Wednesday, September 07, 2011

ගුරු යුවළගේ දරුවා පැහැර ගත් කණ්‌ඩායම දැලේ


මෝදර ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන 8 හැවිරිදි පුත්‍රයා පැහැරගෙන ගොස්‌ මරා දමන බව කියමින් තර්ජනය කර කොටහේනේ පදිංචි ගුරු යුවළකගෙන් රුපියල් ලක්‍ෂයක කප්පම් මුදලක්‌ ලබාගත් කප්පම් කණ්‌ඩායමක්‌ කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් (05 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කප්පම් කල්ලිය කොටහේන ප්‍රදේශයේ තවත් පවුල් දෙකකට තර්ජනය කරමින් රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් ඉල්ලා ඇති බව ද පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව ජංගම දුරකථන අංක කීපයක්‌ ඔස්‌සේ කළ පරීක්‍ෂණවලදී අදාළ කප්පම් කල්ලිය කොටුකර ගැනීමට හැකි විය.

මෙම කප්පම් කල්ලිය මෙහෙයවා ඇත්තේ කොළඹ හෝටලයක සේවය කරන පුද්ගලයකු සහ ගරාජයක්‌ පවත්වාගෙන යන පුද්ගලයකු විසින් බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

කොටහේනේ පදිංචි ගුරු යුවළගෙන් මොවුන් කප්පම් මුදල් ලබාගෙන ඇත්තේ මීට දින කීපයකට උඩදීය. ගුරු යුවළගේ අට හැවිරිදි පුත්‍රයා මෝදර ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන අතර එම දරුවා පැහැරගෙන ගොස්‌ මරා දමන බව කියමින් මොවුන් දිගින් දිගටම තර්ජනය කර තිබේ.

කප්්පම්කරුවන්ට ඇති බිය නිසා ඔවුන් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකර මෝදර ප්‍රදේශයේ එක්‌තරා ස්‌ථානයකට ගොස්‌ අදාළ මුදල් ලබාදී ඇත.

මෙම කප්පම් කල්ලිය, කොටහේන ප්‍රදේශයේ පදිංචි සැමියා විදේශ රැකියාවක නිරතව සිටින පවුලක බිරිඳගෙන් රුපියල් හාරලක්‍ෂයක මුදලක්‌ ද කප්පම් වශයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව කොටහේන ප්‍රදේශයේ තවත් පවුලකට තර්ජනය කරමින් එම පවුලේ දියණියගේ අසභ්‍ය ඡායාරූප තමන් සතු බව කියමින් රුපියල් ලක්‍ෂයක කප්පම් මුදල් ඉල්ලා ඇත.

මෙම කල්ලිය තවත් කප්පම් සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බවත් ඒ පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යන බවත් පොලිසිය පවසයි.





හේමන්ත රන්දුණු
Source: Divaina