Tuesday, November 01, 2011

බිලියන 7 ජනගහන වාර්තාවට ශ්‍රී ලංකාවෙන් දියණියක්‌ !














 ලෝක ජනගහනය බිලියන 7 ක්‌ බවට පත්වීම වාර්තාගත කරමින් ඊයේ (31 දා) උදාවත් සමග අලුයම 12 පසු වී තත්ත්පර 01 ට (12.01 ට) ශ්‍රී ලංකාවේ ද දියණියක්‌ කොළඹ කාසල් රෝහලේදී උපත ලැබීය. කිරිබත්ගොඩ පමුණුවිල පදිංචි 23 හැවිරිදි ධනුෂිකා ඩිලානි පෙරේරා මව එම දියණිය ප්‍රසූත කළ අතර 24 හැවිරිදි පී. ඉෂාර මධුසංඛ එම දියණියගේ පියා විය. කොළඹ කාසල් රෝහලේ වෛද්‍ය ළහිරු හෙට්‌ටිගේ හෙද සොයුරිය එච්. එම්. පී. හේරත්, හෙද නිලධාරිනී ඩී. ඡේ. රූපසිංහ, පවුල් සෞඛ්‍ය නිලධාරිනී යූ. සී. ජී. පෙරේරා යන මහත්ම මහත්මීන් ප්‍රධාන රෝහල් කාර්ය මණ්‌ඩලය මෙම කාර්යයට දායක වී තිබිණි.

මෙම දරුවා ඉපදීමෙන් පසු ඊයේ උදෑසන 6.00 වන විට කොළඹ කාසල් රෝහලේ බිළිඳුන් 5 දෙනකු උපත ලබා තිබූ අතර එයින් දෙදෙනෙක්‌ පිරිමි දරුවෝ වෙති.

බිලියන 7 සම්පූර්ණ කිරීමට දායක වූ ශ්‍රී ලාංකික බිළිඳිය හා අනෙකුත් දරුවන්ගේ සුවදුක්‌ බැලීමට ඊයේ උදෑසන ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ද පැමිණි අතර එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙම අවස්‌ථාව සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කර තිබිණි.



තුෂාරී කළුබෝවිල
Source : Divaina