Monday, October 03, 2011

ආයෙත් රඟපානවට සැමියා කැමැති වුණා

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ ‘නිරාශා’ ඔබට මතකද? ‘නිරාශා’ රූපවාහිනී ප්‍රේක්ෂකයින් ගේ බොහෝ ආදරයට පාත්‍රවූ චරිතයක්. නිරාශා ගේ චරිතය නිරූපණය කළේ වත්තලා දියලගොඩ.

වත්සලා අපට සිටින දක්ෂ තරුණ රංගන ශිල්පිනියක්. මේ දිනවල විකාශය වන ‘අමා’ ටෙලිනාට්‍යයේ බිනුරි ගේ චරිතයෙන් වත්සලා නැවතත් රූපවාහිනී ප්‍රේක්ෂකයින් වෙත ළං වී සිටිනවා.

වත්සලා මොනවද ඔබ මේ දිනවල කරන කලා කටයුතු?

මේ දවස්වල ‘අමා’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ‘දෙරණ’ නාලිකාවේ සහ ‘සියත’ නාලිකාවේ වැඩසටහන් තුනක් ඉදිරිපත් කරන්නත් දායක වෙනවා. ළඟදීම රූපගත කිරීම් ආරම්භ වන අලුත් ම ටෙලිනාට්‍යයකටත් ආරාධනයක් ලැබී තියෙනවා. මේ වැඩත් එක්ක තමයි මේ දවස්වල මගෙ කාලය ගෙවෙන්නෙ.

‘අමා’ ටෙලිනාට්‍යයේ බිනුරි ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් කාලෙකට පසුව තමයි මම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ. බිනුරි ගේ චරිතයට ආදරය කරන බොහෝ දෙනෙක් ලංකාව පුරාම ඉන්නව. මඟ තොටේ දී මාව හමු වුණා ම ඔවුන් දක්වන ප්‍රතිචාරවලින් ඒ බව පැහැදිලි වෙනවා. මම බිනුරි චරිතය හොඳින් නිරූපණය කරන බවත් ‘අමා’ ටෙලිනාට්‍යය කම්මැලි නැතිව නරඹන්න පුළුවන් බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.

විවාහයෙන් පසුව රඟපාන්නේ නැති බව ප්‍රකාශ කළත් නැවත රංගනයට එකතු වෙන්න අදහස් කළේ ඇයි?

විවාහයෙන් පසුව රඟපෑමට යනවට මගෙ සැමියා (ප්‍රසංග) වැඩි කැමැත්තක් දැක්වූවේ නෑ. ඒ නිසයි මම තීරණය කළේ විවාහයෙන් පසුව රඟ නොපාන්න. නමුත් මම විවාහ වෙලා වසරක් පමණ ගත වූ පසුව රූපවාහිනි වැඩසටහන් කීපයකටම සහභාගි වුණා. ඊට පසුව මට ටෙලිනාට්‍ය ගණනාවකටම ආරාධනා ලැබුණා. ඒ ආරාධනා මම ඉතාම කාරුණිකව ප්‍රතික්ෂේප කළා. ඒ අතරතුරේ තමයි නාලන් මෙන්ඩිස් මට ‘වාසනා වේවා’ ටෙලිනාට්‍යයට ආරාධනා කළේ. ඒ ආරාධනය ගැන මම ගොඩක් සතුටු වුණා. ඒ ගැන මම මගෙ සැමියා එක්ක කතා කළා. එයා කිව්ව ඔයා කැමැති නම් නාලන් මෙන්ඩිස් ගේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න කියල.

