Tuesday, August 30, 2011

ශාන්තිකර්මයට රු. 100 ක රීලෝඩ් එකක්

අපල දුරුකරගැනීම සඳහා පැවැත්විය යුතු ශාන්තිකර්මයට දුන් පූජා භාණ්ඩ ලැයිස්තුවට රුපියල් 100ක රීලෝඩ් කාඩ් පතක්ද ඇතුළත් කර තිබීමේ සිද්ධියක් රක්වාන ප්‍රදේශයෙන් පසුගියදා අසන්නට ලැබිණි.

ගෙන්ගෙට ගොස් සාත්තර කියන කාන්තාවක් පසුගිය දිනක දහවල් කාලයේ නිවසකට ගියාය. ඇගෙන් සාත්තරයක් ඇසීමට ගෙහිමියට සිතක් පහළ විය.

ගෙහිමියාගේ අත පරීඬා කළ අහිකුණ්ඨික කත, මේ ගෙවන කාලය ගෙහිමියා ඇතුළු පවුලේ අනෙකුත් සාමාජිකයන් සියලූම දෙනාටම තදබල ලෙස ග්‍රහ අපල කාලයක් උදා වී ඇති බවත් එම අපල හේතුව නිසා ඉතා නුදුරේදීම මුළු පවුලම මහා විනාශයකට පත්විය හැකි බව පවසා ගෙහිමියා භීතියට පත් කළාය. එම ග්‍රහ අපල වලින් මිදී යහපත් වාසනාවන්ත කාලයක් උදාකර ගැනීමට නම් තමා පවසන අන්දමේ ශාන්ති කර්මයක් පැවැත්විය යුතු බවත් පැවසූ කත අවසානයේ ශාන්ති කර්මය පැවැත්වීමට කෙසේ හෝ ගෙහිමිය එකඟකර ගන්නට තරමටම සටකපට වූවාය.

දෙදෙනාගේ දීර්ඝ සාකච්ඡාවකින් පසු ශාන්ති කර්මය පවත්වන දිනයක් නියම කරගෙන ඒ සඳහා අවශ්‍ය පූජා භාණ්ඩ ටික කොළයක ලියා ගන්නා ලෙස ගෙහිමියාට පවසා ඇය නම් කියවාගෙන ගියාය.

එක්තරා ජංගම දුරකතන සමාගමකට අයත් නමක් සඳහන් කර රුපියල් 100ක රීලෝඩ් කාඩ්පතක්ද අවශ්‍ය බව පවසා එයද පූජා කරන්නැයි ගෙහිමියාට කීවාලූ.

රුපියල් 100ක රීලෝඩ් ඕනෑ කරන්නේ මගේ අපලය ගැන දෙවියන්ට දැනුම් දෙන්න දැයි මදක් තද පරුෂ ගතියෙන් ගෙහිමියා ප්‍රශ්න කරද්දී ඇය හෙමින් සීරුවේ ලිස්සා ගියාය.





රක්වාන ඩබ්ලිව්.ඒ.සිරිසේන
 දිවයින පුවත්පත ඇසුරෙනි