Tuesday, September 06, 2011

පෙම්වතියක් ඉන්නවා. විවාහය කවදද දන්නැ

‘නිල් පාට රතු පාට දම් පාට
අපේ සිහින ලෝකේ
බමන මතින්
රොන් උරා රඟන
සමනල්ලු වාගේ’

මෙසේ ගයන අසේලගේ සහ ප්‍රේමය නම් වූ අසනිය කුසුම ලෝභ සිතින් තොරව සංසලාට පිදූ ආදරණීය ධනුකගේ අලුත්ම තොරතුරු දැනගන්න සාරංග දිසාසේකර සමඟ පිළිසඳරක 


‘මේ දවස්වල නම් මම ටිකක් කාර්යබහුලයි. බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ නම් මේ දවස්වල විකාශය වෙන්නෙ අවසන් කොටස් කිහිපය. රන් සමනළයෝ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලටත් මේ දිනවල සහභාගී වෙනවා. ඊට අමතරව ‘සුසීමා’ චිත්‍රපටයේ අසේලගේ චරිතය තුළින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ව හමු වෙනවා. සැප්තැම්බර් මාසයේ රුක්මල් නිරෝෂ් අධ්‍යක්ෂණය කරන ‘සුළඟ මත මොහොතක්’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

අසේලගේ චරිතය ගැන මොකද හිතෙන්නෙ?

අසේල මට මෑතකදී ලැබුණ වෙනස් ආකාරයේ චරිතයක්. මොකද අසේල කියන්නෙ සාමාන්‍ය තරුණයෙක් නෙවෙයි. ඔහු මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු කෙනෙක්. පෞද්ගලිකව මම තෘප්තිමත් මගේ චරිතය සම්බන්ධයෙන්.

සුසීමා ටෙලි නාට්‍යය නරඹලා තියෙනවද?

ඔව්. පොඩි කාලෙ සුසීමා ටෙලි නාට්‍යය නරඹලා තියෙනවා.

ටෙලි නාට්‍යයේ අසේලගේ චරිතයට පණ පොවන්නේ ජැක්සන් ඇන්තනී. එවැනි රංගධරයෙකු කළ චරිතයක් රිදී තිරයේ ප්‍රතිනිර්මාණය අභියෝගයක් වුණාද?

මම එහෙම ඒ ගැන එච්චර ලොකුවට හිතුවෙ නෑ. මීට පෙර අසේලගේ චරිතය කවුරු හෝ කරලා තියෙනවද නැද්ද කියන එක මට වැදගත් වුණේ නෑ. මට අවශ්‍ය වුණේ අධ්‍යක්ෂකතුමන් මගෙන් බලාපොරොත්තු වූ අසේලව කැමරාව ඉදිරිපිටට ගෙන ඒම විතරයි.

‘ධනුක’ ගැනත් කතා කරමු නේද?

ධනුකට ගොඩක් දෙනෙක් ආදරය කරනවා.

විශේෂයෙන් ගෑණු ළමයි නේද?

එහෙමත් නෙවෙයි. මට අම්මලාගෙනුත් ප්‍රතිචාර ලැබුණා ධනුකගේ චරිතයට. ඒ විතරක් නෙවෙයි, පොඩි දරුවොත් ධනුකට ගොඩාක් ආදරෙයි.

ධනුකගෙ චරිතයට හොඳම ප්‍රතිචාරය ලැබුණේ කාගෙන්ද?

මම ඉස්සෙල්ලා කිව්වා වගේ ‘ධනුක’ට විවිධ වයස්වල අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. මග තොටදී හම්බ වුණාම ගොඩාක් අය කියනවා, පුතේ ඔයා හොඳට රඟපානවා, අයියගේ රංගනයට හරිම කැමතියි වගේ දේවල්. ධනුකගේ චරිතය වෙනුවෙන් කෙනෙකු සංවේදී වෙලා ඔහුගේ හෝ ඇයගේ නෙතට කඳුලැල්ලක් එනවා නම් එතනදි තමයි මගේ රංගනයේ සාර්ථකත්වය මම දකින්නේ.

එහෙම සංවේදීව ප්‍රතිචාර ලැබුණු අවස්ථා නැද්ද?

අපොයි තියෙනවා. සමහර අම්මලාට මමත් එක්ක කතා කරන කොට ඇඬෙනවා. ඔවුන්ට ‘ධනුක’ කියන්නෙ චරිතයක් විතරක් නෙවෙයි. ඔවුන් ‘ධනුක’ දිහා බලන්නෙත් තමන්ගේම පුතෙක් දිහා බලන සෙනෙහසින්මයි.

ගායනයෙන් ඉදිරියට එන්න අදහසක් තියෙනවද?

එහෙම අදහසකුත් නැත්තෙත් නෑ. දැනටමත් ගීත කිහිපයක් මගේ ආදරණීය රසික රසිකාවන්ට තිළිණ කරලා තියෙන්නේ. ‘සුසීමා’ චිත්‍රපටයටත් මම ගායනයෙන් දායක වුණා. මට අවශ්‍ය මගේ ගී තුළින් රසික රසිකාවන් අතරට යන්න මිසක් තාත්තාගේ ගීත තුළින් මට ‘චරිතයක්’ වෙන්න අවශ්‍ය නෑ. නමුත් විශේෂ ඉල්ලීම්වලදී නම් මම තාත්තාගේ ගීත ඒ අය වෙනුවෙන් ගයනවා.

සාරංග ළඟදීම විවාහ වේවිද?

මට පෙම්වතියක් ඉන්නවා. නමුත් විවාහය කවදා කොතනදි වේවිද කියලා නම් දැන්ම කියන්න බෑ. ඒක ඕනෑම වේලාවක සිද්ධ වෙන්න පුළුවන්.



නිශංකා උඩුගම්පල
Source : Sarasaviya