Thursday, August 25, 2011

අනියම් බිරියට විහිළු කළ නිසා කොල්ලන් දෙදෙනෙක් මැරූ අඟුලාන ඕ අයි සී ඇතුළු හතර දෙනාට මරණ දඬුවම නියම වෙයි


2009 අගෝස්තු මාසයේ රටම කම්පා කරවූ අඟුලාන පොලිස් ද්විත්ව ඝාතන සිද්ධිය ඔබට මතකද?

අඟුලාන පොලිස් ස්ථානාධිපතිගේ අනියම් බිරිය යයි කියන කාන්තාවකට උසුළු විසුළු කළේ යයි කියන සිද්ධියක් නිසා එම ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු පොලිසියට ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් අනතුරුව මහ රෑ වෙඩි තබා මරා දමා ප්‍රදේශයේ තැන් දෙකක මළ සිරුරු දමා යාමෙන් දහස් ගණන් ධීවර ජනතාව කුපිත වූ මෙම සිද්ධිය නිසා පොලිසිය සිය බලය පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට අනිසි ලෙස භාවිත කිරීම ගැන ආන්දෝලනයක් මතු විය.
නිව්ටන් නමැති පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙක් මේ නිසා සැක පිට අත්අඩංගුවට පත් විය.
  ඉන් වසර 2 කට පසු මේ පිළිබඳ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් විය මෙහිදී සියලූ චෝදනා සම්බන්ධයෙන් හතර දෙනාම වැරදි කරුවන් බව අවසාන තීන්දුව විය. සියලූ දෙනාටම මරණ ද~ුවම නියම විය.
මෙම නඩු විභාග තීන්දුව දැනගැනීමට අඟුලාන ගම්වාසීන් විශාල පිරිසක් මහාධිකරණය වටා රැස්ව සිටි අතර චූදිතයින් ගෙන ඒම හා ගෙන යාමට විශාල ආරක්ෂාවක් යෙදවීමටද පොලිසියට සිදු විය.
අඟුලාන ද්විත්ව ඝාතන තීන්දුව පොලිස් ඉතිහාසයේ කළු පැල්ලමක් බව විචාරක අදහසයි.



මෙම සිදුවීමේ පෙළ ගැස්ම 2009 අගොස්තු මස සිදුවූ අකාරය පහත පරිදිය
 

2009 අගෝ.13

2009 අගෝ.13 උදෑසන මොරටුව අඟුලාන ප්‍රදේශයේ මරණ දෙකක් නිසා හටගත් කලබලකාරී තත්වයට මුල්වූයේ තරුණියකි.මෙම තරුණියට උසුළු විසුළු කළ වයස 21 හා 26 තරුණයන් දෙදෙනෙකු ගැන අඟුලාන පොලිසියට 12 වනදා සවස පැමිණිළි කළ පසු තරුණයින් දෙදෙනාව පොලිසිය අත්අඩංගුවට පත්විය .කෙසේවෙතත් පොලිස් අත්අඩංගුවේ සිටියදී ඔවුන් බැලීමට පැමිණි තරුණයින්ගේ මව්පියන්ට ඔවුන් බලන්නට පසුදා එන ලෙස දන්වා ඇති අතර අද උදෑසන ඔවුනට දැක ගත හැකිව තිඛෙන්නේ තැන් දෙකක වෙඩි තබා මරාදමා තිබූ මළ සිරුරුය.
මොවුන් එක් අයකු ධීවරයකු වන අතර අනෙක් තරුණයා ජිම් එකක සහායකයෙකි.මේ දෙදෙනාම චණ්ඩිකම් කරන්නන් නොව අහිංසකයින් බව ගම් වැසියන්ගේ මතය විය.


