Friday, December 02, 2011

තුන්වෙනි තෙල් ළිඳත් සොයා ගනී


පළමු-දෙවැනි ළිංවල කැණීම් සාර්ථකයි

මුලින් ලැබෙන්නේ ගෑස් බව තහවුරුයි


මෙරට තුන්වෙනි ඛනිජ තෙල් ළිඳත් මන්නාරම මුහුදෙන් සොයාගෙන තිබේ. මේ වනවිටත් එහි කැණීම් කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතී. මේ ළිඳෙන් තෙල් ලැබෙන බවට මූලික සලකුණ ලෙස මුලින්ම මතුවන්නේ ගෑස් බවද කියති.

මන්නාරම් මුහුදේ කිලෝමීටර් 30 ක් දුරින් මේ තුන්වෙනි ඉන්ධන ළිඳේ කැණීම් කටයුතු සිදුකෙරේ. පළමු සහ දෙවැනි ඉන්ධන ළිං සොයා ගැනීමෙන් අනතුරුව තුන්වෙනි ළිඳේ කැණීම් කටයුතු ආරම්භ විණි. පළමු වැනි ඉන්ධන ළිඳ පිහිටි ස්ථානයට ආසන්නයේ තුන්වෙනි ළිඳ සොයාගෙන ඇත.

ඉන්දියාවේ කෙයාර් සමාගම එම කැණීම් කටයුතු සිදුකරයි. එම සමාගමේ ගවේෂණ කටයුතුවලින් තෙල් ඇති බවට හඳුනාගත් ස්ථානවල තෙල් ළිං කණිනු ලබයි. ඔවුන් පෙන්වා දුන් පළමුවෙනි හා දෙවැනි තෙල් ළිංවල කැණීම් කටයුතු සම්පූර්ණයෙන්ම සාර්ථක වී තිබේ.

තුන්වෙනි තෙල් ළිඳට අමතරව ගවේෂණ වාර්තාවලින් හඳුනාගත් තවත් ස්ථාන කීපයක් ඇත. තුන්වෙනි ළිඳේ කටයුතු සම්පූර්ණයෙන්ම සාර්ථක වූ පසු ඉදිරි ළිං කැණීමට අපේක්ෂා කෙරේ.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන කමිටුවේ සභාපති ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ අධීක්ෂණය යටතේ තෙල් ළිං සම්බන්ධ සියලු කටයුතු සිදුකෙරේ. මේ තෙල් ගවේෂණ කටයුතුවල විදේශිකයෝ 250 ක් පමණ සේවයේ නිරත වෙයි. පසුගිය අගෝස්තු 12 වැනිදා තෙල් ගවේෂණ කටයුතු ආරම්භ කෙරිණි.

මේ සඳහා යොදා ඇති කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධව අංශ ගණනාවක් එක්ව කටයුතු කරයි. මේ වනවිට පුද්ගලයන් එක්දහස් හයසියයක් පමණ එම ගවේෂණ කටයුතු සඳහා වරින්වර යොදවා තිබුණි.

මේ අතර ඉදිරි වසර තුනත් පහත් අතර කාලයේ දී ගෑස් සහ තෙල් ලබාගැනීම රජයේ අරමුණ බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (01) ප්‍රකාශ කළේය.

මන්නාරම් ද්‍රෝණියේ මේ වන විට පර්යේෂණ කැණීම් සිදුකරමින් පවතින බවද අමාත්‍යවරයා පැවැසීය.

මේ ගෑස් සහ තෙල් පිළිබඳ වාණිජ වටිනාකම පිළිබඳ යෝග්‍යතාවය තක්සේරු කළ යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



source :- Dinamina