Monday, December 05, 2011

උපේක්ෂා ගේ කේන්දරේ රාජ යෝගත් තියනවා


ෆ්ලෑෂ් බෑක් කණ්ඩායම ගායෆ්ලෑනා කරන ‘අපි පොඩි කාලේ’ ගීතයේ එන මෙම දෙපදය මාගේ මතකයට ආවේ නිර්මලී ද සිල්වා මහත්මිය මා සමඟ පැවසූ සුන්දර සිදුවීමක් නිසයි. නිර්මලී ද සිල්වා මහත්මිය ඔබේ ආදරණිය පබා හෙවත් උපේක්ෂා ස්වර්ණමාලිගේ මෑණියන්. බේබිගේ ජීවිත කාලයෙන් වැඩිපුර කාලයක් හිටියේ කුවෙට්වල. ආනේ . . . මට අමතක වුණා කියන්න, උපේක්ෂාට මම ගෙදරදි කතා කරන්නේ බේබි කියලා. ඉතින් කුවෙට් රටට වැස්ස නැතිම දෙයක්නේ. අපේ රටේ විදිහට කියනවා නම් හාවා හඳ දකිනවා වගේ දෙයක් තමයි එහෙට වැස්ස ලැබෙනවා කියන්නේ.

අපි සාමාන්‍යයෙන් බේබිගේ ඉස්කෝලේ නිවාඩු කාලෙට ලංකාවට එනවා. අපි එක වරක් ලංකාවට එනකොට දුවට අවුරුදු තුනක් විතර ඇති. එතකොට එයාට සිංහල හරියට කතා කර ගන්නවත් බෑ. දවසක් බේබි එක පාරටම ‘වතුර කැඩිලා වැටෙනවෝ’ කියලා කෑ ගැහුවා. මමත් වෙන දේ හිතා ගන්න බැරුව දුවගෙන ආවා. බැලින්නම් වහිනවා. දුවට ටිකක් තේරෙන වයසෙදි වැස්සක් දැක්ක පළවෙනි අවස්ථාව තමයි ඒ.


බේබිගේ පුංචි කාලේ හරිම සුන්දරයි. හැබැයි දඟ නෑ. නමුත් දූ හිටියේ හරිම සැහැල්ලුවෙන්. එයා කරපු පුංචි දඟ වැඩක් තමයි කවදාවත් ඉස්කොලේ රිපෝට් එක මට අත්සන් කරන්න දෙන්නෙ නෑ. මම රිපෝට් එක අත්සන් කරන්න ඉල්ලන හැම දවසකම කියන්නෙ ‘ආ . . . ඒක හරි අම්මි, අම්මි එකේ අත්සන් කරන්න ඕනේ නෑ’ කියලා. ආ . . . ඉස්කෝලේ ගැන මතක් කල නිසා මේ කතාව නොකියම බෑ.

කුවෙට්වල අපේ ගේ ළඟම දූගේ ඉස්කෝලේ තිබුණ නිසා එයා පුංචි කාලේ එච්චර උදෙන් නැගිටින්නෙ නෑ. එක දවසක් කෙල්ලට හොඳටම නින්ද ගියා. කොහොම හරි කඩිමුඩියේ නැඟිටලා දඩි බිඩි ගාලා ලෑස්ති වෙලා ඉස්කෝලෙත් ගියා.

ඉස්කෝලේ ඇරෙන්න ටික වෙලාවකට කලින් එයාගේ ගවුම වෙනදට වඩා ටිකක් පිම්බිලා වගේ දැනිලා. මොකද දන්නවාද වෙලා තියෙන්නෙ? බේබි එදා උදේ කලබලේට යුනිෆෝම් එක ඇඳලා තියෙන්නෙ නයිට් ඩෙ‍්‍රස් එකට උඩින්.


බේබිට පුංචි කාලේ එක නරක පුරුද්දක් තිබුණා. ඒ තමයි ඉල්ලුවොත් දෙයක් කොහොම හරි එයාට ඒක ඕන. හැබැයි මමත් ඒකට වග කියන්න ඕන. මම දුව ඉල්ලන ඉල්ලන හැම දේම එයාට දෙන්න දෙපාරක් හිතුවේ නෑ. දවසක් රෑ දෙකට දුව නින්දෙන් නැඟිටලා පපඩම් ඉල්ලලා ඇඬුවා.

එදා ගෙදර පපඩම් තිබුණේ නෑ. දුව ඇඬිල්ල නැවැත්තුවේ නැති නිසාම අපේ මල්ලි කෙනෙක් ඒ මහ රෑ අඳුරන මුදලාලි මහත්තයෙක්ට කතා කරලා කඩේ ඇරවගෙන පපඩම් ගෙනාවා. නැත්නම් ඉතින් එදා රෑ අපිට නිදා ගන්න නම් වෙන්නෙ නෑ.

හැමදේම මම කළේ දුවට තියෙන ආදරය නිසයි. මගේ ජීවිතේ තමයි බබා. නමුත් එක මොහොතක මට මගේ ජීවිතය නැති වෙයි දෝ කියලා හිතුණා. ඒ සිද්ධිය මතක් කරන කොට මේ දැනුත් මගේ ඇඟේ හිරිගඬු පිපෙනවා. කුවෙට්වලදී මමයි දුවයි කාර් එකේ ගමනක් ගියා.

මම ඩ්‍රයිවින් කළේ. දුව හිටියේ ඉස්සරහ සීට් එකේ. මම එක තැනකදී වාහනය නතර කළා විතරයි, දුව දොර ඇරගෙන බැස්සා. ඒ ඇසිල්ලෙම වතුර බවුසරයක් දුවගේ පැත්තට එනවා මම සයිඩ් කණ්නාඩියෙන් දැක්කා. ඒ වෙලාවේ දුවව ඇදලා වාහනයට දාගත්තු විදිහ මට අදටත් හිතා ගන්න බෑ. තව දශමයක් හරි මම පරක්කු වුණා නම් . . .

කොහොම වුණත් මම එච්චරම අවාසනාවන්ත නෑ. දුව මගේ බලාපොරොත්තු ඉටු කළා. උපේක්ෂාගේ කේන්දරේ රාජ යෝගත් තියනවා. පුංචි කාලේ ඉඳන්ම මට ඕනෑ වුනේ මගේ දුව මේ රටේ ජනප්‍රිය චරිතයක් වෙනවා දකින්න. අද එයා රංගන ශිල්පිනියක් සහ මන්ත්‍රීවරියක් විදිහට යම් ප්‍රතිරූපයක් ගොඩ නඟා ගෙන තියෙනවා. හැබැයි මට නම් තාමත් උපේක්ෂා බේබිමයි.









 Source : - Sarasaviya