Tuesday, August 02, 2011

වෙනස කරන දෙපළ


භූතයා බෝතලයේ ඉන්නා බව එදා මට වැටහුණා

‘තිදරු නිවුන් දරු උපතක්’

නිවෙසෙ හිටිය හැමෝම රූපවාහිනිය අසලට රොක් වුණා. හැමොගෙම දෙනෙතෙ රැඳිලා තිබුණේ කුතුහලයක්.

‘වෙනස’

වෙනදා වගේම ඒ බදාදාත් රාත්‍රී 10.00 ට ස්වාධීන රූපවාහිනියේ දිග හැරුණා.

‘සම්පත් මනරංජන බණ්ඩාර’

‘ඩිල්ෂාන් පතිරත්න’ වෙනස ඔබගේ නිවෙසට රැගෙන පැමිණෙන සහෘදයන් දෙදෙනායි.

‘වෙනස’ට අපූරුවට අපූරු වෙනස්කම් රාශියක් රැගෙන එන්නේ ඔවුන්.

‘රාත්‍රී 10.00 ට වැඩසටහනක් කෙරෙන කොට ඒ රූපවාහිනියට තියෙන්නේ විශාල අභියෝගයක්. මොකද බහුතරයක් පිරිස ආකර්ෂණය කර ගන්න නම් සාමාන්‍ය ආකෘතියකට එහා ගිය බරපතළ ආකෘතියකින් යුත් වැඩසටහනක් විය යුතුයි. ඔවුන්ව හුරතල් කරන්න බෑ. පැහැදිලිවම මංකොල්ලකෑමක් තියෙන්න ඕනෑ. ඒ වගේම රිදෙන්න ඕනෑ. නැත්නම් කිසිම දවසක නරඹන්නන් ඊළඟ දවසෙ රැකියාවට යන්න තිබියදී වැඩසටහනක් නරඹන්නේ නෑ. විශේෂයෙන්ම පැය දෙකක වැඩසටහනක්. ඒ අභියෝගය ‘වෙනස’ ඔස්සේ සාර්ථක ලෙස ජයග්‍රහණය කරලා තිබෙන බව අපට දැනෙනවා.’

නේද සම්පත්?

‘මම හිතන්නේ වෙනස බලන නරඹන්නන් රාත්‍රියේදී ‘වෙනස’ නරඹලා ඊළඟ දවසේ පිබිදෙන්නේ ජීවිතයට අලුත් යමක් අරගෙනයි. අලුත් වෙනසක් සමඟයි. ඒ නිසා සෑම බදාදා දිනකම රාත්‍රිය ඔවුන් වෙනස නරඹන්න නිවෙසෙ රූපවාහිනිය ඉදිරියේ වාඩි වෙන්නේ අද තියෙන වෙනස මොකක් ද බලන්නයි. ඒ කුතුහලය හැමදාම ඔවුන්ගේ සිත්වල රැඳිලා.’

වෙන වෙන වැඩසටහන් කරගෙන හිටිය ඩිල්ෂාන් වගේම සම්පත් කියන දෙන්නා ‘වෙනස’ට තෝර ගත්තේ වැඩසටහන් කළමනාකරු සරත් කුමාර පෙරේරා. ඔහුත් සමඟ ඉන්න තරුණ නිෂ්පාදකවරුන් වුණු අංජන, තිමිල, මංජුල, එකම නිෂ්පාදකවරිය රුවන්කා කියන අයගේ ඒකමතික තීරණයන්.

‘මම ස්වාධීන රූපවාහිනියේ වෙනසට ආරාධනා ලැබෙන්න පෙරදි අතුරලියේ රතන හාමුදුරුවොත් සමඟ වැඩසටහනක් කළා. උදේට හැමදාම පත්තර ටික කියවන වැඩසටහන කරනවා. ‘වෙනස’ කරන්න තීරණය කරලා තිබුණු ඔවුන් මාව දකින්නේ එහෙමයි. එක දවසක් හදිසියේම මට එන්න කියලා වැඩසටහන් කළමනාකාරතුමා පණිවිඩයක් තියලා. ඒ පණිවිඩය ඔස්සේ මම ආවා. එහෙම තමයි මාව වෙනසට තෝර ගත්තේ. අද වැඩසටහන තිබෙන තත්ත්වය දැක්කම එදා මේ විදියට වැඩසටහන නරඹන්නන්ගේ හදවතේ ජීවත් වෙන අභියෝගාත්මක වැඩසටහනක් වේවි කියලා මට කීයටවත් හිතුණේ නැහැ. මට කළ හැකි උපරිමයෙන් මගේ ශ්‍රමය, කාලය කියන හැම දෙයක්ම ‘වෙනස’ සඳහා වැය කළා.’

