Tuesday, December 06, 2011

මංගල දැන්වීමකින් හඳුනාගත් පෙම්වතාගේ ආරාධනය පිළිගත් තරුණිය අමාරුවේ


වසර හතරක් විදේශගතව රැකියාවක් කළ ගම්පොළ ප්‍රදේශයේ තරුණියක්පසුගියදා තම මවු රටට පැමිණියාය. ඇයට පෙලවහක් කරදීමේ වයස් සපිරිව ඇති බැවින් වැඩිහිටි ආශිර්වාදය මත සහකරුවකු සොයාදීමට පුවත්පතක මංගල දැන්වීමක් පළ කර ඇත.

මේ දැන්වීම දුටු කපටි තරුණයෙක් මෙහි ඇති දුරකථන අංකය ඔස්සේ මොවුන්ට කථා කොට පසු දිනම පේරාදෙණිය නගරයේ දී දෙපාර්ශ්වය හමුවී දැන හඳුනා ගැනීමට තීරණය කෙරිණි. එදින තරුණිය තම සහෝදරියන් දෙදෙනකු කැටුව පැමිණ තනිවම ආ පෙම්වතා හමුවී තොරතුරු දැන හැඳීනගෙන ඔහු සමග හුදකලාවී කතා බහ කළාය. පසුව නිවෙස් බලා ගියහ.

එදින එසේ වුවද දුරකථනය ඔස්සේ සිදු කෙරුණු ප්‍රේමය සීමා ඉක්මවා ගියෙන් පසු දින ද පෙම්වතුන් පමණක් එම ස්ථානයේදීම හමුවීමට තීරණය කෙරිණි. මෙදින පෙම්වතිය ලස්සනට හැඳ පැළද ගෙන තමා සතු රත්‍රං පවුම් දෙකහමාරක් වූ මාලයත් පවුම් එකහමාරක් ඇති අත්පලඳනාවත් පැළඳගෙන ගියාය. මෙදින පෙම්වතා ද ජැන්ඩියට හැඳ පැළද ගෙන පැමිණියේ යතුරු පැදියෙකිනි. ඇය සමග පෙම් බස් දොඩවමින් සිටි කපටි පෙම්වතා සුළු වේලාවකින් තොරතුරු කතා කිරීමට හෝටලයකට යමු කියා ආරාධනා කළේය. ඔහු කෙරේ විශ්වාසය තැබූ පෙම්වතියද එකඟ වී යතුරු පැදියෙන් පේරාදෙණණිය කටුගස්තොට මාර්ගයේ හෝටලයකට ගොස් දිවා කාලය එහි ගත කළහ.

පෙම් සුව විඳීමෙන් සතුටට පත් පෙම්වතාගේ ඊළඟ ඉලක්කය වූයේ ඇය සතු රන් ආභරණ සොරා ගැනීමය. ඇයට ඔහු යෝජනාවක් කෙරිණි. ඔයාලාගේ ගෙදර මට එන්න ඕනෑ. එකට එන්න ක්‍රමයක් ඕනෑ. ඔය මාලෙයි, ඔය වලල්ලයි ගලවලා මට දෙන්න. ආරක්ෂාවට හෙට මේවා රැගෙන ඔයාලගෙ ගෙදර මම එනවා යයි පවසා ඇත. එයට එකඟ වූ පෙම්වතිය තමා සතු ආභරණ ඔහුට ලබාදී ඇත.

පසුව ඇය යතුරු පැදියෙන් රැගෙන විත් මඟ දමා පෙම්වතා පලාගොස් ඇත. දැන් පෙම් කළ දුරකථනය විසන්ධි කර ඇත. පෙම්වතිය මේ ගැන කටුගස්තොට පොලිසියට පැමිණිලි කර සිටියාය. ඇය සතුව ඇත්තේ මංගල දැන්වීම පමණකි. තම දේපළවල වටිනාකම රුපියල් එක්ලක්ෂ හතළිස් දාහක් පමණ වන බව පවසා ඇත. විවිධ ඉසව ඔස්සේ කටුගස්තොට අපරධ අංශය විමර්ශන සිදු කෙරෙමින් පවතී.



Source : - Dinamina