Wednesday, August 24, 2011

කිෂානිගේ පෙම්වතා


පුවත්පත් සාකච්ඡා කිහිපයකදීම කිෂානි අලංකි පවසා තිබුණේ තමාට ආදරවන්තයකු නැති බවය. අධ්‍යාපන කටයුතු නිසා විවාහය තවත් වසර කිහිපයකට කල් දමා ඇති බවට ඇය වැඩිදුරටත් පවසා තිබිණි.

එහෙත් දිනක් ඇයව මට ගල්කිස්ස වෙරළ තීරයේදී මුණ ගැසිණි. ඒ තරුණයකු සමගිනි. ඔහු ඇගේ සුරත රැගෙන තුරුළු වී සිටියේය. හේ කිෂානිගේ යහළුවකු පමණක් නොවන බවට තර්කයක් නැත. එහෙත් ඒ පෙම්වතාද?



සාමාන්‍යයෙන් කිෂානි බොරු නොකියන කෙනෙකු බව මම හොඳින් දනිමි.

ඇය ඔහු කැටුව මෙබඳු තැනකට පැමි
ණිම ගැටළුවකි.

මේ ගැන කල්පනා කරමින් ඒ දෙදෙනාටද බාධා නොකොට වෙරළෙහි ප්‍රතිවිරුද්ධ දිසාවෙහි ඇති රේල් පාර දෙසට ආවෙමි. රේල් පාර හරහා ගමන් කිරීමට කුඩා මගී ගුවන් පාලමක් තිබේ.

එහි ඉහළට නැගුණු පසු රේල් පාර දිගට විහිදෙන අයුරු පෙනේ. මම මොහොතක් එතැන නතර වීමි. පාලමට යාර සියයක් පමණ දුරින් මා හුන් දෙසට පැමිණෙන තරුණයකි.

ඔහුගේ රුව මට හුරුපුරුදුය. ඒ කවුරුත් නොව දෙරණ නාලිකාවේ නිවේදකයකු මෙන්ම රංගන ශිල්පියකු ද වන විශ්ව ලංකායි. ඔහු පිය නගන්නේ දුම්රිය මගට ආසන්නව ඊට සමාන්තරවය. ඉතාම බරපතල ගැටළුවක් පිළිබඳ ඔහු කල්පනා කරන බවක් පෙනේ.

අවට කුමක් සිදු වූවත් ඔහුට වගක් නැත. ඈතින් නලා ශබ්දයක් ඇසිණ. තව මොහොතකින් ඔහු අසලින් දුම්රියක් ගමන් කරනු ඇත. එහෙත් විශ්ව තවමත් දුම්රිය මග සමීපයේය.

මම විශ්ව ආසන්නයට ගොස් අනතුරු හගවන්ට හැදුවා පමණි. කොහෙන්දෝ පැමිණි පුද්ගලයකු මාව අල්ලා ගත්තේය. මම විමසිලිමත්ව ඔහු දෙස බැලූවෙමි. ඔහු නාට්‍යවේදී බන්දුල විතානගේ ආදර”ය පුතු නාලක විතානගේය. මා නොදැනුවත්ව පැමිණ ඇත්තේ ඔහුගේ කුලුඳුල් චිත්‍රපටය, ලයිෆ් රූගත කරන දර්ශන තලයටයි.

අල්ලපු ගෙදර, අයි ලව් ජෙනී, දෙකොන ගිනි, නාලක මීට ප්‍රථම නිර්මාණය කර ඇති ටෙලි සිතුවම් වේ.
 
Life  දර්ශන තලයේ රසමුසු තැන්
ලයිෆ් හී කතා පුවත ලියැ වී ඇත්තේ සාම්ප්‍රදායකත්වයෙන් මිදුණු සිතුම් පැතුම් තිඛෙන තරුණයන් දෙදෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු කේන්ද්‍ර කර ගනිමිනි. මිලාන්, ඉම්බ්‍රාන්, කවුෂි සහ චේතනා ඒ අය වේ.

මෙහි විශ්ව රගනුයේ මිලාන් ලෙසය. මිලාන් ආදරයෙන් වේදනාවට පත් වූ තරුණයෙකි. ඔහු රේල් පාර දිගේ ඇවිද ඇවිත් තිඛෙන්නේ ඒ වේදනාවෙනි.

නාලක දැන් එම දර්ශනය රූගත කරයි. කෝච්චිය එන්න ඔන්න මෙන්න තිබියදී විශ්ව අහකට පැන ගන්නා ලදී. ශරීරයේ සමබරතාව රැක ගැනීමට නොහැකි වු විශ්ව බිම ඇද වැටිණ.

මඳ දුරක් ගමන් කළ දුම්රිය නැවතිණ. දුම්රිය රියදුරු ද බැස ආවේය. ඔහු සිතුවේ විශ්ව දුම්රියේ වැදුණු බවය. හදිසියේ දුම්රිය නැවතීම කාගේත් විමතියට හේතු වී ඇත. මගීහු එහි කවුළුවලින් එබී බලන්නේ බිය රැඳි දෙනෙතිනි. ඇතැම් අය විශ්ව සිටින්නේ කෙතැනද යන වග සොයා ඒ දෙසට ඇවිදගෙන එනු පෙනිණ. මේ කලබලය සමථයකට පත් කිරීමේ අරමුණින් නාලක ඉදිරියට පැමිණ රියැදුරා හමු විය.

