Sunday, July 31, 2011

අවසන් තරු තුන සමග කතා බහක්‌


මෙරට රියෑලිටි තරග අතර "දෙරණ ඩ්‍රීම් ස්‌ටාර්" තරගයට හිමිවන්නේ සුවිශේෂ තැනකි. එහි අවසන් මහ තරගය යෙදී තිබුණේ ඊයේය. (ජුලි මස 30). රියෑලිටි තරග ප්‍රේක්‍ෂකයන්ගේ සිත්තුළින්, ඔවුනගේ ආකර්ශනයෙන් මිදෙන මොහොතක, දෙරණ  ඩ්‍රීම් ස්‌ටාර්, කිසියම් ගුණාත්මක බවකින් යුක්‌තව එය පෙළ ගස්‌වන්නට ගන්නා වෑයම පිළිබඳව ඉඟි කළේ පසුගිය කාලයේ රයිගම් සම්මාන උළෙලදී එය හොඳම නිර්මාණාත්මක රියෑලිටි වැඩසටහන ලෙස සම්මාන ලැබීමත් සමගමය.

කෙසේ හෝ මෙහි තුන්වැනි අදියරේ අවසන් මහ තරගය තරගකරුවන් තිදෙනකු අතර ඊයේ පැවැත්විණි. ඒ ශානක උදීශ, කේෂාන් ශෂේන්ද්‍ර හා මනුජ මහවත්ත යන තරගකරුවන් අතරය. ලිපිය පළවන මොහොත වනවිට ඔවුන් අතරින් කෙනෙක්‌ට දෙරණ ඩ්‍රීම් ස්‌ටාර් කිරුළ හිමිව තිබිය හැක. එහෙත් තරගාවලිය පුරාමත් අවසන් මහ තරගය දක්‌වා වූ පුහුණුවීම් මැදින් මේ තරගකරුවන් තිදෙනාම දැක්‌වූයේ එක හා සමාන දක්‍ෂතාවන් බව සඳහන් කළ යුතුය. කෙසේ හෝ අවසන් මහා තරගයට පෙරාතුව දිනෙක මේ තොරතුරු සොයා යැමේ අවස්‌ථාව අපට හිමිවුණා.

මෙහි සම නිෂ්පාදකවරයකු වන කැළුම් දර්ශන අවසන් මහ තරගයට පෙර පැවසුවේ "දෙරණ ඩ්‍රීම් ස්‌ටාර් මේ වනවිට ශ්‍රී ලාංකීය රියෑලිටි වැඩසටහන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වන්නට හේතුව ඇත්තේ එම නිෂ්පාදන කාර්යය තුළත්, වැඩසටහනින් යම් ගුණාත්මක බවක්‌ රැකගන්නට සමත්වීම නිසා" බවයි.

දර්ශනයට අමතරව මෙහි සම නිෂ්පාදකවරු ලෙස ප්‍රභාත් කහදූවආරච්චි සහ ක්‍රිශාන්ති රාජිකා කටයුතු කරනවා. ඔවුන් පවසන්නේ ඊයේ දවසේ ඔබ දුටු ඒ දැවැන්ත අවසන් මහ තරගයේ ක්‍රියාවලිය තුළ විශාල පිරිසකගේ දායකත්වය හිමිවන බවයි.

ඒ අනුව දෙරණ ඩ්‍රීම් ස්‌ටාර් උපදේශකත්වය සමග නිරන්තරයෙන් වැඩසටහනෙහි ගුණාත්මකභාවය රැක ගැනීමට සෘජු දායකත්වයක්‌ ලබාදෙන්නේ දෙරණ සභාපති ධුරය ද උසුලන ලක්‌සිරි වික්‍රමගේ මහතා සේම, දෙරණ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මාධව මඩවල මහතා ය. එමෙන්ම විධායක අධීක්‍ෂණය සිදුකරනු ලබන්නේ විධායක අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන මාධව ගනේගොඩ මහතා ය. නිර්මාණ අධ්‍යක්‍ෂණයෙන් ෂර්මිලා ධර්මරාසා ද ඊට දායකත්වය ලබාදේ.

ඊයේ පැවැති අවසන් මහා තරගයේදී අවසන් වටයට තේරුණු ගායකයන් තිදෙනා ගීත තුන බැගින් ගායනා කරන්නට නියමිතව තිබිණි. ඒ සමගම පළමු හා දෙවැනි අදියරේදී ජයග්‍රාහකයන් බවට පත්වූ හා ජනප්‍රියත්වය රඳවා ගෙන සිටින අයත් එහිදී ගීත ගායනා කරන්නට නියමිතව තිබිණි.

