Monday, August 01, 2011

යෝෂිත බැසිල්ට වෙඩි තියන්න ගිය කතාව ඇත්තද?


ජනපති පුත් යෝෂිත රාජපක්ෂට කේන්ති ගොස් තම බාප්පා කෙනෙකු වන බැසිල් රාජපක්ෂට අරලියගහ මන්දිරයේ උඩුමහලේ්දී වෙඩිතබන්නට ගිය බවත් ජනපති මැදිහත්වී එය වැළකූ බවත් පසුගිය දිනවල ආරංචියක් පැතිරුණා.
එක්තරා වෙබ් අඩවියක පළවූ එම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ ඉරිදා දිවයින පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් බැසිල් රාජපක්ෂ ඇමතිවරයා පිළිතුරු ලබාදී තිඛෙනවා. ඔහු පවසන්නේ මෙම පුවත රාජපක්ෂ පවුල සමගියෙන් තොර බවට කතා පතුරුවන්නන් ගොතන ලද්දක් බවයි.
ඔහුගෙන් අසන ප්‍රශ්නය සහ පිළිතුර පහත පරිදිය.

ප්‍රශ්නය - ඔබ හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර ගැටුම් පවතින බව සමහර මාධ්‍ය කලක පටන් අනාවරණය කරලා. මෙම තත්ත්වය දුර දිග ගොස් ජනාධිපතිතුමාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේ උඩුමහලේ්දී ඔබට වෙඩි තැබීමට ගිය බවත්, ජනාධිපතිතුමා මැදිහත් වී එය වැළැක්වූ බවත් එක් වෙබ් අඩවියක් වාර්තා කර තිබුණා. මොකක්ද මේ ගැටුම.....?

පිළිතුර - මෙවැනි සාවද්‍ය වාර්තා නිරන්තරයෙන්ම වෙබ් අඩවිවල පළවෙනවා. වගකීම් විරහිත මාධ්‍යයකට එවැනි සාවද්‍ය දේ පළ කිරීම එතරම් දෙයක් නොවෙයි. මුලින්ම මේ අය අපට චෝදනා නැගුවේ රාජපක්ෂවරුන් බොහොම එකමුතුයි, සමගි සම්පන්නයි කියලා. දැන් චෝදනා කරන්නේ අපි අසමගියි කියලා. මම ඉතා පැහැදිලිව කියනවා. රාජපක්ෂවරුන් සතු ලොකුම වාසනාවත්, ලොකු ශක්තියත් අප තුළ පවතින සමගිය, එකමුතුභාවය කියලා. මේ රටේ දේශපාලන පවුල් තිඛෙනවා. ව්‍යාපාරික පවුල් තිඛෙනවා. කලා පවුල් තිඛෙනවා. ඒ පවුල් අතර සමගි සම්පන්නම පවුලක් ලෙස රාජපක්ෂ පවුල හඳුන්වන්න පුළුවන්. ඩී. එම්. රාජපක්ෂ මැතිතුමාගේ සිට මගේ පියාවන ඩී. ඒ. රාජපක්ෂ ආදීන්ගේ සිට අපි දශක ගණනාවක් මේ රටේ දේශපාලනයේ යෙදී සිටිනවා. කවදාවත් අපි අතර හැල හැප්පීම්වෙලා නැහැ. ඔය කියන ප්‍රවෘත්තිය ජනාධිපතිතුමාට ආරංචිවෙලා ඒ ගැන යෝෂිත පුතාට කියලා තිඛෙනවා. යෝෂිත පුතා මට දුරකථනයෙන් කතා කරලා ඇහැව්වා බාප්පාට මම වෙඩි තියන්න ගියා කියලා වෙබ් එකක තියෙනවා

කියලා. එතකොට තමයි මම ත් ඒ ගැන දන්නේ. මෙවැනි බොරු ගොත ගොතා පළ කරන අයගේ පවුල්වල සමගිය නැතුව ඇති. සමහරවිට ඒ අයට පවුලුත් නැතුව ඇති. ඒකයි මේ වගේ කතා පතුරුවන්නේ. රාජපක්ෂවරුන්ගේ ප්‍රදේශයෙන් පිට ගිහිල්ලා ප්‍රථම වතාවට මැතිවරණයකට ඉදිරිපත් වුණේ ශෂින්ද්‍ර රාජපක්ෂයි. ඔහු දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව අරගෙන ඌවේ මහ ඇමැති වුණා. වයසින් බාල වුණත් ඒ ආදර්ශය මටත් වැදගත් වුණා. අතිගරු ජනාධිපතිතුමා මට ගම්පහ භාරදෙන විට ඒ පූර්වාදර්ශය මට ශක්තියක් වුණා. ඒ වගේම නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා තරුණ කොටස් ඒකරාශී කරගෙන අපිට එකතු කරගන්න බැරි විශාල පිරිසක් සමග කටයුතු කරමින් විශාල වැඩ කොටසක් ඉටු කරගෙන යනවා. පළමු වතාවට පාර්ලිමේන්තුවට පත් වුණත් විශාල ජවයකින්, හැකියාවකින් ඔහු සිය කාර්යය ඉෂ්ට කරගෙන යනවා. ඒ ලෙස අපි හැමෝම අපේ කාර්යයන් හොඳින් ඉටු කරමින් සමගි සම්පන්නව සිටීම සමහරුන්ට ඉවසගන්න බැහැ.