Monday, October 10, 2011

දුමින්දගේ තත්ත්වය තරමක්‌ යහපත් වෛද්‍යවරු කියති


හිස අභ්‍යන්තරයේ හදිසි ශල්‍යකර්මයකට භාජන කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය සෑහීමකට පත්විය හැකි මට්‌ටමක පවතින බව සැත්කම සිදුකළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම ඊයේ (9 දා) සඳහන් කර ඇත.

කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතා පිළිබඳ පැහැදිලි යමක්‌ ප්‍රකාශ කළ හැක්‌කේ ඉදිරි පැය 48 න් අනතුරුව බවද වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්‌නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විඡේරත්න, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වන කනිෂ්ක ඉන්ද්‍රරත්න හා ජීවනී රාජසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් වෛද්‍ය කණ්‌ඩායමක්‌ විසින් දුමින්ද සිල්වා මහතාගේ ශල්‍යකර්මය සිදුකළ බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්‌. ඒ. කේ. ගමගේ මහතා "දිවයින"ට පැවසීය.

මුල්ලේරියාව ප්‍රදේශයේදී පෙරේදා (8 දා) ඇතිවූ වෙඩි හුවමාරුවකින් පසු බරපතළ ලෙස තුවාල ලැබූ දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කෙරුණු අතර එහිදී ඒ මහතා හදිසි ශල්‍යකර්මයකට භාජන කෙරිණි.

දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකි බව අදාළ විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම මගින් ඊයේ (9 දා) පෙරවරුවේ තමාට දැනුම් දුන් බව සඳහන් කළ රෝහල් අධ්‍යක්‍ෂවරයා මේ වන විට දුමින්ද සිල්වා මහතාගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය සෑම පහසුකමක්‌ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තිබෙන බවද අවධාරණය කළේය.



Source : Divaina