Wednesday, September 07, 2011

ඇත්තටම සමනළී සිහිනට ආදරේද



සමනළී, දෙනෙත්ගේ යතුරු පැදියට නැංගේ ඉක්මනින් නිවෙසට යෑමේ අදහසිනි. ඈ දෙනෙත් සමග අහිංසක සමනළියක සේ පියඹා ගියාය. ගත වූයේ මඳ නිමේෂයකි.

"අම්මෝ . . ."

සමනළීගේ හඬ වාතලයට මුසු වූයේ මහා විපතක පෙරනිමිති සිහි කරවමිනි. වේගයෙන් පැමිණි යතුරු පැදියත්, වේගයෙන් පැමිණි මෝටර් රථයත් එකිනෙක ගැටී ඇත.

සමනළී තවමත් දෙනෙත්ගේ දෙඋරෙහි එල්ලී දෙනෙත් පියා ගත් වනමය.

"සමනළී . . . සමනළී . . ."

ඈ දෙනෙත් හැරියේ දෙනෙත්ගේ ඒ ඇමතීමෙනි.

"ඒ සිදුවීම දැන් මට මතක් වෙන කොටත් ඇග සීතල වෙනවා. කැමරාව තිබුණේ අපට තරමක් ඈතින්. වේගයෙන් ආව වාහන දෙක එකට ගැටෙන දර්ශනය තමයි එදා රූප ගත කළේ. වාහන දෙක ළං වෙන කොට මට හිතුණේ හැප්පුණා කියලයි. ඇත්තටම වාහන දෙක හැප්පුණා විතරක් නෙමෙයි මට හයියෙන් කෑ ගැහුණා. මම කොයි තරම් හයියෙන් කෑ ගැහැව්වද කිව්වොත් එතන හිටිය හැමෝම බය වුණා. අවසානයේදී ඒ රූප ගත කළ අවස්ථාව සජීවීව හොඳින් රූප ගත වුණු බව නම් දැනගන්නට ලැබුණා. අනූ නවයෙන් බේරුණ බේරිල්ල මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක්."

සොඳුරු යුවතිය සමනළීගේ මුවට නැගුණේ අහිංසක සිනහවකි. සුපුරුදු ආකාරයට සතියේ දිනවල රාත්‍රී 8.00 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඔබේ නිවෙසට පැමිණෙන "රන් සමනළයෝ" හි අහිංසක යුවතිය අප හා කතාබහට එක් වූවාය. ඒ ඈට එහි රූපගත කිරීමකදී මුහුණ පෑමට සිදු වූ ත්‍රාසජනක සිදුවීමක් ඔබට ගෙනහැර පාමිනි.

"ආශා එදිරිසිංහ"

"මේ දවස්වල මම බොහොම කාර්යබහුලයි. ඒ "රන් සමනළයෝ" ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් නිසා වගේම සෑම සෙනසුරාදාම ඔබගේ නිවෙසට පැමිණෙන "හීන හතක්" කියන ගී වැඩ සටහන නිසයි. රන් සමනළයෝ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් අවසාන වෙලා දුවන්නේ හීන හතක් වැඩසටහනටයි. මේ නිසා වෙනත් නිර්මාණයකට දායක වෙන්න තරම් කාලයක් මා ළග නැහැ. දොඩම් ගොඩ බදා ගත්තා වගේ කතා කරන හැම නිර්මාණයකටම දායක වෙන්න මම කැමැති නැහැ. එහෙම වුණොත් එක නිර්මාණයක්වත් හරියට රගපාන්න බැරි වේවි. ඒ නිසා මම නිර්මාණවලට කතා කළ හැමෝටම මේ කාරණය පැහැදිලි කරලා දුන්නා. පස්සේ ඔවුන් මාත් සමග ඒ අදහසට එකග වුණා."

මේ සොඳුරු යුවතිය සිය තීන්දු තීරණ පිළිබඳ සැල කළේ ඒ අයුරිනි.

