Tuesday, December 27, 2011

අතුල සමිතා වෙන් වෙලා


මම මාධව හේවාවසම්. වෘත්තියෙන් ශබ්ද පරිපාලකවරයෙක්. මීට කලකට ඉහතදී කැසට් පට සීග්‍රයෙන් වෙළෙඳ පොළට නිකුත් කෙරුණා. එහෙත් ඒවායේ ව්‍යාජ පිටපත් සකස් වී සංගීත ලෝලීන් අතට පත්වෙද්දී කැසට්, සීඩී නිෂ්පාදනය කරන්න නිෂ්පාදකවරුන් මැළි වුණා. ගායකයොත් නිහඬ වුණා.

මේ තත්ත්වය මත සීමිත නිෂ්පාදන ප්‍රමාණයකටයි අපට දායක වෙන්න ලැබුණේ. වැඩ කළ වේලාවට වැඩිය නොකළ වේලාවන් ඇත්තටම කිව්වොත් වැඩියි.

මේ නිසා විවේක කාලයන්හී සංගීතයම භාවිත කරමින් යමක් කරන්න ඕනෙ කියලා හිතුවා. මට චුට්ටක් විතර වචනයක් දෙකක් අමුණලා ගීතයක් වගේ දෙයක් ලියන්න පුළුවන් බවට මං දැනන් හිටියා.

ශබ්ද පරිපාලකවරයකු ලෙසට ලත් අත්දැකීම් හේතුවෙන් තනු නිර්මාණය නම් මට ආගන්තුක විෂයයක් වුණේ නැහැ. එහෙයින් මං පද / තනු, සංගීතය මමම යොදා ගීතයක් දෙකක් හදන්න හිතුවා. කාලාන්තරයක් තිස්සේ මගේ මනසේ තිබුණා එක්තරා අදහසක්.

ඒ අදහස දැන්මම කිව්වොත් අගයක් නැහැ. ඒ අදහස හිතේ තියගෙන මෙන්න මේ විදිහට මං මගේ පළමු ගීතය යුග ගීතයක් ලෙසින් ලිව්වා.

ආලෙන් වෙලා ගන්න කෝලම් කළා
සිත ආලෙන් මුදා ගන්න මායම් කළා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කළා
ඔබ සායම් මකාලන්න වෑයම් කළා

මම ඈතින් ඉඳන් කෙරුවා පෙම් යෝජනා
ඔබ කළා යෝජනාවලට චෝදනා
මම මෑතින් ඉඳන් වින්දා ඉන් වේදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාලුයි වගේ නැද්ද තවමත් හිතේ
වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහෙ
අපේ ආදරේ භාවනාවක් වගේ

දැන් වචන ටික හරි. ඊළඟට මං සිංදුව කියන්න දෙපොළක් ගැන හිතුවා. පළමුව මගේ ඔලුවට ආවේ අතුල අධිකාරීව. අතුල මෙතැන් සිට මේ කතාවේ ඉතිරිය පවසයි.

අතුල අධිකාරි.

මාධව මට කතා කළා මෙහෙම සිංදුවක් තියෙනවා කියන්න පුළුවන් ද කියලා. අනිත් ගායිකාව කවුරුන් ද යන වග කිව්වේ නැහැ. සිංදුව රිලීස් වුණාට පස්සෙයි දන්නේ මාත් සමඟ සිංදුව කියන්නේ සමිතා බව.

සිංදුව ප්‍රචාරය වන්න පටන් ගත්තට පස්සේ පැතිර ගියේ මමවත් ජීවිතේට හිතන්නේ නැති කට කතාවක්. මා බොහෝ සෙයින් අපහසුතාවයට පත් වුණා ඒක හින්දා. ඒ ගැන සමිතා කියයි.

සමිතා මුදුන්කාටුව.

මේ සිංදුව ටිකෙන් ටික ක්‍රමයෙන් ගුවන් විදුලි නාලිකාවල ප්‍රචාරය වුණා. එතකොටම මිනිස්සු කියන්න ගත්තා අතුල සමිතා වෙන් වෙලා යන්නයි මේ සිංදුව ගැයුවෙ කියලා. මට හිනා ඒ කතාවට.

අති විශාල ප්‍රමාණයක දුරකතන ඇමතුම් ගලා ආවා. ඒ අයත් ඇහුවේ ඒ කතාවම තමයි. මමත් ඒ අයට පැහැදිලි කරලා දුන්නා ගීයක් එක් මාධ්‍යයක් පමණයි.

ගීතවලින් කියන අදහස් ඇත්තම නෙවෙයිනේ. අනික අතුලටයි මටයි සිංදු කිය කිය වෙන් වෙන්න ඕනේ නැහැනේ.

අපි හොඳීන් ඉන්නවා. ඒක තමයි සත්‍ය. ‘ආලෙන් වෙලා’ ගීතයෙහි තේරුම හරි අමුතුම වෙනමම එකක්. එහි අන්තර්ගතය දෙදෙනෙක් වෙන් වී යාම පිළිබඳ නෙවෙයි. ඒකයි ඉහත කට කතාව පැතිරීමට මූලිකම හේතුව. ඒක ගැන මාධවම කියයි.

මාධව

යළිත් මාධව මේ කතාවට එක්වුණා.

මං කලින් කිව්වනේ සිංදුවේ අදහස. මුලදි කිව්වොත් අගයක් නැහැ කියලා. දැන් තමා ඊට හොඳම වේලාව. මේ ගීතයෙන් කියවෙන්නේ දෙදෙනකුගේ වෙන් වී යාම ගැන නොවෙයි.

තරුණයෙක් තරුණියකගෙන් ආදරය අයැදීමක්. එහෙත් තරුණිය ඒ වන විටත් ආදරවන්තියක්. ඒක කියන්නේ ‘වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහේ’ නමැති පේළියෙන්.

මා කියූ කතාවේ සත්‍යතාවය ගීතයේ වචන ටික හොඳින් කියෙව්වොත් තේරුම් ගත හැකියි. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ආලෙන් වෙලා ගීතයට කවදාවත්ම විෂුවල් එකක් කරන එකක් නැහැ. වීඩියෝවක් කෙරුවොත් ඒ සඳහා මිනිසුන්ගේ සිතෙහි ඇදුණු චිත්‍ර, එක රාමුවකට කොටු වේවි.




Source : Sarasaviya