Wednesday, July 27, 2011

අත්අඩංගුවට ගත් ටෙලිනාට්‍ය නිළියන් ගැන ප්‍රවීණන් දක්වන අදහස්

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ ජනප්‍රිය නිළියන් දක්වන අදහස්

පසුගිය දිනවල පුවත්පත් හා වෙබ් අඩවි ඔස්සේ ජනප්‍රිය හා ප්‍රවීණ ටෙලිනාට්‍ය නිළියන් කිහිප දෙනෙකුම ගණිකා මඩම් කිහිපයක සිට හමුවූ බව කියන පුවත කා අතරත් ඇති කළේ ආන්දෝලනයක්. සැබවින් ම මෙලෙස හසු වූයේ කවුරුන්ද? ඒ අය ජනප්‍රිය හා ප්‍රවීණ රංගන ශිල්පිනියන් ද?

ඒ කුකුස කා අතරත් තිබුණා. කෙස් නමුත් මේ හසුවුණු බොහෝ දෙනෙක් කියා සිටියේ තමන් අසවල් ටෙලිනාට්‍යයේ රඟපාන බවයි. නමුත් මෙවැනි වැටලීම් ඔස්සේ අත්අඩංගුවට පත් කාන්තාවන් ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පිනියන් යැයි ප්‍රචාරයට පත්වීම සාධාරණ ද? සන්තකින් ම මේ අය රංගන ශිල්පිනියන් ද? මීට වගකිවයුත්තේ කවුරුන් ද? මේ ආන්දෝලනාත්මක පුවත කලා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී රංගන ශිල්පිනියන්ට බලපාන්නේ කෙසේ ද?

ඒ පිළිබඳ අපි කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකුගෙන් අදහස් විමසීමක් කළා.

 

හොඳ අය දිහාත් වැරදි කෝණයෙන් බලනවා

ඕෂධී හේවාමද්දුම

ඇත්තටම අද මාධ්‍යවල ඔය ප්‍රවෘත්තිය ලොකු ආන්දෝලනයක් වෙලා. නමුත් කලාව තුළ වැඩ කරන අපිවත් දන්නෑ මේ අය කවුද කියලා. මම නම් කියන්නේ කරුණා කරලා ජනප්‍රිය ද ප්‍රවීණ ද කියන වචන පාවිච්චි නොකර වැරැද්දට දඬුවමක් විදිහට නම හෙළි කරන්න. මේ අය අසවල් ටෙලිනාට්‍යයේ චිත්‍රපටයේ ජනප්‍රිය ප්‍රවීණ කියලා අර්ථකතන දෙන්න අවශ්‍ය නැහැ. නම හෙළි කරපුවාම අපේ රටේ මිනිසුන් දන්නවා මේ කවුද කියලා.

අද කරන්නේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක නමක් දාලා එහි රඟපාන අසවලා ගණිකා මඩමකදී හමු වුණා කියලා කියනවා. දැන් හැමෝම අරයා ද මෙයා ද කියලා හිතනවා. සමහර වෙලාවට හොඳ අය දෙස පවා බලන්නේ වැරැදි කෝණයකින්. ඒ නිසා නම ප්‍රසිද්ධ කරන්න. කෙනෙකුට ලැජ්ජාවක් තියෙනවා නම් මෙහෙම දේවල් කරන්නේ නැහැනේ. ගොඩක් වෙලාවට මේ අයගේ වෘත්තිය ගණිකා වෘත්තිය. නමුත් ඒ අයගේ මාර්කට් එක හදාගන්න ගණන වැඩි කරගන්න රඟපාන්න එනවා. ඒ එන්නෙත් දවසක දෙකක පොඩි කොටසකට.

මම නම් අපේ ප්‍රවීණයින්ගෙන් ඉල්ලන්නේ මෙහෙම අහුවෙන අය ආයේ කලාවට වැද්දගන්න නැති විදිහට ක්‍රමවේදයක් හදන්න කියන එක. ඇත්තටම කිව්වොත් මේ අය නිළියන් නෙවෙයි. දවසක දෙකකට පෙනී ඉන්න අය. ඒ නිසා මෙහෙම නිළියක් කියලා අසුවුණාම ඒක කලාවේ ඉන්න අපට විශාල හානියක්. ඒ නිසා වගකිවයුත්තන් ඒ සඳහා මැදිහත් වෙන්න.


