Sunday, October 02, 2011

සැමියාගේ වයස කවුරුත් දන්නේ නෑ...

කස්‌තුරි සුවඳකි සත්තකින්ම ඔබ
සුළඟ විසින් ගෙන හැරලූ
ඉස්‌සර සුසුමක සුවඳ මතක්‌ කර
මා හද මැදටම හෙලපු...

ආසයි මං පියාඹන්න සිනමා සිත්තමේ මේ ගීතය ඔබට මතකද?. අපේ රටේ යොවුන් පරපුර අතර කතා බහට ලක්‌වුණු මේ ගීතය ගායනා කළේ නව පරපුරේ ගායිකාවක්‌ වන උමාරා රිෆ්කි විසිනි. පසුගියදා ඇය අලුත් වැඩකට අතගැසුවා. ඒ ගැන දැනගන්න අපි ඇයට කතා කළා.

උමාරා මොකක්‌ද මේ වස්‌සානය?

වස්‌සානය, උමාරා තමයි මගේ කුළුඳුල් ගීත එකතුව. මේ ගීත එකතුවේ ජනප්‍රිය ගීතයක්‌ තිබෙනවා වස්‌සානයට කියලා. ඒ මත තමයි වස්‌සානයට, උමාරා කියලා නම තැබුවේ.

වස්‌සානයේ අන්තර්ගතය ගැනත් කතා කළොත් ?

ගීත 11 ක්‌ තිබෙනවා. මේ ගීත එකතුව නිෂ්පාදනය කළෙත් මමයි. ගීත රචනයෙන් මට සහාය දැක්‌වූවා ෂෙහාන් ගලහිටියාව, තුසර කරුණානායක, මගේ අම්මා වන අයේෂා සිංහවංශ සහ එස්‌. මාධව. සංගීතයෙන් දායක වුණා භාතිය ජයකොඩි, මගේ මව වන අයේෂා සිංහවංශ, කෙන් ලෆාන් සහ ක්‍රිෂාන් යන පිරිස වගේම සුබන්ද්‍රියෝ. ඊට අමතරව ගායනයෙන් ගයාන් පෙරේරා, රන්දීර්, අශාන්ති සහ මගේ නංගි උමාරියා සම්බන්ධ වෙනවා.

භාතිය සන්තුෂ් සමග වැඩ කරන නිසාද සරිගම ප්‍රඩක්‌ෂන් හරහා මෙය ගෙන එන්නේ ?

සරිගම ප්‍රඩක්‌ෂන් කියන්නේ භාතියලගේ ව්‍යාපාරයක්‌. භාතිය සන්තුෂ් සමග තමයි මම වැඩ කළේ. අනික මේ ගීත එකතුව නිර්මාණය කරන්න ඔවුන් උදව් කළා. ඒ හින්ද ඔවුන් සමග මෙය රැගෙන එන්න අදහස්‌ කළා.

ඔවුන් නිසා නේද ඔබ ජනප්‍රිය වුණේ ?

සිංහල ගීත කලාවේදී භාතිය සන්තුෂ් නිසා තමයි මාව ප්‍රේක්‍ෂකයන් ගොඩක්‌ දුරට හඳුනාගත්තේ.

උමාරා කොහොමද ගායනයට යොමුවුණේ ?

මම ගායනයට යොමුවුණේ කුඩා කාලයේ ඉඳන්. මොකද මගේ අම්මා අයේෂා සිංහවංශ සහ පියා ටෝනි සිංහවංශත් ගායනයේ නියෑලෙනවා. ඒ නිසා මම පොඩි කාලයේ පටන් හැදුණේ වැඩුණේ සංගීතය සමගයි.

ගොඩක්‌ වෙලාවට ඔබලාගේ නිර්මාණවලට මිනිස්‌සු බණිනවා නේද?

අපි කාලයත් සමග ගමන් කරන්න ඕනෑ. අනික අපේ සංස්‌කෘතිය තියාගෙන ඉදිරියට යැමේ හැකියාවකුත් තිබිය යුතුයි. අලුත් පරපුරට අකමැති පිරිසකුත් ඉන්නවා. නමුත් අපි ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. මොකද අපි නිර්මාණයක්‌ කරන්නේ ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙන යන්න.

තවත් චෝදනාවක්‌ තමයි සජීවීව ගීත ගයන්න බැහැ කියන කතාව. ඇත්තටම උමාරාට සජීවීව ගීත ගයන්න බැරිද?

