Saturday, October 08, 2011

අනූෂා දමයන්ති ගේ ළමාවිය අම්මා හෙළි කරයි


‘මට තවම මතකයි පුංචි පැටික්කිය අත් කරකවා කරකවා පුංචිකමට කොමළ බැලුම් දදා නටපු හැටි. ඒ කාලේ අපේ ගෙදරට දවසට දහ දෙනෙක් ආවොත් ඒ දහ දෙනාටම දුව නටලා පෙන්නනවා. හැබැයි ඒකත් නිකන්ම නෙවෙයි, කවුරු හරි ආරාධනා කළොත් විතරමයි. ඒ මගේ පුංචි කෙල්ල අද නර්තන තාරකාවක්.’

දෝර ගලන සන්තෝසයෙන් සෙනෙහසෙන් වදන් අමුණා සිය දියණියගේ බාල කල ගැන සොඳුරු මතක ආවර්ජනයක යෙදුණේ ඩාන්ස් ස්ටාර්ස් කිරුළ පළන් ඔබේ ආදරණීය රංගන ශිල්පිණී අනූෂා දමයන්තිගේ මැණියන්. ඇය නමින් ගණේගොඩ හිටිහාමිලාගේ අයිරාංගනී ගුණතිලක.


දුව පුංචි කාලේ ඉඳන්ම කලාවත් සමඟ හැදුණු වැඩුණු දරුවෙක්. එයා හරිම කැමැතියි විජය කුමාරතුංග රඟපාන චිත්‍රපට බලන්න. දවසක් මම දුවත් එක්ක ගෙන ගියා විජය රඟපාන චිත්‍රපටයක් බලන්න.
එතකොට කෙල්ලට යාන්තම් අවුරුදු හය සම්පූර්ණ වුණා විතරයි. කොහොම හරි එයා කොච්චර පොඩි ද කිව්වොත් මගේ ඔඩොක්කුවෙ වාඩි වුණාම දුවට තිරය පේන්නේ නෑ. ඒ නිසා දුව චිත්‍රපටය බැලුවේ හිටගෙන එයාගේ පුංචි ඇඟිලි තුඩුවලින් ඉස්සිලා. ඔහොම ටික වෙලාවක් යන කොට විජය කුමාරතුංගට පහර දෙන දර්ශනයක් තිබුණා. එච්චර වෙලා කිසිම සද්දයක් නැතිව හිටපු කෙල්ල කෑ ගහලා අඬන්න පටන් ගත්තා. පිච්ච මලක් වගේ පිපිලා තිබුණු මූණ රතු වුණා. දුව ඇඬිල්ල නැවැත්තුවේම නෑ. ඉකි ගගහා අඬනවා. බැරිම තැන මම දුවව ශාලාවෙන් එළියට එක්කගෙන ආවා.

මගේ දූ සිඟිත්ත ඉස්සර ඉඳලම කළේ එයාගේ වයසේ අනෙක් දරුවෝ නොකරපු දේවල්. මම නම් ඒකේ වැරැද්දක් දකින්නේ නෑ. පොඩි කාලේ සිටම දූ කළ හැම දෙයක්ම එයාට අනන්‍යතාවයක් ගොඩ නැගුවා කියලා මම හිතනවා.

පොඩි දරුවෝ සාමාන්‍යයෙන් ඡායාරූප ගන්න කොට අඬනවානේ. හැබැයි මගේ කෙලි පොඩිත්ති නම් කළේ ඒකේ අනිත් පැත්ත. කවුරු හරි ඡායාරූපයක් ගන්න ලස්සනට හිනා වෙලා ඉන්න කිව්වොත් එයා හිනා වෙලා විතරක් නම් නවතින්නේ නෑ. ගස් උඩ නගිනවා, මල් අල්ල ගන්නවා, බිම වාඩි වෙනවා. පොඩිකමට හරිම හුරතල් විදිහට, නොයෙක් විදිහට ඡායාරූපවලට පෙනී හිටියා. දැන් වගේම ඒ දවස්වලත් දූ හරිම හැඩයි.