මේ අයගේ වැඩ නිසා අපි ගැරහීමට ලක්වෙනවා
 නයනා කුමාරි

මම මූලිකවම කියන්නේ මෙහෙම දෙයක් අහුවුණාම නම ගම සමඟ ඡායාරූපයක් ම ප්‍රසිද්ධ කරන්න. එහෙම නැතුව අසවල් ටෙලිනාට්‍යයේ කියලා වහෙන් ඔරෝ කියන්නේ නැතුව කෙළින් ම මෙහෙම ප්‍රසිද්ධ කරන්න. අද අපි හැමෝ ම දන්නවා කලාව ඇතුළේ ඉන්න පිරිස ගැන. ඒ අය කවුද කියන එක. නමුත් සාමාන්‍ය ජනතාව මෙය දන්නේ නැහැ. ඒ නිසා ඒ අයට කරන සාධාරණයක් විදිහට ප්‍රසිද්ධ කරන එකයි වැදගත්. මොකද අපි මේ විදිහට කලාකරුවන් විදිහට රැඳීලා ඉන්නේ ජනතාව හින්දා.

කවුරුන් නොදන්නා පිරිසක් කරන වැඩ නිසා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ නිළියන් ගැරහීමට ලක්වෙනවා. මම කියන්නේ මෙවැනි වැටලීම්වලදී අසුවෙන සියලු දෙනාම ප්‍රචාරයට පත් කරන්න ඕන. ලැජ්ජාවක් බයක් නැති නිසානේ මේ දේවල් කරන්නේ. මාධ්‍යයට විශාල වගකීමක් තියෙනවා. මේ ටෙලිනාට්‍යයක දෙකක හිටගෙන ඉන්න කෙනෙකුට ප්‍රසිද්ධ නිළියක් කියලා මෙහෙම දේකදී ප්‍රසිද්ධ කරනවට. ඇත්තටම ඔය පසුගිය කාලයේ ගණිකා මඩම්වලදී අසුවුණ කිසිම කෙනෙක් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අපි දැකලා හුරු පුරුදු අය නෙවෙයි. නැවත නැවතත් මම කියන්නේ මේ අය ඡායාරූප සමඟ නම ගම හෙළිකරන්න කියලයි.

අහුවුණේ කවුද කියලා නම් ප්‍රසිද්ධ කරන්න

අනර්කලී ආකර්ෂා



ඇත්තටම කියනවා නම් මේ අය ප්‍රවීණ ජනප්‍රිය කියලා හඳුන්වා දීමම විශාල හානියක්. ඒක මේ ක්ෂේත්‍රයේ නළු නිළියන්ට පමණක් නෙමෙයි පවුල්වලටත් කරන විශාල හානියක්. මේ අය මෙහෙම වැඩ කරලා අහුවුණාට පස්සේ අහවල් ටෙලිනාට්‍යයේ රඟපාලා තියෙනවා කියලා කියෙනවා. අද කලා ක්ෂේත්‍රයේ හොඳ ගෙවීමක් කරනවා. එහෙම එකේ ඇයි මේ වගේ වෘත්තීන්වල මේ අය නිරත වෙන්නේ.

ඇත්තටම එහෙම වුණාම අපිට විශාල දුකක් දැනෙනවා. අද අපි මේ නම හදාගත්තේ විශාල කැපකිරීමක් කරලා. සමාජයට හොඳ නිර්මාණ ලබාදීලා. ඒත් මේ වගේ පහත් වැඩ කරලා අහු වුණාම ඒ අය ප්‍රසිද්ධ වෙන්නේ ප්‍රවීණ ජනප්‍රිය නිළියක් කියලා. මම නම් කරන එකම ඉල්ලීම මේ අයගේ නම් ප්‍රසිද්ධ කරන්න කියලයි. එතකොට රටම දන්නවා මේ අය ප්‍රවීණ ද ජනප්‍රිය ද නැත්නම් කවුද කියලා.

ජනප්‍රියයි - ප්‍රවීණයි කියල කවුද තීරණය කරන්නේ

සේමිණි ඉද්දමල්ගොඩ

මේ පිළිබඳ ‘රසඳුන’ ඔස්සේ කතා කිරීමම ඉතාම වැදගත් දෙයක්. මට තියෙන මූලික ගැටලුව මේ ජනප්‍රිය හා ප්‍රවීණ කියන දේ එළියට දෙන්නේ කවුද? මෙය පොලිසිය හරහා වෙන දෙයක් ද නැත්නම් මාධ්‍ය හරහා සිදුවන දෙයක් ද? පොලිසියටත් වඩා මාධ්‍ය මිතුරන් අද දන්නවා මේ ජනප්‍රිය හා ප්‍රවීණ නළු නිළියන් පිළිබඳ. ඒ නිසා මාධ්‍යයට විශාල වගකීමක් තියෙනවා මේ වචන පාවිච්චි කරන්න පුළුවන් ද කියලා මේ අයට.