සම්පත් ‘වෙනස’ට එන්නෙත් මේ වගේමයි.

‘නිවේදකයෙක් වීමේ උණ තිබුණේ පාසල් යන කාලයේදීමයි. ස්වාධීන රූපවාහිනියේ ගිය නිවේදකවරුන් ගැනීමේ පණිවිඩයට මමත් ඉල්ලුම් පත්‍රයක් දැම්මා. අන්තිමට ස්වාධීන රූපවාහිනියේ සේවයට මාව බඳවා ගත්තා. මේ අතර වෛද්‍ය සායනය, නිම්තෙර, අරුණැල්ල, හරිත පීඨය වගේ් වැඩසටහන් කරන අතරතුරදි තමයි ‘වෙනස’ට සරත් කුමාර මහත්තයා කතා කරන්නේ. එදා ඉඳන් අද දක්වාම ‘වෙනස’ සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා.’

‘සම්පත්, ඩිල්ෂාන්ගේ මුහුණ බැලුවේ ඔහුටත් කියන්න මොකක් හරි දෙයක් ඇති නිසයි. ‘ ‘වෙනස’ වැඩ සටහනේදී අපි නිතරම උත්සාහ ගන්නේ් වෙනස් දෙයක් නරඹන්නන් අතරට රැගෙන යන්නයි. අපේ ඉදිරිපත් කිරීමේ රාමුවේ සමහර විට කාලීන දේ වගේම වෙනත් දේත් කතාබහට ලක් කරනවා. නමුත් කොයි තරම් පැරණි වුණත් ඉදිරිපත් කරනා කරුණට නිතරම කාලීන බවක් එක් කරන්නට ගන්නා උත්සාහය සාර්ථක බවයි අපට හැඟෙන්නේ. සමහර දේ කලීනව වැඩසටහනට සම්බන්ධ කර ගන්නා විට හැම රූපවාහිනියකින්ම ඒ දේ කතාබහ කරලා අවසානයි. නමුත් ඒ කරුණෙම ඉදිරිපත් නොවුණු පැත්තක් සැඟ වී තිබෙනවා නම් අපි කාරණා මේ වැඩසටහනෙන් ඉදිරිපත් කරනවා. ඒ කාරණයෙන් තමයි අපේ වැඩසටහන වෙනස් වෙන්නේ.’

‘වෙනස’ කාගේ අදහසක්ද? වෙනස බලන බොහොම දෙනෙකුගේ හිතේ ඇති වන ප්‍රශ්නයක්.

‘අපි දෙන්නම මේ වැඩසටහනට සම්බන්ධ කර ගන්න අවස්ථාව වෙන කොට ‘වෙනස’ වැඩසටහනේ ආකෘතිය නිර්මාණය වී අවසන්. මෙතෙක් පැමිණි වැඩසටහන් කිහිපයේදී වැඩසටහන් කළමනාකාරතුමා ප්‍රමුඛ සියල්ලන්ම අපේ අදහසත් විමසන්න අමතක කළේ නැහැ. ඒ වගේම අපි දෙන්නාට විවිධ දේ තෝරා ගැනීමේදී සම්පූර්ණ නිදහස ලැබිලා තිබෙනවා වගේම අපේ තෝරා ගැනීම් පිළිබඳ ඔවුන්ගේ අදහස් දැනගන්න අමතක කරන්නේ නැහැ. ‘වෙනස’ තීම් නමයකට බෙදලා තියෙන නිසා ඒවාට අදාළ දේ අපි දෙන්නා බෙදාගෙන රූපගත කරනවා.’

සම්පත්ට මෙහෙම රූපගත කරන වැඩසටහන් අතර වඩාත්ම මතකයේ රැඳුණු සිදුවීමක් පවසනවා නම්,

‘මේ සිදුවීම සිදු වුණේ දැයට කිරුළ ප්‍රදර්ශන භූ®මියේයි. යුද හමුදා කමාන්ඩෝ බලකායෙන් අඩි 100 ත් 150 ත් තරම් උස ගොඩනැඟිල්ලක හිර කරගෙන සිටිය ප්‍රාණ ඇපකරුවන් බේරා ගන්නා දර්ශනයක් අපි රූප ගත කළා. එහිදී ඔවුන් බේරා ගන්න ප්‍රාණ ඇපකරුවා විදියට ඉදිරිපත් වුණේ මමයි. ඒ කමාන්ඩෝ බලකාය පිළිබඳ පූර්ණ විශ්වාසයෙන්. කමාන්ඩෝ භටයා අඩි 150 ක් තරම් උසකින් මාව අරගෙන බහින කොට මට දැනුණු බය මේ තවමත් දැනෙනවා. ඒ වෙලාවේ හදවත කොයි තරම් වේගයෙන් ගැහුණ ද කිව්වොත් ඒ හඬ මේ තවමත් මට ඇහෙනවා වගේ.’