ඕක සම්පූර්ණ වැරදි කතාවක්‌. රූපවාහිනි සාකච්ඡාවලට වගේම රේඩියෝ සාකච්ඡාවලට ගිය විට අපි සජීවීව ගීත ගායනා කරනවා. අනික මං එවැනි වැඩසටහන්වලට ඉදිරිපත් වෙන්නේ ගිටාර් වාදකයෙකුත් සමග. සජීවි ප්‍රසංගවල දී ට්‍රැක්‌ එකක්‌ එක්‌ක ගීත ගායනා කරනවා. අපි කොහොමටත් ට්‍රැක්‌ එකක්‌ දාලා මයිම් කරන්නේ නැහැ.

පසුගිය දවස්‌වල සම්මානයකුත් ලැබුණා කියලා ආරංචියි ?

මමයි මගේ නංගි උමාරියයි යුක්‌රේනයේ පැවැති ජාත්‍යන්තර ගායන තරගයකට සහභාගි වුණා. ලෝකයේ රටවල් 17 ක්‌ මෙයට සහභාගි වුණා. එහිදී අපිට ලෝකඩ පදක්‌කම ගෙන එන්න පුළුවන් වුණා.

ඒකද ලංකාවේ හිටියේ නැත්තේ ?

ඔව්.

සැමියා සමග ගෙවන ජීවිතය ?

විවාහ ජීවිතය නම් හරිම සුන්දරයි.

සැමියා ලංකාවට ආවේ ගීත එකතුව එළිදක්‌වන නිසාද?

නැහැ. මගේ මහත්තයා ව්‍යාපාරිකයෙක්‌. ඒ හින්දා එයා වැඩිපුර ජීවත්වෙන්නේ හොංකොංවල. එයාගේ ව්‍යාපාරවලට උදව්වෙන්න මම යනවා. සංගීත වැඩකරන්න නිතර ලංකාවටත් එනවා.

ඔහු ටිකක්‌ මාධ්‍යය ඉදිරියට එන්න අකමැතිලු නේද? ඇයි ඒ ?

එයාට මාධ්‍ය සමග වැඩකිරීමේදී මට වගේ අත්දැකීමක්‌ නැහැ. අනික බැඳපු අලුත නිසා එයා තවම මාධ්‍ය සමග වැඩකරන්න හුරුවෙනවා.

සැමියාගේ විස්‌තර ටිකකුත් ඔබේ රසිකයන්ට කියමුනේද?

මගේ සැමියාගේ නම රිෆ්කි ෆාමි. ඔහු නම් හැම වේලේම කියන්නේ වයස 21 යි කියලා. ඒක පෞද්ගලිකයි රහසිගතයි. අපි කවුරුත් දන්නේ නැහැ එයාගේ හරි වයස කීයද කියලා. ඔහු ව්‍යාපාරිකයෙක්‌.

ඇයි මේ වයස කියන්න අකමැති ?

වයස 21 ට තව අංක කිහිපයක්‌ එකතු කරන්න තියෙනවා කියලයි එයා කියන්නේ.

සැමියා විදෙස්‌ ගතවෙලා. ඔබ ගොඩක්‌ වෙලාවට ලංකාවේ. සාර්ථක පවුල් ජීවිතයට මෙය බාධාවක්‌ නේද?

කොහොත්ම බාධාවක්‌ නොවෙයි. ඒකට හේතුව ඔහුට මා ගැන තිබෙන විශ්වාසය.

උමාරා ගීත ගයනවාට ඔහුගේ විරුද්ධත්වයක්‌ නැතිද?

කිසිම විරුද්ධත්වයක්‌ නැහැ. මගේ මහත්තයා මගේ හොඳම රසිකයා.

ඔබ ගොඩක්‌ වෙලාවට වැඩ කරන්නේ තරුණයන් සමග. එයට ඔහුගේ විරුද්ධත්වයක්‌ ඇතිනේ ද ?

මං ගැන ලොකු විශ්වාසයක්‌ තිබෙන නිසා කිසිම විරුද්ධත්වයක්‌ නැහැ. මම කරන හැම දෙයක්‌ම ඔහු දන්නවා. ඒ වගේම එයා කරන හැම දෙයක්‌ම මම දන්නවා. බී ඇන්ඩ් එස්‌ පවුලට මගේ සැමියා අලුත් සාමාජිකයෙක්‌ කියල කියන්න පුළුවන්.


 

දිනේෂ් විතාන
Source : Divaina