හරිම ස්ටයිල්. උදේට ඉස්කෝලේ යන්න ලැහැස්ති වෙන්නත් ගොඩක් වෙලා ගන්නවා. හැබැයි වැඩිපුර වෙලාවක් ඉන්නේ කණ්ණාඩිය ඉස්සරහ. කොණ්ඩ කරල් දෙකක් ගොතලා, දණහිස ළඟට සුදු ගවුම ඇඳලා, රේන්ද අල්ලපු මේස් දෙක දාලා, හිනා මල් විහිදුවමින් දූ ඉස්කෝලේ ගිය හැටි මට මේ දැනුත් මැවිලා පේනවා. මගේ කෙල්ල උදෙන්ම නැඟිටලා ඉස්කෝලේ යන්න ලැහැස්ති වුණත් එයා හැමදාම යන කොට ඉස්කෝලේ පටන් ගෙන.

අනූෂා පොඩි කාලේ හුරතල් වගේම හරිම දඟයි. මම එයාව විශාඛා විද්‍යාලයෙන් අස් කරලා හෝමාගම මධ්‍ය මහ විද්‍යාලයට දැම්මෙත් එයා කරපු දඟ වැඩක් නිසා.

අනූෂා ඉස්කෝලේ ගියේ ස්කූල් වෑන් එකක. දවසක් එයා වෙනදා එන වෙලාවට ගෙදර ආවේ නෑ. වෑන් එකේ ඩ්‍රයිවර්ගෙන් ඇහුවාම කිව්වෙ දුව වෑන් එකට නැග්ගෙ නෑ කියලා. ඒක ඇහුවම මගේ කකුල් දෙකත් පණ නැතිව ගියා. මං වහාම ඉස්කෝලෙට ගියා.

ඒත් දුව හිටියේ නෑ. ඒ වෙලාවේ අම්මා කෙනෙක්ගේ පපුවෙ පත්තු වෙන ගින්දර අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කොහොම හරි මට ආරංචියක් ලැබුණා දුව පාසල ළඟ තිබුණු පිට්ටනියෙ සෙල්ලම් කරනවා කියලා. මට ඒ වචන ටික දැනුණේ මම ජීවිතේ අහපු ලස්සනම වචන ටික විදිහට. ඔය දඟ වැඩේ නිසා තමයි මම අනූෂාව ගේ ළඟ තියෙන ඉස්කෝලෙට යැව්වේ. පුංචි දවස්වල දූ කරපු දඟ වැඩ මට රෑ එළි වෙනකන් වුණත් කියන්න පුළුවන්.


දුව දන්නවා මට එයා නැතිව එක තත්පරයක්වත් ඉන්න බැරි බව. ඒ නිසා මෙයා මාව බය කරන්න එකේක තැන්වල හැංගෙනවා. වැඩිපුරම හැංගෙන්නේ වහල උඩ. වහලට නඟින හැටිත්, බහින හැටිත් දන්නේ එයා විතරයි.

මම දුවට පාරක් ගැහුව අවසන් දවසත් මට හොඳට මතකයි. එදා දූ මාත් එක්ක තරහා වෙලා පුරුදු විදිහටම හැංගුණා. අනේ ඉතින් මම හිතුවා පුරුදු විදිහටම ටික වෙලාවකින් දුව හැංඟිලා ඉන්න තැනකින් එළියට ඒවි කියලා. ඔය සිද්ධිය වුණේ දවල් දෙකට විතර. දෙකහමාර වෙනකනුත් දූ එළියට ආවේ නෑ. මම ගේ පුරාම හෙව්වා. බැරිම තැන අල්ලපු ගෙවල්වලත් හෙව්වා. කිසිම තැනක හිටියේ නෑ. මට දැනුණේ මගේ හදවත නැවතිලා වගේ. මම අඬ අඬා හැම තැනම බැලුවා. ඒත් දුව නෑ.

සවස හයට විතර මේ කෙල්ල මේසෙ යට ඉඳලා එළියට එනවා මං දැක්කා. වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? මාව බය කරන්න මේසේ යට හැංගුණ කෙල්ලට නින්ද ගිහින්. එදා මම හොඳටම බය වුණා. කොච්චර බය වුණා ද කිව්වොත් මම ඊට පස්සෙ කවදාවත්ම දුවට නිය පිටින්වත් පාරක් ගහලා නෑ.

අදත් මට බයයි මගේ දුව කවුරු හරි මගෙන් හොරෙන් අරගෙන යයි කියලා. ඒ නිසා එදා වගේම අදත් මම එයාගේ සෙවනැල්ල වගේ ඉන්නවා. මට හිතෙන විදිහට නම් මට ඒ වගේ බයක් දැනෙන්නේ දුව මගේ පණ නිසා වෙන්න ඇති.






 නිශංකා උඩුගම්පල
Source : sarasaviya