Thursday, September 08, 2011

දක්‍ෂිණ අධිවේගී මාර්ගයට පළමුව අධි සුඛෝපභෝගී බස්‌ 2 ක්‌

ඉදිරියේදී විවෘත කිරීමට නියමිත දක්‌ෂිණ අධිවේගී මාර්ගයෙහි ප්‍රථමයෙන් අධි සුඛෝපභෝගී බස්‌රථ දෙකක්‌ ධාවනයට එක්‌ කරන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය.

මගී අවශ්‍යතාව පරිදි තවත් බස්‌රථ යෙදවීමටද පියවර ගන්නා බව සඳහන් කළ ඇමැතිවරයා ගමනාගමනයට එක්‌ කිරීමට සූදානම් කොට ඇති බස්‌රථ දෙකෙහි තත්ත්වය සහ සුවපහසු භාවය සම්බන්ධව නිරීක්‌ෂණය කිරීමට අතුරුගිරියේ පිහිටි අශෝක්‌ ලේලන්ඩ් වැඩබිමෙහි චාරිකාවක නිරත විය.

ආසන 41 කින් යුතු මෙම අධි සුඛෝපභෝගී බස්‌රථයක වටිනාකම රුපියල් මිලියන 9.3 ක්‌ පමණ වන අතර රථයෙහි වෙනමම සවිකරන ලද එන්ජිමක්‌ මගින් වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක වේ. මගීන්ගේ බඩු බාහිරාදිය ගෙන යැමටද මෙහි වෙනම ඉඩක්‌ පවතී.

මේ අතර කඳුකර සහ ග්‍රාමීය ප්‍රදේශවල ධාවනයට එක්‌කිරීම සඳහා අශෝක්‌ ලේලන්ඩ් ආයතනයෙන් මිලදී ගැනීමට නියමිත බස්‌රථවලද තත්ත්වය ඇමැති වෙල්ගම මහතා සොයා බැලීය.

ඉදිරියේදී එම මාර්ග සඳහා අලුතින් බස්‌රථ 700 ක්‌ යොදවන බවද කී ඒ මහතා සිය අරමුණ වන්නේ විධිමත් ප්‍රවාහන සේවයක්‌ මෙරට තුළ ඇති කිරීම බවද වැඩිදුරටත් පැවසීය.




අකිත පෙරේරා
Source: Divaina