ජනප‍්‍රිය ධර්ම දේශක හිමි නමක් වන පිටිදුවේ සිරිධම්ම හිමියන් තමන්ට තවදුරටත් ලංකාවේ වාසය කරන්නට කැමැත්තක් නැති බව හිතවතුන්ට දන්වා මින් දින 10 කට පමණ පෙර ලංකාව අතහැර ඇමරිකාවේ වොෂින්ටන් නුවරට නික්ම ගොස් ඇත.
මේ වනවිට එහිමි වැඩවාසය කළ දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමය වෙනත් හිමිනමක් යටතේ පාලනය වන අතර පිටිදුවේ හිමියන් අතින් කෙරුණු ශාසනික හා සමාජ කටයුතු රුසක්ම අවුල් සහගතව අතරමග නතරවී ඇත.
අනේ අපේ හාමුදුරුවො අපිව දාලා ගියේ ඇයි? කියමින් මේ ගැන කතාබහ කරන්නෝ මෙය සතුරු කුමන්ත‍්‍රණයක් යයිද තවත් අය මෙය අන්‍යාගමික බලපෑමක ප‍්‍රතිඵලයක් යයිද හඳුන්වති.
අසල්වැසි නඩු සහ නඩත්තු නඩු
කෙසේ වෙතත් අපට වාර්තාවන අකාරයට හිමිනමගේ කීර්තිනාමයට හානියක් විය හැකි සිදුවීම් ගණනාවක්ම පසුගිය කාලය පුරා සිදුවී ඇත.
එහිමියන්ගේ ආශ‍්‍රමය පිහිටි පෞද්ගලික පාරක් වන බෙල්ලන්තර පටුමගේ ප‍්‍රදේශවාසීන් විසින් එම ආශ‍්‍රමයේ ක‍්‍රියාකාරකම් නිසා තමන්ට ඇති කරදර දක්වා පසුගිය ජුනි මාසයේ නඩුමගට යාමත් ඉන් හිමියන්ගේ පාර්ශ්වයට එරෙහි උසාවි වාරණ ක‍්‍රියාත්මකවීමත් ඉන් එකකි.
දෙවැන්න නම් එහිමි ගිහි කාලයේ ආශ‍්‍රය කළා යයි කියන නිරංජලා ශ්‍යාමලී ග්‍රෝසස් නම් කාන්තාවක තමන්ගේ දරුවා හිමියන්ට දාව ජනිතවූයේ යයි පවසමින් පන්සලේ කලබල කිරීමත් පසුව ඇය හිමියන්ට එරෙහිව 2009 වසරේදී නඩත්තු ඉල්ලා නඩු පැවරීමත්ය.මෙම නඩුව වාර කිහිපයක්ම විභාග වුනු අතර පසුගිය දෙසැම්බර් 9 වෙනිදා පැවති විභාගයේදී හිමියන්ට කරන චෝදනාව ඇයට සාක්ෂි මගින් ඔප්පු කරගත නොහැකිවූ අතර හිමියන් නිදහස් විය.නමුත් ඞී එන් ඒ පරීක්ෂණයක් පවත්වා තමන් නිවැරදි බව පෙන්වීමට හිමියන් ඉදිරිපත් නොවූ බව කියැවේ.
ඉහත කාරණාවන්හි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ අපි හරියාකාරව නොදනිමු.නමුත් මේ කාරණා බෞද්ධ භික්ෂුවකගේ නාමයට කැළලක් ඇතිකරවන තරමට ප‍්‍රබල ඒවා බව නම් පිළිගතයුත්තකි.
අන්‍යාගමික කුමන්ත‍්‍රණයක්ද?
විශ්වවිද්‍යාල විද්‍යා උපාධියක් ලබාගැනීමෙන් අනතුරුව ගිහිගෙය හැර ශාසනයට පිවිසි පිටිදුවේ සිරිධම්ම හිමියන් යනු ලංකාවේ කීර්තිමත් ධර්ම දේශක හිමි නමකි.දොරමඩලාව වැඩසටහනින් එහිමි ඉදිරිපත් කළ සිත් පැහැරගන්නා ඔවදන් නොඇසූවකු ලංකාවේ නැති තරම්ය.
එවන් හිමි නමකට සමාජයෙන් ගල්මුල් ප‍්‍රහාරයන් එල්ලවීම ගැන ලංකාව වැනි රටක පුදුම නොවිය යුතු සිද්ධියකි. නමුත් ඒවාට මුහුණදීමටත් පිළිතුරු දීමටත් වෙනුවට ඉන් පළායාමට එහිමියන් තීරණය කළේ මක් නිසාදැයි අපට තවමත් පැහැදිලි නැත.
සතුරු කරදරයක් හෝ අන්‍යාගමික කුමන්ත‍්‍රණයක් නිසා මෙවැන්නත් සිදුවි ඇතිනම් මෙය රටටම පාඩුවකි.