"ඇත්තටම සමනළී සිහිනට ආදරේද?"

නරඹන්නන්ට ප්‍රහේළිකාවක් වූ අදහස මම ඇයට ඉදිරිපත් කළෙමි.

"මම හිතන්නේ සමනළීගේ හිතේ සිහින ගැන තියෙන ආදරේ සමනළීවත් දන්නේ නැහැ. ඒ ගැන දැන් දැන් ටික ටික ඇයට දැනෙන්න පටන් ගන්නවා."

"ඔය දෙන්නගේ ආදරය අතරට එන සිතුම්"

"සිතුම් කියන්නේ කාලයක් සිහිනට ආදරය කළා විතරක් නෙමෙයි එයා ළගින්ම හිටිය යුවතියක්. එයාට කාත් කවුරුත් නෑ. සැබෑ ජීවිතයේදී මමත් සිතුම් වුණා නම් කරන්නේ ඔය දේමයි. ඒ නිසා සිතුම්ට වරදක් කියන්න නම් බැහැ."

"සමනළී . . . සමනළී . . ."

මේ දවස්වල ආශා දකින බොහෝ ප්‍රේක්ෂකයෝ ඈව අමතන්නේ මේ ලෙසිනි.

සමහරු"රන් සමනළී" කියලා කතා කරන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට සිතට දැනෙන සතුට නම් කියලා නිම කරන්න බැහැ. අද වෙන කොට මේ රාත්‍රී 8.00 - 8.30 අතර විකාශන කාලය අනිත් විකාශන කාලයන් අතරින් ඉන්නේ පළමුතැනයි. ඒකට වඩාත් ස්තුතිවන්ත වෙන්න ඕන නරඹන්නන්ටයි. ඒ වගේම ස්වාධීන රූපවාහිනියට, එහි සභාපතිතුමා වන රොස්මන්ඩ් සේනාරත්න මහත්තයාටත්, සියලුම කාර්ය මණ්ඩලයටත්, "රන්සමනළයෝ" හි අධ්‍යක්ෂතුමා ඇතුළු පිටපත ලියන ප්‍රියාල් වීරසිංහ, එහි රගපාන රංගන ශිල්පීන්, ශිල්පිනියන්, කාර්මික ශිල්පීන් කියන හැමෝම මේ ටෙලි නාට්‍යය පළමු තැනට ගේන්න උදව් කළ අයයි. ඔවුන් සියලු දෙනාටම මේ ස්තූතිය හිමියි."

මේ අතරතුර ආශා අනාගතයේ සුබ සිහිනයක් පිළිබඳ සිහින දකින්නීය.

"මම කැමැතියි ඉදිරියේදී අධ්‍යක්ෂවරියක් වෙන්න. ඒ සඳහා අවශ්‍ය අත්දැකීම් වගේම අධ්‍යයනවලත් මම මේ දවස්වල නියැලෙනවා. අධ්‍යක්ෂවරිය කියන භූමිකාව සුළුපටු භූමිකාවක් නොවෙයි. සාර්ථක අධ්‍යක්ෂවරියක් වෙන්න කාලයත් ගත වේවි. ඊට පෙර සූදානම අවශ්‍යයි. මම තවම පුංචි කෙනෙක්. අනාගතයේ යම් දවසක ඒ හීනය හැබෑ කර ගන්න තරම් දැනුමක් ලැබුණු කාලයකදී අධ්‍යක්ෂවරියක් ලෙස මම කල එළි බසීවි. ඒක අද හෙට නම් වෙන එකක් නැහැ"

අනාගත බලාපොරොත්තු හද රැඳුණු සොඳුරු යුවතියක්

"සමනළී . . "

"ඉතිං අපට සමුගන්නට අවසරයි" ඇගේ රසිකයන් අමතන ඇමතුමෙන් මමත් ඇයව ඇමතීමි.


තිලානි ශානිකා විතානාච්චි 
Source : Sarasaviya