Monday, April 25, 2011

මං ඉස්සරහට කරාඹු දාන්නෙ නෑ’ ඩිල්ෂාන් කියයි

ඊයේ ලංකාවට පැමිණි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිළේ නව නායක ටී.එම්.ඩිල්ෂාන් තේරීම් කමිටුව සමග ක‍්‍රිකට් ආයතනයේදී ප‍්‍රථමවරට මාධ්‍ය හමුවක් පැවැත්වූයේය. එහිදී ඔහු මෙසේ කීවේය.
‘නායකත්වය කියන්නෙ අභියෝගයක්..මං හැම විටම අභියෝග බාර ගත්ත.. මේ තත්වයට ආවෙ අවුරුදු 12ක් ක‍්‍රීඩා කරල..මං නායකය වුණා කියල මගෙ සුපුරුදු ක‍්‍රීඩා විලාශය වෙනස් කරගන්න අදහසක් නෑ.මට නායකත්වය ලැබුවෙත් ඒ විලාශය හින්දයි..
මගෙ කණ්ඩායමේ දැනටත් සංගක්කාර මහේල හිටපු නායකයින් දෙන්නෙක්ම ක‍්‍රීඩා කරනව..අවශ්‍ය වෙලවෙක උපදෙස් ලබාගන්න ඒක හයියක්..
දක්ෂ පිතිකරුවකු වන මාවන් අතපත්තු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස පත් කිරීම මටත්, කණ්ඩායමටත් විශාල ශක්තියක්...
මෙවර අපි නවක වේග පන්දු යවන්නන්ට අවස්ථාව ලබාදී තියෙනවා. ඔවුන් එංගලන්ත වේග තණතිලිවල හොඳින් පන්දු යවාවි කියා මට විශ්වාසයි”
මැයි 5 වැනිදා වන විට පෙරළා ශ‍්‍රී ලංකාවට එන්න කියල ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අයි. පී. එල්. ක‍්‍රීඩකයන්ට දැනුම්දීම හොඳ තීරණයක්.. ආයතනය විසින් ගනු ලබන  ඕනෑම තීරණයකට ක‍්‍රීඩකයන් එකගයි..’

කනේ කරාබුව දානවද?
නායකයා වුණාමත් කනේ කරාබුව දානවද? ප‍්‍රශ්නයට ඩිල්ෂාන් මෙසේ පිළිතුරු දුන්නේ සිනහවෙමිනි
මම මගේ කන විද්දේ මගේ ලොකු දුවගේ කන විද්ද දවසේයි. එදා එයා වේදනාවෙන් අඬපු හැටි දැක්කම මමත් මගේ කන විද ගත්තා. ඒත් මම කරාබු අඳින්නේ නැහැ. කොණ්ඩය ගැනත් එහෙමයි. ඒවා කාලෙන් කාලෙට එන විලාසිතා විතරයි.

ඩිල්ෂාන්ගේ පත්කිරීම තාම තාවකාලිකයි -මෙන්ඩිස්
ඩිල්ෂාන්ට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලබා දුන්නේ දැනට මේ එංගලන්ත සංචාරයට පමණක් බවත් ඔහුගේ නායකත්වය දීර්ඝකාලීනද කෙටිකාලීනද යන්න පිළිබඳව අපට ඉදිරියට තීරණය කිරීමට සිදුවනු ඇති බවත් දුලිප් මෙන්ඩිස් කීවේය.

ශ‍්‍රී ලංකා එංගලන්ත සංචාර ටෙස්ට් කණ්ඩායම
තිලකරත්න ඩිල්ෂාන් (නායක), තරංග පරණවිතාන, ලහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, දිනේෂ් චන්දිමාල්, ප‍්‍රසන්න ජයවර්ධන (කඩුලූ රකින්නා), තිසර පෙරේරා, සුරාජ් රන්දීව්, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, දිල්හාර ප‍්‍රනාන්දු, චානක වෙලගෙදර, සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප්.
(උප නායකයෙකු නැත-ඩිල්ෂාන් නැති අවස්ථාවල සංගක්කාර වැඩ බලනු ඇති)