අපි ෆිල්ම් එකක් ෂූට් කරනවා. කාවවත් කෝච්චියේ වැදුණේ නැහැ, බය වෙන්න එපා.

මං හිතුවෙම අර ළමයව කෝච්චියේ වැදුණා කියලා.

රියදුරු විශ්ව පෙන්වා කීවේය.

කිසි ප්‍රශ්නයක් නැහැ. සමාවෙන්න ඕනේ කරදරයක් වුණා නම්.

එතැනට පැමිණි විශ්ව සියල්ලන්ටම ඇසෙන සේ පැවැසීය.

ස්වල්ප වේලාවකින් වටපිටාව සමථයකට පත් විය. මේ අතරතුරදී කිෂානි සිය පෙම්වතා සමග ආවේය.

කිශානිගේ පෙම්වතා නව පරපුරේ නළුවකු වන උදිත් අබේරත්නයි.

උදිත්, කිෂානිගේ පෙම්වතා වී ඇත්තේ ලයිෆ් වෙනුවෙනි.

අපි දෙන්නා ලවර්ස්ලා කෙරුවනේ නාලක. ඉතින් ආදරය කරන හැටි ට්‍රේනිං වෙන්න අපි බීච් එක පැත්තට ගියා. සාත්තර කාරයෙක් උදිතයි මමයි ඇත්තටම ලවර්ස්ලා කියලා හිතාගෙන සාත්තරයකුත් කිව්වනේ. අපි දෙන්නට දෙන්නා ගැලපෙනවලු. ඉක්මනට බඳින්නලු.

කිෂානි පවසන්නේ සිනහමුසු මුහුනිණි. අපි බ්‍රේක් එකකට යමු. විශ්වට කෝච්චියේ හැප්පිලා මහන්සිත් ඇතිනේ.

නාලක විවේක කාලය දැනුම් දුන්නේ කවට වදනක්ද සමගිනි.කොහොමද මගෙ හැප්පිල්ල. යන කෝච්චියක් මං කොහොම හරි නතර කළානේ. විශ්ව පවසන්නේ ආඩම්බරයෙනි.

මේ අතරතුරදී ලයිෆ්හි අනෙක් ප්‍රධාන චරිතය මවන තැනැත්තිය පැමිණියාය. ඇය කවුෂි ලෙස රගන මැණික් විජේවර්ධනයි. නිවේදිකාවක් වන ඇය චිත්‍රපට ලෝකයට පිවිසෙන්නේ ලයිෆ් සමගිනි. නාලක මා සිටින තැනට ආවේය. තේ එකක් එහෙම බිව්වද? මෙහෙම තමා අපි ෆිල්ම් එක ෂූට් කරන්නේ, හරිම විනෝදයි. ඒත් අපි වැඩේ හරියට කරනවා. මේ අයට අමතරව සනත් ගුණතිලක සහ සංගීතා වීරරත්න මෙහි රගපානවා. තව කිහිප දවසකින් රූගත කිරීම් අවසන් වේවි.

 



නාලක විතානගේ

නිෂ්පාදන කළමනාකාර බුද්ධික ඉරෝෂන්.

නාලක අයියේ විශ්ව කෝ?

අපි කතා බහ කරමින් සිටි තැනට කඩිමුඩියේ දිව ආවේ අංග රචනා ශිල්පී නිමල් රාජපක්ෂයි.

විශ්වයා වොෂ් රූම් ඒකට ගියා. හැබැයි දැන් පැය භාගයක් විතර ඇති මං හිතන්නේ චණ්ඩියා වගේ හිටියට කෝච්චියේ හැප්පෙන්න ගිය එකට මිනිහා සෑහෙන්න බය වෙලා වගේ. ආ . . . ඔය එන්නේ.

කැමරා අධ්‍යක්ෂ පී. බාලසූරිය එසේ පැවසුවේ තරමක උපහාසාත්මකවය.

කට්ටිය කියන්නේ විශ්ව බය වෙලා බාත් රූම් එකේ සෑහෙන්න වෙලාවක් හිටියා කියලා?

මම විමසීමි.

පිස්සුද, ඒ වොෂ් රූම් එකේ ලොක් එක පොඩ්ඩක් හිර වෙනවා. මං මෙච්චර වෙලා දොර ඇරගන්න බැරිව හිටියා. ඔයා මොනවා ලිව්වත් කමක් නෑ. මං බාත්රූම් එකේ පැය භාගයක් විතර හිටපු කතාව එහෙම ලියන්නේ එහෙම නැහැ . . .

මම එයට එකග වීමි.

ලයිෆ් හි සෙසු නිෂ්පාදන කණ්ඩායම.

කලා අධ්‍යක්ෂණය - රොහාන් හේවාවිතාරණ.

සංගීතය - මලික් පෙරේරා.

නිෂ්පාදන කළමනාකරණය - බුද්ධික ඉරෝෂන්.

සහය අධ්‍යක්ෂණය - කීර්ති රුවන්

නිෂ්පාදනය - නිමාර්ක් පික්චර්ස්.

විධායක නිෂ්පාදනය - රොෂාන් දිවෙල්ගම.

සටහන සහ සේයාරූ - ප්‍රසාද් සමරතුංග

 

සරසවිය පුවත්පත ඇසුරෙනි