිබේ. කෙසේවෙතත් නිෂ්පාදකයින් දරන්නේ මෙවැනි අදහසකි. "මෙම ඡායාරූප භාවිත කිරීමට මධුර්ගේ අදහසක් නැහැ. නමුත් එය ඓයිශ් විශ්වාස නොකරන බවයි පෙනී යන්නේ. චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ලබාගත් ඓයිශ්වර්යාගේ ඡායාරූප විශිෂ්ට මට්ටමේ ඡායාරූපයි. නමුත් එම ඡායාරූප කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියට පත්වන්නේ නෑ. කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියට පත්නොවන ලෙස එම ඡායාරූප නිෂ්පාදන කණ්ඩායම භාරයේ පවතිනවා"








Source: Adaderana