මේ තරගකරුවන් තිදෙනා අවසන් අදියර දක්‌වා පැමිණෙන්නේ තරගකරුවන් හා තරගකාරියන් හැටපන්දහසක්‌ පමණ වූ ප්‍රමාණයකින් දක්‍ෂතා ඉදිරිපත් කරමිනි. එහෙයින්ම ඔවුන් තිදෙනාම මේ රියෑලිටි වැඩසටහන පිළිබඳව දරන්නේ කවරාකාර අදහසක්‌ද යන්න විමසීමට අප තීරණය කළෙමු.

තවමත් දහහත් හැවිරිදි වියෙහි පසුවන මනුජ මහවත්ත දෙරණ ඩ්‍රීම් ස්‌ටාර් තරගයට සහභාගිවන්නේ උසස්‌ පෙළ හදාරන ශිෂ්‍යයකු ලෙසිනි.

"මහරගම ජනාධිපති විද්‍යාලයෙන් උසස්‌ පෙළ කලා විෂයයන් හදාරන අතරතුරයි මම දෙරණ ඩ්‍රීම් ස්‌ටාර් තරගයට සහභාගි වන්නේ. ඒ එක්‌කම මම සංගීතයත් හදාරනවා. විශේෂයෙන්ම මතක්‌ කරන්න ඕන අම්මා, තාත්තා, අයියා වගේම මගේ පාසලත් මේ තරගයට එන්න මට දුන්නු සහයෝගය හා උපකාර ගැන. මේ වෙනකොට මගේ බලාපොරොත්තුව සංගීත ක්‍ෂේත්‍රයෙන්ම ඉදිරියට යන්නයි. "දෙරණ ඩ්‍රීම් ස්‌ටාර් තරගය ඒ බලාපොරොත්තුව ජයගන්න සෑහෙන අත්වැලක්‌ වෙයි කියන බලාපොරොත්තුව මට තියෙනවා. මම රියෑලිටි තරගයකට ඉදිරිපත් වූ පළමු අවස්‌ථාවත් මේකමයි. ජයග්‍රහණය කාට හිමි වුණත් ඒක සතුටින් බාරගන්නත්, අනෙත් කෙනාට අවංකව සුබ පතන්නත් මම සූදානම් මොකද අපි හොඳ යාළුවෝ"........

මනුජ කියන්නේ එහෙම කතාවක්‌.

ශානක උදීෂ ඩ්‍රීම් ස්‌ටාර් තරගය නියෝජනය කරන්න එන්නේ ගම්පොළ ඉඳලයි.

මම ගම්පොළ සහිරා විදුහලින් අධ්‍යාපනය හදාරා අවසන් කර වැඩිදුර අධ්‍යාපනය හදාරමින් ඉන්න මොහොතකයි ඩ්‍රීම් ස්‌ටාර් තරගයට අයෑදුම් කළේ. ඇත්තම කිව්වොත් තරගය හින්දා මම අධ්‍යාපනය අතරමග නතර කළා. අපේ තාත්තා තමයි මාව සංගීතයට යොමු කළේ. ඔහු සංගීතයට දැඩි ලෙස ප්‍රියකරන්නෙකි. ගායනයට වඩා මගේ උනන්දුව ආසාව තිබුණේ වාදනයට. මගේ මල්ලිලා දෙන්නත්  සංගීතයට ලැදියි. ජයග්‍රහණය ගැනමට පුංචි බලාපොරොත්තුවක්‌ තියෙනවා. ඒත් තරගයේ අවසානයට තේරුණු අපි හොඳ යාළුවෝ..... ඒ දෙන්නත් ඉතාම දක්‍ෂයි. කාට ජයග්‍රහණය හිමිවුණත් මම ඔහුට සුබ පතනවා.

උදීෂ කියන්නේ එබන්දකි.

රත්මලානේ සිට දෙරණ ඩී්‍රම් ස්‌ටාර් තරගයට පිවිස සිටින අනෙක්‌ තරගකරුවා වන කේෂාන් ශෂේන්ද්‍ර තමන්ගේ අනාගතය සම්පූර්ණයෙන් වෙනස්‌ කොට, තමන් වෙනස්‌ ම ගමනකට යොමු කරන්නට, තරම් "දෙරණ ඩ්‍රීම් ස්‌ටාර්" හේතු වූ බව පවසන්නේය.

