Wednesday, February 22, 2012

එදා විභාගේ තමයි අභාගේ










කොලවරි මේ ගීය නොඇසූ දෙසවනක් නැති තරම්ය. ප්‍රචාරය නොවූ රේඩියෝ චැනලයක් ද නැත. කොලවරි දිග නොහැරුණු රූපවාහිනී නාලිකාවක් සොයා ගැනීමට අපහසුය. එය නොගැයුණු වේදිකාවක් වෙතොත් කලාතුරකිනි. පසුගියදා නිමා වූ නව වැනි රිදී රැයක් ප්‍රසංගයට ද කොලවරි ඇතුළත් වුණේ එහි ඇති ජනප්‍රියතාවය හේතුවෙනි.

කොලවරි ගීත උන්මාදයේ වෘක්ෂය රෝපණය වූයේ ඉන්දියාවෙනි. පසුව එහි ශාඛාවෝ විවිධ රටවලදී පණ ලැබුවෝය. ලංකාවේද කොලවරි තනුවට සෑදූ සිංහල ගීත කිහිපයක් ඇසෙන්නට විය. ඒ අතරින් එකක් සුරතල් නදකින් පොහොසත්ය. එහි වචන මාලාවේ ද ඇත්තේ අමුත්තකි.

වයි දිස් ටියුෂන් ක්ලාසස් මට වැඩි වී
මයි ලයිෆ් බෝරිං ගෙදරින් හිසරදදී
සෙල්ලම් කලේ හැමරිං ශිවරිං
අම්මා නිතරම ෆයරිං
පංති ගානේ ඩේලි වෝකිං
කකුල් දෙක මගෙ හර්ටිං
වයි දිස් . . .
එපා අලුතින් පොපියුලර් ස්කූල්
ගමේ පාසල සුපර
අනාගතයේ නාසා යන්නට
අනේ මට නම් බැරිය
නරක ළමයා . . .
බෑඩ් බෝයි සර් ගිවිං ෆයිටර්
මාක්ස ටේකිං හයර්

ගුඩ්ඩ බොයිසර් බෑඩ්ඩ මාක් සර්
මමා ටෝල්ඩ් මී හවස
රණ්ඩු වෙන යාළු වෙන
මඩේ නාගෙන ඉන්න
පුංචි අපේ හීන ටික
යළි අපටම දෙන්න
ඔට්ටුපාල බෝලේ ගහන යහළුවන් එක්ක
හැංගි මුත්තං ඔට්ටු සෙල්ලං
මට ඔට්ටුම
නැද්ද

කොලවරි කෝවට දමා සැකසුවද මෙය තවත් කොලවරියක් නොවන වග පැහැදිලිය. ඒ හරසුන් වචන කිහිපයක් නොඅමුණා මේ ගීය නොසකසා ඇති බැවිනි. ශෙහාන් ගලහිටියාව මෙහි රචකයාය. නපුරු වෙන්න එපා කියලා, බයිලා ගමුද රීමික්ස් කරලා, තරුමිණි, ගිම්හාන කාලේ වැනි ජනප්‍රිය ගීත, ශෙහාන් රචිත ගී මල්ලේ කැපී පෙනෙන්නට තිබේ.

ගොවි ගීතේ ඇතුළු ජනප්‍රිය සංගීත නිර්මාණ රැසක් නිම වූ නව පරපුරේ සංගීතඥ සචිත් පීරිස් මේ සිංහල කොලවරිය ප්‍රතිනිර්මාණය කොට ඇත. ශෙහාන්, සචිත් සංගීත නිම්නයේ අපට නිතර හමු වූ දෙපොළකි. එහෙත් හඬ මුසු කළ පුංචි එකා නම් අපට ආගන්තුකය. රිෂිනු ගම්ලත් වන ඔහු තමත් පාසල් වියෙහි අසිරිය විඳින්නෙකි.

මාගේ හැඳින්වීම මෙතැනින් නිමය. දැන් ගීතය ගැන කතා කරන්නට සූදානම් වනුයේ ඒ තුන් කට්ටුවය.

පළමුව ශෙහාන් ගලහිටියාව.

සචිත්, එයා රීමිකිස් කළ කොලවරි ට්‍රැක් එක මට අහන්න සැලැස්සුවා. ඊට ප්‍රථම කොලවරි ගීත මගේ සවනට වැටිලා ටිකක් හුරු වෙලයි තිබුණේ.

ඒත් වචන නොමැතිව එහි තනුව දෙතුන් වතාවක් සංයමයෙන් ඇහුම්කන් දුන්නට පස්සේ මගේ හිත අතීතයට ගමන් කළා. මගේ ගම නුවර වත්තේගම.

ඒත් මගේ ළමා විය ගෙවුණේ නවයායතැන්න නම් වූ මනස්කාන්ත ගම්පියසේ. නවයායතැන්න පිහිටා තිබෙන්නේ පොල්ගොල්ලත් කටුගස්තොටත් අතර. ඉතින් ඒ ගමේ හිටියා මගේ වයසෙම කොල්ලො කුරුට්ටෝ රැසක්. අපි පාසල් ගොස් ඇවිල්ලා ගමේ ඇතිවන තුරු ඇවිද්දා. ගඟේ නෑව, පීනුවා. හොර පොල් කැඩුවා.

