Tuesday, July 26, 2011

මම විවාහයට චුට්ටක් බයයි


 මේ දිනවල විකාශය වන ඕලු ටෙලිනාට්‍යයේ මෙන්ම තවත් ටෙලිනාට්‍ය කීපයකම තරුෂිගේ රංගන දැකගත හැකිය. බොහෝ දෙනකු ඇයව හඳුන්වනු ලබන්නේ “පුංචි තිරයේ අහිංසක පෙම්වතිය” ලෙසය. ඒ ඇය නිරූපණය කළ ඇතැම් චරිත නිසාය.


තරුෂි කොහොමද මේ දිනවල ඔබේ කාලය ගෙවෙන්නෙ?

ඉතාම සතුටින් කාලය ගෙවනව. ඕලු ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට පසුගිය දවස්වල සහභාගි වුණා. ඒ වගේම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ප්‍රියන්ත සමරකෝන්ගෙ “සිරි වාසල” ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වටලත් සහභාගි වෙනවා. ඒ වැඩත් එක්ක තමයි මම මේ දවස්වල ඉන්නෙ.

ඔබ ක්ෂේත්‍රයට පැමිණි ආකාරය...?

මගෙ ගම නාවලපිටිය. නාවලපිටියෙ සාන්ත අන්දු විදුහලිනුත් මහනුවර ස්වර්ණමාලි විදුහලිනුත් තමයි මම අධ්‍යාපනය හැදෑරුවෙ. උසස් පෙළට හැදෑරුවේ නාට්‍ය සහ රංග කලාව, චිත්‍ර, නර්තනය යන විෂයන්. පාසලේදි මම වැඩියෙන්ම යොමු වුණේ චිත්‍රවලට සහ නර්තනයට. රංගනයට යොමුවෙන්න අදහසක් පාසල් යන කාලෙ තිබුනෙ නෑ. මගෙ ලොකු තාත්තගේ (වික්‍රම කළුතොට) මඟ පෙන්වීම යටතේ නාට්‍ය පාඨමාලාවක් හදාරන්න මට අවස්ථාව ලැබුණා. මුදියන්සේ දිසානායක ගුරුතුමා යටතේ නර්තනයත් හැදෑරුවා. මම මුලින්ම රූපවාහිනී කැමරාවක් ඉදිරියට ගියේ ටෙලිනාට්‍ය දැන්වීමකට පෙනී සිටින්න. පසුව අන්දරවැට ටෙලිනාට්‍ය මාලාවට සම්බන්ධ වුණා. ප්‍රේක්ෂකයින්ට දැනෙන චරිතයක් නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණේ එරංග සේනාරත්නගේ “පූජා” ටෙලි නාට්‍යයේ.

රංගනයට පිවිසීම බලාපොරොත්තු ඉටුවීමක් ද?

නැහැ. රංගනයට එන්න මම හීන මැව්වෙ නෑ. නමුත් මම චිත්‍රපට ටෙලිනාට්‍ය නරඹන්න ගොඩක් කැමැති කෙනෙක්. චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් නැරඹුවාට පසුව එහි කතාව තවදුරටත් ගොතල තවත් අලුත් කතාවක් හදල මම මගෙ යාළුවන්ට කිව්ව. ඒ විදියට නිර්මාණය කළ කතා මම පොතක ලියල තියෙනව. මේව ගැන දැන් හිතනකොට මට හිතෙනව රංගනයට ආශාවක් මගෙ යටි හිතේ තිබිල තියෙනව කියල.

ඔබ වැඩියෙන්ම නිරූපණය කරල තියෙන්නෙ අහිංසක පෙම්වතියගෙ චරිතය නේද?

මට ලැබුණු බොහොමයක් චරිතවල ඔය ලක්ෂණය බොහෝ දුරට තිබුණා. ඒ මගේ බාහිර පෙනුම නිසා වෙන්න ඇති. ඒ වුනත් ඒ හැම චරිතයකම කිසියම් වෙනසක් කරන්න මම උත්සහ කළා. පසු කලෙක මට ලැබුණා විවිධ චරිත නිරූපණය කරන්න. කපටි, සැරපරුෂ චරිත ඒ අතර තිබුණා. මේ දවස්වල විකාශය වන ඕලු  ටෙලිනාට්‍යයේත් මම නිරූපණය කරන්නෙ තරමක සැර පරුෂ චරිතයක්.

නර්තනයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් නැතිද?

මම උඩරට පහතරට නර්තන සම්ප්‍රදායන් දෙකම ඉගෙන ගෙන තියෙනවා. ඉඩක් ලැබුණොත් තවදුරටත් නර්තනය ඉගෙන ගන්න බලාපොරොත්තුවක් තියෙනව.

ඔබට ලැබෙන හැම චරිතයක්ම රඟපාන්න බාර ගන්නවද?

