Friday, October 07, 2011

ගමන් ගාස්‌තුව තුන් ගුණයක්‌ ඉහළ අධි සුඛෝපභෝගී බස්‌ සේවාවක්‌



අති නවීන තාක්‌ෂණයෙන් යුත් අධි සුඛෝපභෝගී බස්‌ රථ සේවාවක්‌ මෙරටට හඳුන්වාදීමට ලංකා පෞද්ගලික බස්‌ රථ හිමියන්ගේ සංගමය කටයුතු යොදා ඇත.

ලංකා අශෝක්‌ ලේලන්ඩ් සමාගම සමග එක්‌ව අදාළ බස්‌රථ සේවාව හඳුන්වාදෙන බවත් එහි නියමු ව්‍යාපෘතියක්‌ ලෙස ඉදිරි දෙසතිය තුළ කොළඹ අවට එම බස්‌ රථ කිහිපයක්‌ ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බවත් ලංකා පෞද්ගලික බස්‌ රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

නියමු ව්‍යාපෘතියෙන් පසු අධි සුඛෝපභෝගී බස්‌ රථ මගීන් ප්‍රවාහනයට එක්‌ කිරීමට නියමිත බවත් මූලික වශයෙන් ගාලු පාරේ හා හයිලෙවල් මාර්ගයේ එම බස්‌ රථ ධාවනය වනු ඇති බවත් හෙතෙම පවසයි.

මෙම අධි සුඛෝපභෝගී බස්‌ රථයේ ගමන් ගාස්‌තුව සාමාන්‍ය ගාස්‌තුව මෙන් තුන් ගුණයක්‌ වනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

අධි සුඛෝපභෝගී බස්‌ රථ සේවාව ක්‍රියාත්මක කරවීම සඳහා මහා භාණ්‌ඩගාරයෙන් හා ලබන අය වැයෙන් මූල්‍ය සහනාධාරයක්‌ අපේක්‍ෂා කරන බව පැවසූ හෙතෙම 2018 වසරේ හම්බන්තොට පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල ඉලක්‌ක කර මෙම බස්‌ රථ ධාවනයට එක්‌කරන බවත් පැවසීය.

හෙතෙම එම අදහස්‌ පළකළේ ඊයේ (6 වැනිදා) කොළඹ ටා- සමුද්‍රා හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
 




සිරිමන්ත රත්නසේකර - ගයාත්‍රිද සිල්වා
Source : Divaina