ඩිල්ෂාන්ගේ් මතකයේ රැඳුණු මේ සිදුවීම ලංකාවේ බොහෝ දෙනෙකුගේත් මතකයේ රැඳුණා. ‘භූ®තයා පිළිබඳ රූප ගත කරන කොටසට පැය 14 ක කාලයක් ගත වුණා. ඒ ඉදිරිපත් කිරීම සඳහා සහභාගි වූණේ සුනිල් එදිරිවීරයි. ඔහු ඒ වගේ කටයුතුවලින් රෝගීන් සුවපත් කරන කෙනෙක්. අතන භූ®තයෙක්, මෙතන භූතයෙක් ඉන්නවා කියන කොට භූතයාට වේවැලෙන් ගහන කොට මට එක වෙලාවකට පුදුමත් හිතුණා. කොහොම හරි භූ®තයා අල්ලලා බෝතලයට දැම්මාට පස්සේ යම් චලනය වන වස්තුවක් තිබෙන බව අපට දැනුණා. භූතයෝ ඉන්නවා කියන හැඟීම ඇතිවීමට පාදක වුණු ඒ සිදුවීම මගේ ජීවිතය තිබෙන තුරාවට අමතක නොවන සිද්ධියක්.’

මේ වගේ් සිදුවීම් ඉදිරිපත් කළේ,

‘මේ වගේ් දේවල් සමහරෙක් විශ්වාසා කරන්නත් පුළුවන්, නොකරන්නත් පුළුවන්. ඒ දේ කළ යුත්තේ තමන්මයි. නමුත් මේ වැඩසටහන අවසාන වන තුරුම මා එතන රැඳී සිටියා. එහි විශ්වාසනීයත්වය පිළිබඳ සහතිකයක් මට තිබෙනවා. මෙවැනි දේත් අපේ සමාජයේ තිබෙන බව පෙන්වන්න අපට උවමනා වුණා.’

‘වෙනස’ ඉදිරිපත් කිරීමේදී සම්පත් වගේම ඩිල්ෂාන් අතරත් තියෙන්නේ අපූරු සබැඳියාවක්.

‘ඒ සැබැඳියාවට මූලික හේතුව අපි දෙන්නා අතර තරගයක් නැතිකමයි. තමන්, තමන් එක්ක තරගයක් තියෙනවා ඒ වැඩසටහන හොඳින් ඉදිරිපත් කරන්නේ් කොහොමද කියන එක පිළිබඳව. ඒ වගේම අපි දෙන්නා එකිනෙකා අභිබවා යන්න උත්සාහ ගන්නේ නැහැ. අපි දෙන්නටම උවමනා වී තිබෙන්නේ අපි එකිනෙකාට අවස්ථාවන් ලබාදීමයි.’

සම්පත්, ඩිල්ෂාන් කියන්නේ ඒ සබැඳියාවේ රහසයි.

‘මේ වැඩසටහන සාර්ථකත්වය පිටුපස ඉන්න හැම දෙනාම අප සිහිපත් කරන්නේ් සතුටු සිතින්. අපගේ සභාපතිතුමා රොස්මන්ඩ් සේනාරත්න මහතා, වැඩසටහන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විපුල රත්නසිරි මහතා, වගේම වැඩසටහන් කළමනාකාර සමත් කුමාර පෙරේරා, නිෂ්පාදකවරු වුණු අංජන ජයතුංග, මංජුල ඇතුගල, තිමිල වීරහංදි, රුවන්කා රණතුංග යන සියලුම දෙනාගේ ඉඳලා ස්වාධීන රූපවාහිනියේ හැමෝගෙන්ම ලැබෙන සහයෝගය අපි සිහි කළ යුතුයි.

පාසල් දරුවන් රාශියකට දැනුම බෙදා දෙන සම්පත් ගුරුවරයෙක්. ඩිල්ෂාන් කටයුතු කරන්නේ නීතිඥවරයෙක් විදියටයි. හැමදාම වෙනස බලන නරඹන්නන්ට වෙනසක් ගෙනෙන්නට සම්පත්, ඩිල්ෂාන් ඔබ දෙපළට සුබපැතුම්.



සේයාරූ - මාලන් කරුණාරත්න

තිලානි ශානිකා විතානාච්චි


සරසවිය පත්‍රයෙන් උපුටා ගත් කොටසකි