Monday, October 10, 2011

දුමින්දගේ කෙනෙක්‌ භාරත මහත්තයාගේ ඔළුවට වෙඩි තිබ්බා

දුමින්දගේ කෙනෙක්‌ භාරත මහත්තයාගේ
ඔළුවට වෙඩි තිබ්බා - දිවි ගලවා ගත් රියෑදුරු කියයි

"මුල්ලේරියාව වල්පොල හන්දියේදී වාහනයෙන් බැහැල ආව දුමින්ද සිල්වා භාරත මහත්තයට එකවරම පහර දුන්නා. මහත්තය බිම ඇදගෙන වැටුණා. ඒ වෙලාවෙ දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක්‌ භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. එතකොට කවුදෝ කෑගැහුවා. ඕකගෙ ඔළුවට තියන්න කියලා. එතන හිටපු දුමින්ද සිල්වගේ කට්‌ටියෙ කෙනෙක්‌ භාරත මහත්තයගෙ ඔළුවට පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කළා" යෑයි ඝාතනයට ලක්‌ වූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියෑදුරු තම ත්‍රාසජනක අත්දැකීම විස්‌තර කරමින් කියා සිටියේය.

මුල්ලේරියාව වල්පොල හන්දියේදී පෙරේදා (08 වැනිදා) සවස 3.30 ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට ලක්‌විය. වෙඩි ප්‍රහාරයෙන් ඒ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු ද මරුමුවට පත් වූ අතර තවත් අයෙක්‌ බරපතළ තුවාල ලැබීය.

මෙම වෙඩි තැබීමෙන් කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බරපතළ තුවාල ලැබූ අතර ඔහුගේ අනුගාමිකයෝ කීපදෙනකු ද තුවාල ලබා රෝහල් ගතකර තිබිණි.

මෙම සිද්ධිය වන අවස්‌ථාවේ භාරත ලක්‍ෂ්මන් මහතා ගමන් ගත් රථයේ රියෑදුරු අනූනවයෙන් දිවි ගලවා ගත් අතර ඔහු ඒ පිළිබඳව මෙසේ ද විස්‌තර කළේය.

"අපි වල්පොල හන්දියට එනකොට හවස 3.30 ට විතර ඇති. ඡන්දය අවසන් වෙන්න පොඩි වෙලාවක්‌ තිබුණේ. මුල්ලේරියාව පැත්තෙ ඡන්ද මධ්‍යස්‌ථාන කීපයක්‌ පරීක්‍ෂා කරන්න භාරත මහත්තයට යන්න ඕනෙ කිව්වා.

වල්පොල හන්දියෙදි දුමින්ද සිල්වා ප්‍රාඩෝ ජීප් තුනකින් ආවා. ඒ අය අපි ගිය වාහනේට මඟ හරස්‌ කරල නතර කළා.

දුමින්ද සිල්වා පිස්‌තෝලෙකුත් අරගෙන ජීප් එකෙන් බැහැල කුණුහරුපයෙන් බැණගෙන ඉස්‌සරහට ආවා. භාරත මහත්තයත් ඒ වෙලාවෙ වාහනයෙන් බැස්‌සා.

දෙන්නම බැනගත්තා. එක පාරටම දුමින්ද සිල්වා භාරත මහත්තයගේ කම්මුලට වේගයෙන් පහරක්‌ ගැහුවා. මහත්තයා ඒ පාරට බිම ඇදගෙන වැටුණා.

එතකොටම දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක්‌ ටී 56 ආයුධයකින් භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. භාරත මහත්තය කකුල අල්ලගෙන දඟලන්න පටන්ගත්තා. එතකොට කව්දෝ කිව්වා ඕකගෙ ඔළුවටම තියලා ඉවරයක්‌ කරලා දාපන් කියලා.

ඒත් එක්‌කම දුමින්ද සිල්වා ළඟ හිටපු අය පිට පිට භාරත මහත්තයගෙ ඔලුවටයි පපුව දිහාවටයි වෙඩි තියන්න ගත්තා.

භාරත මහත්තය ළඟ හිටපු ආරක්‍ෂක නිලධාරියො දෙන්න මහත්තයව උස්‌සගෙන ජීප් එක පිටුපසට යන්න හැදුවා. එතකොටම දුමින්ද සිල්වාගෙ කට්‌ටිය ඒ දෙන්නටත් වෙඩි තිබ්බා" යෑයි භාරත ලක්‍ෂ්මන් මහතාගේ රියෑදුරු වැඩිදුරටත් කියා සිටියේය.

පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී ඇති අන්දමට දුමින්ද සිල්වාගේ ආරක්‍ෂකයන් භාරත ලක්‍ෂ්මන් මහතාට වෙඩි තබන අවස්‌ථාවේ ඒ මහතාගේ ආරක්‍ෂකයන් ද පෙරළා වෙඩි තබා තිබේ.

දුමින්ද සිල්වා වෙඩි ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ ඒ අවස්‌ථාවේදීය.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විශේෂ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම භාරත ලක්‍ෂ්මන් මහතාගේ රියෑදුරුගෙන් ද ප්‍රකාශයක්‌ සටහන් කරගෙන තිබිණි. සිද්ධිය වන අවස්‌ථාවේ භාරත ලක්‍ෂ්මන් මහතා සමඟ සිටි පිරිසගෙන් දිවි ගලවාගෙන ඇත්තේ රියෑදුරු පමණි.

දුමින්ද සිල්වාගේ පිරිස පන්න පන්නා වෙඩි තබද්දී රියෑදුරු එම ස්‌ථානයෙන් පැනගොස්‌ දිවි ගලවාගෙන තිබිණි.

මෙම ප්‍රහාරයට පැමිණි දුමින්ද සිල්වාගේ පිරිස සතුව ටී 56 ගිනි අවි 7 ක්‌ තිබී ඇති බව ද පරීක්‍ෂණවලදී අනාවරණය විය. මෙම පිරිස භාරත මහතාගේ ආරක්‍ෂකයාට ද වෙඩි තබා ඝාතනය කර ඔහු සතුව තිබූ නීත්‍යනුකූල ටී 56 ගිනි අවිය ද පැහැරගෙන ගොස්‌ ඇති බවට තොරතුරු ලැබී ඇත.

මෙම ප්‍රහාරයෙන් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සිද්ධිය වූ ස්‌ථානයේම මියගියේය. ඒ මහතාගේ හිසට වෙඩි ප්‍රහාර කීපයක්‌ම එල්ල වී තිබිණි. ප්‍රහාරයෙන් භාරත ලක්‍ෂ්මන් මහතාගේ ආරක්‍ෂක නිලධාරියා සහ ඛනිජ තෙල් සංස්‌ථාවේ ආරක්‍ෂක නිලධාරියෙක්‌ බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගියහ.

භාරත ලක්‍ෂ්මන් මහතා සමඟ සිටි ඒ මහතාගේ සමීපතමයකු ද වෙඩි ප්‍රහාරයට ලක්‌ වූ අතර ඔහු බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ප්‍රතිප්‍රහාරවලින් තුවාල ලැබූ දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ අතර ඔහුගේ හිසට ද වෙඩි ප්‍රහාර දෙකක්‌ එල්ල වී තිබිණි.

හදිසි ශල්‍යකර්මයකට ඔහු භාජන කළ අතර ඊයේ සවස්‌ වනතුරුම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතාගේ සුවදුක්‌ බැලීම සඳහා ආරක්‍ෂක ලේකම්වරයා පෙරේදා සවස්‌ වරුවේම එහි ගිය අතර විශේෂ වෛද්‍ය කණ්‌ඩායම් ගෙන්වා ඔහුට ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පහසුකම් ද ලබා දුන්නේය.

භාරත ලක්‍ෂ්මන් මහතා ඝාතනය කළ පුවත සැලවූ වහාම කොලොන්නාව ප්‍රදේශයේ ජනතාව වියරු වැටී සිටි අතර ඔවුන් දුමින්ද සිල්වාගේ ආධාරකරුවන්ට පහර දෙමින් ඔවුන්ට අයත් දේශපාලන කාර්යාලවලට ගිනි තබමින් යකා නටන්නට පටන් ගත්හ.

දුමින්ද සිල්වා ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත කඩා වැදීමට උත්සාහ කළ භාරත මහතාගේ ආධාරකරුවන් පිරිසක්‌ ද පලවා හැරීමට පොලිසිය කටයුතු කළහ.