නැහැ. මම ලැබෙන හැම චරිතයක්ම බාර ගන්නේ නෑ. මට ලැබෙන චරිත පිළිබඳ මම ගොඩක් දුරට හිතනව. අධ්‍යක්‍ෂවරයා සහ මගෙ සමීපතමයින් සමඟ සාකච්ඡා කරල මට ඒ චරිතය හොඳයි කියල හිතුනොත් තමයි මම බාර ගන්නෙ. මම චරිතය ගැන වැඩියෙන් කතා කළා කියල අධ්‍යක්‍ෂවරු මා එක්ක අමනාප වෙලා නෑ. තව දෙයක් මෙතනැදි කියන්න ඕන; අද හැදෙන බොහොමයක් ටෙලිනාට්‍යවල හැල හැප්පීම් ඇති චරිත ප්‍රබල චරිත නෑ. එකම වාගෙ චරිත තමයි හැම ටෙලි නාට්‍යයකම තියෙන්නෙ. මම කැමැතියි විවිධත්වයෙන් යුතු හැල හැප්පීම් සහිත චරිත නිරූපණය කරන්න.

ළඟදිම ඔබ විවාහ වෙන බව ඇත්තද?

නැහැ; මගෙ විවාහය ගැන මම තවම ස්ථිර තීරණයක් අරගෙන නෑ. මගෙ දෙමව්පියනුත් බලාගෙන ඉන්නේ කවදාද මගේ විවාහය සිදුවෙන්නේ කියල. හැබැයි මම තව වසරක් දෙකක් ඇතුළත විවාහ වේවි. අවංකවම කතා කරනවා නම් මම විවාහයට ටිකක් බයයි. ඒ මොකද මම විශ්වාස කරන විදියට විවාහය මැරෙන තුරා පැවතිය යුතු ආරක්ෂා කරගත යුතු දෙයක්. විවාහ වුණාට පසුව ඉතිරි ජීවිත කාලයම ගත කරන්න වෙන්නෙ ඒ පුද්ගලයා එක්ක. ඒ නිසා මගෙ ස්වාමි පුරුෂයා වන ඒ පුද්ගලයා මට ගැළපෙන කෙනෙක් විය යුතුයි කියලයි මම විශ්වාස කරන්නෙ. ඒ නිසා විවාහය පිළිබඳ තීරණය ගොඩක් දුරට හිතල ගන්න ඕන තීරණයක්.

රංගන ශිල්පිනියක් වීම ගැන ඔබ තෘප්තිමත් ද?

මම රංගන ශිල්පිනියක් වෙන්න හිතාගෙන සිටි කෙනෙක් නෙමෙයි. නමුත් මම අද එතැනට ඇවිත් තියෙනව. ඒක හැමෝටම නොලැබෙන අවස්ථාවක්; වාසනාවක්. නමුත් මේ ක්ෂේත්‍රයේ වර්තමානයේ සිදුවන ඇතැම් දේවල් ගැන මට තියෙන්නේ කලකිරීමක්. මේ තත්ත්වය වහාම වෙනස් වුණේ නැතිනම් ඒකෙන් ක්ෂේත්‍රයට විශාල හානියක් සිදුවේවි. මේ වගේ ඇතැම් දේවල් දකින විට මට හිතෙනවා, මේ ක්ෂේත්‍රයට නාව නම් හොඳයි කියලා.

ඔබේ පවුලේ උදවිය ගැන කතා කළොත්?

අම්මයි තාත්තයි නංගිල දෙන්නයි මල්ලියි මමයි තමයි අපේ පවුලෙ ඉන්නෙ. මම හැම තිස්සෙම මගේ පවුලේ ගෞරවය ගැන හිතනවා.

විවාහයෙන් පසුව දිගටම රඟපානවද?

විවාහයෙන් පසුව මගේ පළමු තැන පවුල් ජීවිතයට. මගේ ස්වාමිපුරුෂයා වෙන කෙනා කැමති වුණොත් මම දිගටම රඟපානව. ඒත් මගෙ රංගන කටයුතු නිසා මගෙ පවුල් ජීවිතයට චූටි හෝ අඩුපාඩුවක් සිදුවෙනව කියල මට දැනුණොත් වහාම මම රඟපෑමෙන් ඉවත් වෙනවා.

කලාව තුළ මොන වගේ බලාපොරොත්තුද ඔබට තියෙන්නේ?

විශාල බලාපොරොත්තු මට නෑ. ඒත් කලින් සඳහන් කළා වගේ මගේ හිතේ කාලෙක ඉඳලා ඇඳිල තියෙන කතාවක් තිර රචනයක් බවට පත් කරල එයින් හොඳ නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනව. ඒත් ඒකට තව කොපමණ කාලයක් යාවිද කියල කියන්න බැහැ.




ගාමිණී සුසන්ත

ඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ

සිළුමිණ පත්‍රයෙන් උපුටා ගත් කොටසකි