Sunday, July 31, 2011

මම උඩඟු නැහැ ඒත් ආඩම්බරයි

නිලන්ති ඩයස් කරුණාරත්න කලා ක්ෂේත්‍රයට පැමිණියේ නර්තන ශිල්පිනියක් ලෙස ය.
මේ වනවිට ඇය සිනමාව, වේදිකාව මෙන් ම පුංචි තිරය ද ජයගෙන ඇත. මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන බර්ට්‍රම් නිහාල් ගේ ‘අමරපුරය’ ටෙලිනාට්‍යයේ ශාඛ්‍යා ගේ චරිතය නිරූපණය කරන්නේ නිලන්තිය.


නිලන්ති ඉතිං කොහොමද තොරතුරු?

සතුටින් ඉන්නවා. චිත්‍රපට ටෙලිනාට්‍ය රූපගත කිරීම්වලට නම් මේ දිනවල සහභාගි වෙන්නෙ නෑ. ඒත් නර්තන ප්‍රසංග වලට දිගටම සහභාගි වෙනවා. පසුගිය 23 වැනිදා පැවැත්වුණු මායා දමයන්ති මහත්මියගේ ප්‍රසංගයටත් මම නර්තනයෙන් දායක වුණා.


‘අමරපුරය’ ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

බර්ට්‍රම් නිහාල් කියන්නෙ ඉතා හොඳ ටෙලි නිර්මාණ ගණනාවක් ම ප්‍රේක්ෂකයන්ට දායාද කළ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ නිර්මාණවල උසස් ගුණය නිසා මම ඉතාම කැමැත්තෙන් ‘අමරපුරය’ ට සහභාගි වුණා. ‘අමරපුරය’ චිත්‍රපටයක් වගේ ලස්සන ටෙලිනාට්‍යයක්. තවම කොටස් කීපයයි මේ ටෙලිනාට්‍යයේ විකාශය වෙලා තියෙන්නෙ. ඉදිරියේදී මෙහි රසය උපරිම විදියට ප්‍රේක්ෂකයින්ට විඳින්න හැකි වේවි. මේ ටෙලිනාට්‍යයේ චරිත ගොඩක් තියෙනව. ඒ හැම චරිතයක් ම විවිධත්වයෙන් යුතු චරිත.
‘අමරපුරය’ ටෙලිනාට්‍යයේ ඔබේ චරිතය පිළිබඳ සඳහන් කළොත්...?

මේ ටෙලිනාට්‍යයේ චාල්ස් බලවර්ධනගේ දියණියක වන ශාඛ්‍යා ගේ චරිතය තමයි මම නිරූපණය කරන්නෙ. ශාඛ්‍යා හැමෝගෙම හදවත් තේරුම් ගන්න උත්සාහ කරන හිත හොඳ චරිතයක්. මම හරිම කැමැත්තෙන් තමයි මේ චරිතය නිරූපණය කළේ.

නර්තන ප්‍රසංග සඳහා ඔබ විශාල මුදලක් අය කරනවා කියන්නෙ සැබෑද?

එහි සත්‍යතාවයක් නෑ. ප්‍රසංගවලදී ඉදිරිපත් කරන නර්තනය සඳහා මම අය කරන්නෙ ඉතාම සාධාරණ මිලක්. යම් කිසිවකට ආධාර පිණිස පවත්වන නර්තනයක් සඳහා මම ඉතාම අඩු මුදලක් තමයි ගන්නෙ. නර්තනය මගේ වෘත්තියනෙ. හැබැයි රණවිරුවන් වෙනුවෙන් පවත්වන ප්‍රසංගවලටත් මම ඉතාම අඩුවෙනුයි අය කරන්නෙ. ඇතැම් අවස්ථාවල නොමිලේම මගේ රංගනයන් ඉදිරිපත් කළ අවස්ථාත් තියෙනව.