දුමින්ද සිල්වා කොලොන්නාව සංවිධායක ලෙස පත්කළ දා පටන් ඔහු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සමඟ නිතරම ගැටුම් ඇතිකර ගත් බව ආරංචි මාර්ග පවසයි.

කොලොන්නාව ප්‍රදේශයේ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් තිබූ මත්කුඩු ජාවාරමට එරෙහිව භාරත ලක්‍ෂ්මන් මහතා විශාල හඬක්‌ නැගුවේය. ප්‍රදේශයේ තරුණයන් මත්කුඩු උවදුරෙන් බේරා ගැනීමට ඒ මහතා විශාල උත්සාහයක ද නිරතව සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේ අවසන් රැස්‌වීමකදී භාරත ලක්‍ෂ්මන් මහතා කියා සිටියේ මත්කුඩු ජාවාරම්වල නිරත වන පුද්ගලයන් කොලොන්නාවෙන් පන්නා දැමීමට තමා සමඟ කොලොන්නාවේ ජනතාව එක්‌විය යුතු බවයි.

මෙම මත්කුඩු ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් සහ ඔවුන්ට රැකවරණය ලබාදෙන පුද්ගලයන් එහිදී දැඩි ලෙස විවේචනය කර ඇති භාරත ලක්‍ෂ්මන් මහතා මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කරන බව ද එහිදී කියා තිබිණි.

මැතිවරණය පැවැත්වීමට පෙර දින (07 වැනිදා) රාත්‍රි කොටිකාවත්ත ප්‍රදේශයේදී පාතාල අපරාධකරුවකු ඝාතනයට ලක්‌විය. එම පුද්ගලයා දුමින්ද සිල්වාට සහාය පළකරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූවකු බව පසුව හෙළිවිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එදින රාත්‍රියේදීම පුද්ගලයන් සිව්දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් සතුව තිබූ බව කියන ගිනි අවියක්‌ ද පොලිස්‌ භාරයට ගන්නා ලදී.

එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනාම භාරත මහතාගේ ආධාරකරුවෝ වූහ. එම පුද්ගලයන් මෙම ඝාතනයට කිසිසේත්ම සම්බන්ධ නොවූ පුද්ගලයන් බවත් ඔවුන් අත්අඩංගුවට ගත්තේ දුමින්ද සිල්වාගේ උපදෙස්‌ මත බවත් භාරත මහතා කියා තිබිණි.

මෙම සිද්ධිය නිසා දෙදෙනා අතර දැඩි විරසක බවක්‌ ඇතිවී තිබිණි.

මැතිවරණය පැවැති දින උදේ වරුවේ සිට දුමින්ද සිල්වා සිය සන්නද්ධ ගෝල බාලයන් ද සමඟ අති සුඛෝපභෝගී ජීප් රථ දහයක නැගී වැල්ලම්පිටිය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශවල සැරිසරමින් තමන් භීතියට පත්කරමින් සිටි බව එම ප්‍රදේශවල ජනතාව පැවසූහ.

අධික ලෙස බීමත්ව සිටි මෙම සන්නද්ධ පිරිස්‌ පාලනය කිරීමට හෝ ඔවුන් අත්අඩංගුවට ගැනීමට කිසිම පොලිස්‌ නිලධාරියකු ඉදිරිපත් නොවූ බව ද මුල්ලේරියාව ප්‍රදේශයේ ජනතාව කියා සිටියහ.






"අනේ තාත්තේ කතා කරන්නකෝ. තාත්තාට මොකද වුණේ. මගෙ රත්තරන් තාත්තේ දැන් අපිට ඉඳලා වැඩක්‌ නෑ" වෙඩි වැදී මියගිය භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ නිසල දේහය අසල ඔහුගේ දියණිය හඬා වැටෙද්දී අසල සිටි මැති ඇමැතිවරුන්ගේ දෙනෙත් වලින් ගලාගිය කඳුලැලි මෙන්ම කොළොන්නාව ජනතාවගේ විළාප තවමත් මගේ දෙසවන් තුළ රැව් පිළිරැව් දෙයි.



භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර යනු මොනතරම් සරල මිනිසෙකුදැයි දැන් කාටත් පෙනේ.

