Monday, December 12, 2011

තරුණියන් දෙදෙනාත් තරුණයාත් ගෙල වැලලාගෙන මිය යයි







එප්පාවල පොලිස් වසමේ මැඩියාව, කඩිගාව ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකුගේ හා තරුණයකුගේ ගෙලවැල ලාගෙන මිය යාම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බවත්, සිසුවියන්ගේ මරණය ඝාතනයක් වියහැකි බවටත් සැක මතුව ඇති බවද පරීක්ෂණ සිදුකරන එප්පාවල පොලිසිය සඳහන් කරයි.

මෙසේ මිය ගොස් සිටිය දී සිරුරු සොයා ගනු ලැබුවේ එප්පාවල පාසලක ඉගනුම ලැබූ ආර්. එම්. දිල්ෂානි කුමාරි වික්‍රමරත්න (17), ආර්. එම්. ගංගාණි ඉසංකා (15) හා ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ පුහුණුව ලැබූ ආර්. ජී. රුවන් ප්‍රේමජයන්ත (27) යන තිදෙනා වෙති.

මිය ගිය දාහත් හැවිරිදි සිසුවිය මේ මස (12) වනදා ආරම්භ වන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටි අයෙකි. අනෙක් සිසුවිය 10 වන ශ්‍රේණියේ ඉගනුම ලැබූ අයෙකි.

මියගිය 17 හැවිරිදි තරුණිය 2008 – 2009 වසර කාලයේ දී මියගිය 27 හැවිරිදි තරුණයා සමග විවාහ වීමට ගමෙන් පලාගොස් ඇති අතර එම සිද්ධිය මත බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. තඹුත්තේගම අධිකරණය හමුවේ විභාග වන දූෂණ නඩුවක මේ අනුව ඔහු විත්තිකරු වී සිටී. තරුණයා නොයෙකුත් අපරාධ රැසකට ද සම්බන්ධ බව පොලිසිය පවසයි.

මිය ගිය තරුණයා බීමත්ව පැමිණ සිසුවියගේ නිවසේ රණ්ඩු කරන අතර සිසුවියගේ මවට හා පුංචි අම්මාට ද පහර දෙන බව පොලිසිය සඳහන් කරයි. නිවසේ රණ්ඩු සරුවල් කිරීම නිසා මිය ගිය සිසුවියන්ගේ මව ඒ බව එප්පාවල පොලිසියට පසුගිය බදාදා පැමිණිලි කර ඇත. මේ හේතුව නිසා 27 හැවිරිදි තරුණයා සිසුවියගේ මව සමග උරණව සිට ඇත. මේ නිසා ඇය බදාදා (07) දිනයේ වෙනත් ඥාති නිවසක නවාතැන් ගෙන ඇත. මිය ගිය දිල්ෂානි ද, මිය ගිය තරුණයා සමග කාලය ගත කර ඇත. මිය ගිය සිසුවියන්ගේ මව පොලිසියට තරුණයා පිළිබඳව පැමිණිලි කිරීම නිසා බාල දියණිය මව සමග උරණව සිට ඇති බවත් පැවසේ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි තඹුත්තේගම වැඩ බලන මහේස්ත්‍රාත් ලෙව්කේ බණ්ඩාර මහතා සිසුවියන්ගේ මරණයන් ඝාතනයක් ද යන්න නිගමනය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී. එල්. වෛද්‍යරත්න මහතාට නියෝග කළේ ය. මෙම සිද්ධිය පිළිබඳව වැඩි දුරටත් පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් වරයා එප්පාවල පොලිසියට ද නියෝග කළේ ය.

සිද්ධිය වූ ස්ථානයේ තිබී බීම බෝතලයක්, සෙරප්පු ජෝඩු තුනක්, එලාම් ඔරලෝසුවක්, පැදුරක්, පිහියක් හා ගස උඩ තිබී සරමක්, රෙදි කඩක් හා බුලත් මල්ලක් ද පොලිසිය සොයා ගත්තේ ය. මෙම සිද්ධිය සැලවීමත් සමග එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් දහස් ගණනක් සිද්ධිය වූ ස්ථානයට වැල නොකැඩී පැමිණියහ.


එහි විඩියෝව බලන්න


















































Source : - Dinamina