ඔබ විදෙස් රටවල් කොපමණ සංඛ්‍යාවක නර්තන ප්‍රසංගවලට සහභාගි වෙලා තියෙනවද?
රටවල් 30 ක පමණ පැවැත්වුණු ප්‍රසංග වලට මම සහභාගි වෙලා තියෙනව. ඒ අතරින් සමහර ප්‍රසංග වලට සහභාගි වුණේ ගීත ගයන්න.
ගායනයෙන් ඉදිරියට එන්න අදහසක් නැතිද?
මම ගායනයට පෙළඹුණේ රූපවාහිනී නාලිකාවල පැවැත්වුණු වැඩසටහන්වල ගීත ගායනා කිරීම නිසයි. ගායනයට සුළු හැකියාවක් මට ඇති. ඒත් ගායිකාවක් හැටියට ඉදිරියට එන්න මගෙ ආශාවක් නෑ. නමුත් මගෙ ගායන හැකියාව තවදුරටත් දියුණු කරගන්න මම උත්සාහ කරනව. ඒ; ක්ෂේත්‍රයේ රැඳී සිටින විට සෑම දෙයක් පිළිබඳවම කිසියම් හැකියාවක් පෙන්නුම් කළ යුතු නිසා.

ඔබේ හැකියාව සහ ජනප්‍රියතාව ගැන ඔබ උඩගු ද, ආඩම්බර ද?

මම කිසිවිටෙකත් උඩඟු නෑ. මාව ආශ්‍රය කරන අය ඒ බව දන්නව. නමුත් මගේ හැකියාව ගැන මට ආඩම්බරයි. මම විතරක් නෙවෙයි මගේ අම්ම මගෙ ආදරණීය සැමිය මගෙ වටේ ඉන්න හැමෝම මං ගැන ආඩම්බරයි. ඒ ගැන මට හරිම සතුටුයි.

ජනප්‍රියතාව ඔබට කරදරයක් ද?
නැහැ. රසික රසිකාවියන්ගෙ ආදරය නිසානෙ අපි මෙතන ඉන්නෙ. නමුත් ඇතැම් රසික රසිකාවියන් අපේ කාලය අපේ වැඩ ගැන හිතන්නෙ නැතිව නිතර නිතර කතා කරන අවස්ථා තියෙනව. ඒක නම් ටිකක් කරදරයි.

ඔබ ක්ෂේත්‍රයට ආවෙ වානිජ චිත්‍රපටවල රඟපෑමෙන්. කලාත්මක චිත්‍රපටවල ඔබ දකින්න නොලැබෙන්නේ ඇයි?

ඇත්තෙන් ම මම වැඩිපුරම රඟපාල තියෙන්නෙ වානිජමය චිත්‍රපටවල. ඒ ගැන මට කිසිම කනගාටුවක් නැහැ. ඒ මොකද ඒ චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයින්ට වින්දනයක්, සතුටක් ලැබෙන නිසා. නමුත් මම හරිම ආශාවෙන් ඉන්නෙ කලාත්මක චිත්‍රපටයක හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න. මට අධ්‍යක්ෂවරු වැඩියෙන් කතා කරන්නෙ මීට පෙර කරල තියෙන ආකාරයේ ම රංගන ඉදිරිපත් කරන්න. ඒකයි තියෙන ගැටලුව.

ඔබ ටෙලිනාට්‍යවල වැඩිපුර දකින්න නැත්තෙ ඇයි?

මම වැඩියෙන් ම කැමැති චිත්‍රපටවලට දායක වෙන්න. ටෙලිනාට්‍යවලට දායක නොවනවා නෙමෙයි. ඒත් මම වැඩියෙන් ම කැමැති චිත්‍රපටවලට.

චිත්‍රපටයක කිසියම් චරිතයක් වෙනුවෙන් විශාල කැපකිරීමක් වුවත් කරන්න ඔබ සූදානම් ද?

මගේ ප්‍රතිරූපයට හානි නොවන ආකාරයේ කැපකිරීමක් කරන්න මම සූදානම්. ඒ අභියෝගය මම සතුටින් බාර ගන්නවා. හැබැයි ඒක හරියටම තීරණය කරන්න පුළුවන් තිරපිටපත බැලීමෙන් පසුවයි.

කොහොමද පවුල් ජීවිතේ...?

ඉතාම සාර්ථකව ගෙවනව. මගෙ මහත්තය නිරෝෂන් තමයි හැමදේකටම මගෙ ළඟ ඉන්නෙ. විවාහයට පෙර මගෙ අම්ම මගෙ ළඟින් සිටිය වගේ, දැන් මගේ සැමිය හැම දේකදීම මට උදව්වෙනව. හැබැයි අම්මගෙ උදව් මට තාම ලැබෙනව.