බොරැල්ල ජයරත්න මල් ශාලාවේ සිට ඔහුගේ නිසල දේහය ජාවත්තේ පිහිටි නිල නිවසට රැගෙන එන විට ඊයේ පෙරවරු 11.00 පසුවී යමින් තිබිණි.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ, සමාජ සේවා හා සුබ සාධන ඇමැති µSලික්‌ස්‌ පෙරේරා, ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා ඇමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු දේහය නිවස තුළට ඔසවා ගෙන යද්දී එම ස්‌ථානයට රැස්‌ව සිටි පිරිසේ නෙතඟට නැඟෙන කඳුළැලි සඟවා ගත නොහැකි විය. කුඩා මිනිසුන්ට ආදරය කළ මෙම ආදරණීය මිනිසාගේ දේහය ඔහුගේ කුඩා නිවසේ තැන්පත් කළ පසු දේහය සහිත පෙට්‌ටියේ පියන් විවර වනවාත් සමඟ මුළු පළාතම එකම විළාපයකින් පිරී ගියේ නෙත් අග නලියමින් තිබූ කඳුළු කැටවලට පණ දෙමෙනි. මේ කිසිත් නොදන්නා භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා උඩුකුරුව සිටිද්දී එම ස්‌ථානයට පැමිණි ඇමැතිවරුද ඉකි ගසමින් හඬන්නට වූහ. මේ සිය දේශපාලන සගයකු වෙනුවෙන් ඔවුන් හද පිටාර ගලමින් තිබූ කඳුළුමය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට අවසන් ගෞරව දැක්‌වීම සඳහා ජාවත්තේ නිවසට පැමිණ සිටියේය.

දැන් මොන ආරක්‍ෂාවක්‌ දුන්නත් වැඩක්‌ නෑ. හැම තැනම පොලිසිය යොදවලා, හැම තැනම හමුදාව එස්‌.ටී.එµa. සෙබළු දමලා. දැන් මොකටද මේ ආරක්‍ෂාව. ලකී අයියාට ආරක්‍ෂාව මදි කියලා එයා කී පාරක්‌ ආරක්‍ෂාව ඉල්ලුවද? පොලිස්‌පතිගෙන් ලිතව ඉල්ලීම් කළා. ඒත් ලැබුණේ ප්‍රභූ ආරක්‍ෂ නිලධාරීන් දෙපළක්‌ පමණක්‌ යෑයි භාරත ලක්‍ෂමන් මහතාගේ සමීප ඥතීහු අප සමඟ පැවසූහ.

"එදා එක්‌සත් ජාතික පක්‍ෂයේ අය අපිට පන්න පන්න ගැහුවා. ඒ කාලේ අපිව බේරාගත්තේ මේ ලකී අයියයි. ලකී අයියා කොළොන්නාවේ රජුයි. පහුගිය කාලේ කොළොන්නාව, කුඩු ජාවාරම්කරුවන්ට නතු වුණා. කුඩුකාරයො පිරිණා. ගෑනු ළමයෙකුට පාරෙ යන්න බැරි තැනට පිරිහුණා. ලකී අයියා පසුගිය 05 වැනිදා පැවැති රැස්‌වීමකදී කෙලින්ම මේ බව කිව්වා. ලකී අයියා එදා කී දේවල් මට මතකයි.

"කුඩුකාරයෝ පිරිලා. අපි කවුරුත් දන්නවා කවුද මෙහෙට කුඩු ගේන්නෙ කියලා. අපි අපේ කොළොන්නාවේ කොල්ලෝ ටික ආරක්‍ෂා කරගන්න ඕනේ අම්මේ.... තාත්තේ.... මේ ඡන්දෙදී අපි තෝරාගන්න ඕනේ කොළොන්නාව වනසන අපේක්‍ෂකයෝ නෙවෙයි. මාව මැරුවත්, මම මේ කොළොන්නාව රැක ගන්න කරන සටන නතර කරන්නේ නෑ. මට ආරක්‍ෂාවක්‌ නෑ. ඒත් මම ඉපදුන, මම ජීවත්වන මේ ගම රැකගන්නවා. ලකී අයියා එදා කළ කතාව කියන්නේ ඔහුගේ සමීපතම දේශපාලන හිතවතුන්ය.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන්ද ජාවත්ත, නිවසට වැඩම කර සිටියහ. උන්වහන්සේ කී දේද හරි වැදගත්ය.