"මේ වෙනකොට මට වයස අවුරුදු 23 යි. කොළඹ ආනන්ද විදුහලෙන් ඉගෙනුම ලබලා, මම විදේශගත වෙන්නේ හෝටල් ක්‍ෂේත්‍රයේ රැකියාවක්‌ සඳහා වැඩිදුර අධ්‍යාපනය ලබන්නයි. ලංකාවට ඇවිත් ඉන්න මොහොතේ අම්මා තමයි තරගයට මාව යොමු කළේ. මේ වෙනකොට මම සංගීතය කියන එකත් එක්‌ක පූර්ණව බද්ධවෙලා ඉන්නවා. එහෙම සංගීතය වෙනුවෙන් ලොකු කාලයක්‌ වැය කරන්න ගියොත් මට වෙනත් රැකියාවක්‌ කරන්න අවස්‌ථාව නැති වෙනවා. ඒ නිසා මගේ පූර්ණ කාලය සංගීතය වෙනුවෙන්ම යොදවනවා.

තිදෙනාම පවසන්නේ එකිනෙකාගේ ජයග්‍රහණයට තමන් සුබපතන බවය. මේ අපූර්ව ශික්‍ෂණය, එකිනෙකා කෙරෙහි දයාවෙන් සිතන්නට පුරුදු පුහුණු කිරීමම දෙරණ ඩ්‍රීම් ස්‌ටාර් තුළ ඇති විශේෂත්වය ලෙස හැඟේ. එය හුදු "රියෑලිටි වැඩ සටහනකින්" වෙනස්‌ වන්නේද ඒ හේතුව නිසාම වන්නට පුළුවන.

දෙරණ ඩ්‍රීම්ස්‌ටාර් වැඩසටහනට විශාල පිරිසකගේ දායකත්වය හිමිවේ. ඒ අතර කැමරා අධ්‍යක්‍ෂණය හා ආලෝකකරණය සරත් සෙනෙවිරත්න විසින් සිදු කරනු ලබයි. පසුතල නිර්මාණයෙන් දායක වී ඇත්තේ චන්දික වේරගමයි. ඊට අමතරව පනහක පමණ කණ්‌ඩායමක්‌ එකී පිරීසට අයත් වන බව පැවසෙනවා.

වැඩසටහනේ සංගීත අධ්‍යක්‍ෂණය සිදු කරනු ලැබුයේ අතුල අධිකාරි ප්‍රමුඛ Aඕ2 (AO2) සංගීත කණ්‌ඩායමයි. මූලික වටයන්හිදී ප්‍රවීන විනිසුරුවන් 15 ක්‌ පමණක්‌ අවසන් දහයෙන් පසු නිරෝෂා විරාජිනී, කීර්ති පැස්‌කුවල්, රෝහණ බෝගොඩත් ඊට දායකත්වය ලබා දුන්නා.

මේ අවසන් තරගාවලියේදී පමණක්‌ නොව සම්පූර්ණ වැඩසටහන තුළදී සියලුම තරගකරුවන්ට විධිමත් පුහුණුවක්‌ ලබාදීමට දෙරණ කටයුතු කර තිබුණා. අවසන් වටයට තේරුණු මනුජ, කේෂාන්, උදීෂ යන තිදෙනාට ඉන්දියාවෙන් ගෙන්වූ ගුරුවරයකු යටතේ විශේෂ කටහඬ පුහුණුවක්‌ ලබා දෙන්නටත් කටයුතු කර තිබුණා. ඒ ඇල්ල ප්‍රදේශයේදීයි.

සැබෑ රියෑලිටි වැඩසටහනක්‌ කවරාකාර විය යුතු දැයි විවිධ මතවාද පළ වන මොහොතේ දෙරණ ඩ්‍රීම් ස්‌ටාර් එය විධිමත් ගුණත්මක වැඩසටහනක්‌ බවට පත් කරන්නට ගත් උත්සාහය කොතරම් සාර්ථක විනිදැයි යන්න ඊයේ රාත්‍රිය පසක්‌ කරන්නට ඇති බව නිසැකය.


උදේශ් සංජීව ගමගේ 



දිවයින පත්‍රයෙන් උපුටා ගත් කොටසකි