මම හිතන්නෙ මගෙ සැමියා ‘වාසනා වේවා’ ටෙලිනාට්‍යයේ මම රඟපානවට කැමැති වුණේ එය නාලන් මෙන්ඩිස් වැනි ප්‍රවීණ අයකුගේ නිර්මාණයක් වන නිසා ම වෙන්න ඕන. ඒ වගේ ම විවාහවෙලා වසරක් පමණ ගත වනවිට මගේ සැමියා මාව ඉතාම හොඳින් තේරුම් ගෙන සිටියා. රඟපෑම නිසා මගේ අනෙකුත් වැඩකටයුතු අතපසු නොකරන බවත් මගේ රඟපෑම අපේ පවුල් ජීවිතයට බාධාවක් නොවන බවත් එයා තේරුම් ගත්තා. ඒ නිසයි එයා මට නැවත රඟපාන්න ඉඩ දුන්නේ. නැවත රංගනයට එන්න මට අවස්ථාව දුන්නට මම මගේ සැමියාට ස්තුති වන්ත වෙනවා.

කොහොමද විවාහ ජීවිතේ?

දැන් අපි විවාහ වෙලා අවුරුදු 2 යි. අපි දෙන්න පදිංචි වෙලා ඉන්නෙ රාජගිරියෙ. අපි ඉතාම සතුටින් කාලය ගෙවනවා.

මවක් වෙන්න දැන්මම ආශාවක් නැති ද?

විවාහ වුණු ඕනෑම ගැහැනියකගේ එකම බලාපොරොත්තුව තමා මවක් වීම. ඒක මටත් පොදුයි. ඒත් තව ටික කාලයක් ගතවන තෙක් ඒ බලාපොරොත්තුව කල් දමන්න සිදුවෙනවා. ඒ; අපි දෙන්නම දැන් ගත කරන අවිවේකී ජීවිතය නිසා.

ඔබ මෙතෙක් රඟපා ඇති ටෙලිනාට්‍ය පිළිබඳ සිහිපත් කළොත්?

මේ වනවිට මම ටෙලිනාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායක වෙලා තියෙනව. ප්‍රේක්ෂකයින්ට දැනෙන චරිතයක් මට මුලින් ම කරන්න අවස්ථාව ලැබුණේ නාලන් මෙන්ඩිස් ‘සෙනෙහසට ආදරෙයි’ ටෙලිනාට්‍යයේ. එයින් තමයි මාව ප්‍රේක්ෂකයින් හඳුනාගන්නේ. නමුත් මුළු රටේ ප්‍රේක්ෂකයින් මට ආදරය කරන්න පටන් ගන්නේ ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයෙන් පසුව.

‘මුතුකිරිල්ලී’ ටෙලිනාට්‍යයේ ‘නිරාශා’ ගේ චරිතය ඔබේ ගමන් මඟ වෙනස් කළා නේද?

ඇත්තෙන් ම ඔව්. ‘මුතුකිරිල්ලී’ ටෙලිනාට්‍ය මගෙ ජීවිතය වෙනස් කළා කියල කීම නිවැරදියි. මගේ ජීවිතයේ හොඳම තැන එතැන. අදත් මඟ තොටේදී හමුවෙන ගොඩක් දෙනා මට කියන්නෙ ‘නිරාශා’ කියල. නිරාශා චරිතයට ලැබුණු ප්‍රතිචාර නම් කියල නිම කරන්න අමාරුයි. රංගනයෙන් ජනප්‍රිය තැනකට මට එන්න ඉඩ ලැබුණේ ‘මුතුකිරිල්ලී’ නිසා.

රූපවාහිනී වැඩසටහන් කීපයක් ඉදිරිපත් කිරීමටත් ඔබ දායක වෙනවා නේද?

ඔව්. සියත ටී.වී. එකේ Top hit සහ buty @ 7 වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඒ වගේ ම ‘දෙරණ’ නාලිකාවේ ‘මනාලි’ වැඩසටහන ඉදිරිපත් කරන්නත් මම දායක වෙනවා. මම මේ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ නිවේදිකාවක් හැටියට හිතාගෙන නෙමෙයි. ඉතා ම සරලව තමයි මම ඒ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ. රංගන ශිල්පිනියක් හැටියට මගේ ශෛලියට අනුවයි මම මේ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ. නිවේදන වෘත්තිය පිළිබඳ මට කිසිම අත්දැකීමක් තිබුණේ නෑ. නමුත් මා ගත් උත්සාහය සාර්ථකයි කියල හිතනවා.



Source : silumina
ගාමිණී සුසන්ත