ඔට්ටුපාල බෝල හදාගෙන සෙල්ලම් කළා. අපිට අසීමිත නිදහසක් තිබුණේ. අද ළමයින්ට එහෙම නැහැ. පාසල නිමා වූ සැනින් දරුවා මාරු වන්නේ ටියුෂන් පංතියට. සෑම මවුපියෙක්ටම ඕනේ තමන්ගේ දරුවා පංතියේ පළවෙනියා කරන්න. මං දන්න සමහර දරුවෝ ඉන්නවා සතියෙ දවස්වලට අමතරව සෙනසුරාදා, ඉරිදා පවා ටියුෂන් පංති යනවා.

මට ඒක තදින්ම හිතට වැදුණු කරුණක්. මං මේ ගීය ඒ අදහස කැටිව ලියන්න තීරණය කළා. විශේෂයෙන් ටියුෂන් හා ගොඩ නැගී ඇති උප සංස්කෘතිය ගැන මින් කියවෙනවා. ළමයින්ට වැඩියෙන් උනන්දු වන්නේ මවුපියන් බව පෙන්වීමට ‘අම්මා නිතරම ෆයරිං’ යන වාක්‍ය යොදා ගත්තා. ගීතය ප්‍රචාරය වන්නට පටන් අරන් මේ වන විට ටික කාලයක්.

දැන් සෑහෙන්න ජනප්‍රිය වෙලා. පුදුමෙ කියන්නේ රිෂිනුව මං මේ වන තෙක් හැබහින් දැකලා නැති එක. ඒත් හමු නොවුණත් සංගීත නම් වූ මාධ්‍ය උපයෝගී කර ගනිමින් අපි හොඳ දෙයක් කළා. විශේෂයෙන් වෙනත් කොලවරි ගීත වගේ ශබ්ද රසයට මුල් තැන නොදී අර්ථ රසයටත් මෙහි පළමු තැන දුන්නා.

දෙවනුව රිෂිනු ගම්ලත්.

මං ඉගෙන ගන්නේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ හය වැනි ශ්‍රේණියේ. මගේ තාත්තාගෙ මාර්ගයෙනුයි මට කොලවරි ගීතය ගයන්න අවස්ථාව හිමි වුණේ. මං මීට කලින් ගීත ගයලා නැහැ. මේ මගේ පළමු ගීතයයි. මේ දවස් ටිකේ මට පාරේ බැහැලා යන්න බැහැ.

ගොඩක් අය ඇවිත් අහවල් සිංදුව කියන්නේ ඔයා නේද කියලා අහනවා. අහලා විතරක් නිකම් ඉන්නවා නම් මදැයි. ඒ මාමලා නැන්දලා මගේ කම්මුලත් මිරිකනවා. අපේ පංතියේ යාළුවකුගේ බර්ත්ඩේ එකක් තිබුණා.

කේක් එක කපද්දි පාසලේ විදුහල්පති ලක්මින් ෆාදර් එතැනට ආවා. මාව දැකලා ඉදිරියට අඬ ගැහැව්වා. මං බයෙන් බයෙන් ඉදිරියට ගියේ. මං හිතුවෙ බනින්නට කතා කළේ කියලා. ඒත් මට කතා කරලා තියෙන්නේ සිංදුව කියන්න. ඉතිං මං පංතියටම ඇහෙන්න එදා මේ සිංදුව කිව්වා.

තෙවනුව සචිත් පීරිස්.

සිරස ආයතනයෙන් කතා කරලා මෙහෙම සිංදුවක් හදමු කිව්වම මං ඉස්සෙල්ලාම ඇහැව්වේ ගායකයා කවුද යන වග. ඒ අය කිව්ව මීට ප්‍රථම මයික්‍රෆෝනයක් ඉදිරියේ ගීත නොගැයූ පුංචි ළමයකු මීට හඬ සපයන්නේ කියලා. මං ටිකක් තැති ගත්තා.

ඒත් රිෂිනු ඇවිත් ගීතය වොයිස් කරන විට මං විමතියට පත් වුණා. ගීතයෙන් 90% ක් පමණ ඔහු වන් ටේක් එකකින් සිං කළා. සිංදුව වොයිස් කරන ගමන්ම සිරස ආයතනයෙන් මෙහි වීඩියෝවත් ෂූට් කළා.

ඇත්තෙන්ම කිව්වොත් පැය හතරකින් ගීතයයි, වීඩියෝවයි දෙකම ඉවරයි. මේ සඳහා වැඩිපුරම කමෙන්ට්ස් ලැබෙන්නේ අම්මලාගෙන්. මං දන්න කිහිප දෙනෙකු කිව්වා මේ ගීතය අහලා ඔවුන් ළමුන්ට නොදැන්වත්ව දෙන පීඩනය අඩු කළා කියලා.

අවසන් වශයෙන් මෙහි මූලික අයිඩියා එක දුන්නු සුසාර දිනාල් මහතාවත් වීඩියෝව සැකසූ කුමුදු අබේධීර යන අයව මතක් කරනවාත් සමඟ නීත්‍යානුකූලව අවසරය රැගෙන සියලුම අයිතිය සහිතව නිර්මාණය කළ ලංකාවේ පළමු කොලවරි ගීය මෙය බවත් කියන්න ඕනේ.




Source : Sarasaviya