අද සමහරු රංගන වෘත්තියට එනවා ගණිකා වෘත්තිය ජනප්‍රිය කරගන්න. පත්තරයක පින්තූරයක් දාගෙන ටෙලිනාට්‍යයක පොඩි කොටසක් දාගෙන ඒ අය තමන්ගේ වෘත්තිය ජනප්‍රිය කරගන්න උත්සාහ කරනවා. ඇත්තටම මෙය විශාල හානියක්. අද අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු නිර්මාණවලට හොයන්නේ දක්ෂ ශිල්පීන් නෙමෙයි. අඩු මුදලට ගන්න පුළුවන් ශිල්පීන්.

මේ නිසා ටෙලිනාට්‍ය අවර ගණයට යන්න පටන් අරන්. මොකද මේ එන අය අඳුන ගන්න කාටවත් බැහැ. ඒ නිසා අද මාධ්‍යයට විශාල වගකීමක් තියෙනවා මෙහෙම කෙනෙක් අහු වුණාම ජනප්‍රිය ද ප්‍රවීණ ද කියන තැන දෙන්න පුළුවන් ද කියන දේ තීරණය කරන්න. මෙහෙම දේවල් වෙන එක අද රංගන ශිල්පීන්ට කරන විශාල හානියක්. මේ නිසා මෙය කතිකාවකට බඳුන් විය යුතුයි කියලයි මම හිතන්නේ.

ප්‍රචාරය කරන විදියේ වරදක් තියෙනවා

ශ්‍රියානි අමරසේන


මෙහෙම දෙයක් අහු වුණාට පස්සේ එය ප්‍රචාරය කරන ආකාරයේ විශාල වැරැද්දක් තියෙනවා කියලා මට පෙනෙනවා. ප්‍රවීණ ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් කියලා කිව්වාම ඒ පිළිබඳ පාඨක අවධානය යොමු වෙනවා වැඩියි. මෙය පත්තර කලාවේ එක්තරා උපක්‍රමයක් කියලත් කියන්න පුළුවන්. නමුත් කලාවට ආදරය කරන කලාකරුවට ආදරය කරන ප්‍රේක්ෂකයාට මෙවැනි දේ තුළින් විශාල කලකිරීමක් ඇතිවෙන්න පුළුවන්. ඇත්තටම කලාවෙන් අපේ රටට විශාල කීර්තියක් ජාත්‍යන්තර කීර්තියක් ගෙන එන්න මේ කලාවේ නියැලෙන කලාකරුවන්ට හැකියාව ලැබිලා තියෙනවා.

නමුත් මෙවැනි පහත් සිදුවීම් මුල් කරගෙන මෙවැනි ප්‍රකාශ භාවිතාවීම කලාවට යහපත් දෙයක් නෙවෙයි. ඇත්තටම අද වෙබ් අඩවි හෝ පත්තර කලාකරුවන් පිළිබඳ තොරතුරු සමාජයට ලබාදෙනවා. නමුත් මෙවැනි සිදුවීම් එක්ක ඒ සියල්ල දෙසම පහත් විදිහට දැකීම අනුමත කරන්න අමාරුයි. ඒ සියල්ල දෙස සමබරව බැලීමයි වැදගත්. අද ලෝකයේ හැම ක්ෂේත්‍රයකම හොඳ නරක කියන දේ සිද්ධවෙනවා.

නමුත් කලාවේ මෙහෙම දෙයක් සිදුවුණාට එය ලොකු ආන්දෝලනයක් ඇති කරනව. අපි කවුරුත් දන්නැහැ මෙහෙම වෘත්තින් වල නියැළිලා මේ අහුවුණ අය කවුරුන් ද කියලා. ඒ නිසා මාධ්‍ය සහ කලාව අත්වැල් බැඳගෙන මේ ගමන යන නිසා මෙවැනි සිදුවීම් ප්‍රචාරයේදී සාධාරණ ක්‍රමයක් හදාගමු. මොකද මම විශ්වාස කරන්නේ අපිට ජනමාධ්‍ය ඕන. ජනමාධ්‍යයට අපි ඕන කියන එකයි.

වසන්ත ජයසිංහ ආරච්චි


රසඳුන පත්‍රයෙන් උපුටා ගත් කොටසකි