මේක මහ නරක පූර්වාදර්ශයක්‌. පක්‍ෂය වෙනුවෙන් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා කළ කැපකිරීම් අපි දන්නවා. ඒත් දැන් බොහෝ දේ වෙනස්‌ වෙලා. දැන්වත් ඔය කොයි කවුරුත් තේරුම් ගන්න ඕනේ මේ තත්ත්වය නතර කරන්න. අපිත් මේ රට වෙනුවෙන් කැපවන අය. මේකද අපි රටට ඉතිරි කරපු දේශපාලනය. මෙහෙම දේශපාලනයක්‌ නම් අපි රටට ඉතිරි කළේ, මේ දේශපාලනය මොකටද? ඒ නිසා මේ සිද්ධිය තවත් එක සිද්ධියක්‌ නොකරගෙන රටත්, දේශපාලනයත් නිවැරදි මාවතට ගෙනඒම ඔය කොයි කාගෙත් වගකීම...... ඒ ටික උන්වහන්සේ කීවේ කවුරු උදහස්‌ වූවත් කියන්නට ඕනදේ නොබියව රට වෙනුවෙන් ප්‍රකාශ කරන බවද සඳහන් කරමින්.

පැයක පමණ කාලයක්‌ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දේහය ජාවත්තේ නිවසේ තැන්පත් කර තබා කොළොන්නාවට දේහය රැගෙන ගියේ 12.30 ට පමණය. කොළොන්නාව ප්‍රදේශයේ ආරක්‍ෂක විධි විධාන තරකර තිබිණි. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා උපන් නිවස සාමාන්‍ය නිවසකි.



කොළොන්නාවේ ජනතාව කියන්නේම ලකී අයියාට මේ දේ වනතුරු වගකිව යුත්තන් නිහඬව සිටි බවකි. ඉල්ලූ ආරක්‍ෂාව නොදුන් බවය.

එනිසා දැන් අපට ආරක්‍ෂාව අවශ්‍ය නැත. ලකී අයියාගේ අවසන් කටයුතු අපි කරන්නම්. පොලිසිය, හමුදාව ලකී අයියාගේ මළ සිරුරට ආරක්‍ෂාව දෙන්නේ ඇයි. අපි මේ අවසන් කටයුතු කරමු. දැන් අපට දේශපාලනයත් අවශ්‍ය නෑ. ආරක්‍ෂාවත් ඕන නෑ කියන තරුණ පිරිසක්‌ද එහි සිටිති.

විජය කුමාරතුංගයන් වරෙක නැක්‌සලයිට්‌ චෝදනාවට මුහුණ දුන් අවස්‌ථාවේ එහි අතුරු ප්‍රතිඵලයක්‌ ලෙස භාරතටද වරෙක විජය සමඟ සිර බත් කරන්නට සිදුවිය. වත්මන් ඇමැති µSලික්‌ස්‌ පෙරේරා එදා භාරත සමඟ එම දඬුවමට මුහුණ දුන්නේය.

එමෙන්ම විජය වැරදිකරුවකු කරන්නට එදා අසත්‍ය චෝදනා ගොනු කිරීමට පොලිසිය භාරතට යෝජනා කළ අවස්‌ථාවේ එය ප්‍රතික්‍ෂේප කළ භාරත, විජයට එරෙහිව තමා කිසිදු ක්‍රියාවක්‌ නොකරන බවට ප්‍රකාශ කිරීමට තරම් නිර්භීත අයකු විය.

කෙසේ හෝ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නම් වූ ජනහිතකාමී, සරල, සුන්දර මිනිසා නිහඬය. ඔහුගේ නිහඬ බවට හඬක්‌ වී සිටින්නේ ජනතාවය. ජනතාව සමඟ ඉතා සමීපව සිටිමින් සැබෑ දේශපාලනයක්‌ කළ මේ මිනිසා මරා දැම්මේ ඇයි? දේශපාලනය කියන්නේ මේකටද? මෙහෙම දේශපාලනයක්‌ කුමකටද? මියගොස්‌ සිටින භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ නිසල සිරුර දෙසබලා හඬන මේ මිනිසුන්ගේ නෙතින් ගලායන කඳුළු වලට වඩා මුවින් පිටවන දේවල් අසා සිටින්නට බැරිතරම් ශෝකජනකය.









හේමන්ත රන්දුණු 
Source : Divaina