මෙම මරණයට පොලිසිය වගකිව යුතු බව දක්වමින් ප්‍රදේශයම 13 වනදා එකම ගාලගෝට්ටියක් කළේ ප්‍රදේශවාසී ධීවර ජනතාවයි.දුම්රිය මාර්ගයද අවහිර වීමෙන් උදෑසන කොළඹ බලා ආ කාර්යාල දුම්රිය පමා විය.
පොලිසියට ගල් මුගුරු වලින් දමා ගසා එහි තිබූ වාහන වලටද ඔවුන් අලාභ කළ අතර පොලිසියට ඔවුන් පාලනය කළ නොහැකිව අහසට වෙඩි තැබීමට හා කඳුළු ගෑස් ගැසීමට සිදු විය.නමුත් දවස තිස්සේ නැවත නැවත ඔවුන් කලබල කළ අතර පොලීසියේ රැඳීසිටි නිලධාරීන් ජීප් රථවලින් ආරක‍ෂක ස්ථානයකට රැගෙන යද්දීත් පිරිස ගල් ගැසූහ.
සවස වාර්තාවූයේ අඟුලාන පොලිසීයේ ස්ථානාධිපති ඇතුළු 12 දෙනෙකුට ස්ථාන මාරුවීම් දුන් බවය.අනතුරුව වාර්තාවූයේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවය.

තරුණියකට විහිළු කළ සිද්ධියක් මෙතරම් භයානක අවසානයකට පත්වේ යයි කිසිවකු සිතුවේ නැත.


2009 අගෝ14

මෙම සිද්ධියට මුල්වූ කාන්තාව අඟුලාන පොලිස් ප්‍රධානියාගේ අනියම් බිරිය බවත්, සිද්ධියෙන් පසු ප්‍රකෝපවූවන් ඇගේ නිවසටද ගිනිතබා ඇති බවත් වාර්තාවේ.මේ වන විට පොලිස් ප්‍රධානියා ඇතුළු 5 දෙනෙක් 17 වනදා දක්වා රිමාන්ඩ් කර ඇත.පොලිස් ප්‍රධානියාට මරන්නට තරම් කේන්ති ගොස් ඇත්තේ තරුණයින් ඇයට විහිළුවක් කල නිසාය


2009 අගෝ16

තරුණයින් දෙදෙනාගේ වෙනුවෙන් පැවති අවසන් කටයුතු වලට 5000 කගේ පමණ පිරිසක් අද අඟුලානේදී සහභාගී වූහ.පොලිසිය නියෝජනය කරන පඹයෙකුද ඔවුහු පිළිස්සූහ.අද අඟුලාන පොලිසිය ඉදිරිපිට කලබල ඇතිවේ යයි කල් ඇතිව සිතා බියවූ පොලිසිය ඊයේ උසාවි නියෝගයක් ගනිමින් ඉල්ලා තිබුනේ මිනී දෙක රැගෙන යන පිරිස මළ ගෙවල්වල සිට ආදාහනාගාරයට පමණක් යායුතු බවය.එසේ නොකළේ නම් පිරිස විසුරුවන්නට පොලිසිය ක්‍රියා කරන බව කියා තිබුණි.



ඕ අයි සී "බලූ නිව්ටන්"


මෙම සිද්ධියට මුල්වූ අනියම් ප්‍රේමයේ වෙළුණු පොලිස් ඕ අයි සී එම වෘත්තියට අදාළ ගෞරවය කෙළෙසා ගෙන තිබුනේ මෑතක නොව බොහෝ කලෙක සිටය.නමින් නිව්ටන් ප්‍රනාන්දු නම්වූ ඔහු "බලූ නිව්ටන්" නම් අන්වර්ත නාමයෙන් හඳුන්වන්නට මුල් වූයේ ඔහු රාජකාරී කරන ස්ථානයක වටිනා සුනඛයෙකු හොරකම් කිරීමේ සිද්ධියකට වැඩ තහනමකට ලක්වූවෙකු වූ බැවිනි.ඔහු දේශපාලන හිතවත්කමක් මත යළි සේවයට පිවිස ඇති අතර අඟුලාන පොලිසියේ සියලූම වැඩ අවුල් කරගෙන පළාතටම පිළිලයක් පරිද්දෙන් හැසිරුණ අයෙකු බව මේ වන විට වාර්තා වේ."මම ආණ්ඩුවේ මිනිහෙක් පුළුවන් නම් ඕන දෙයක් කරපල්ලා"
යනුවෙන් සිද්ධිය වූ දිනයේත් උදෑසන ඔහු ප්‍රදේශවාසීන්ට තර්ජනය කර ඇත.

මූණු වල බෑග් බැඳගෙන එළියට ගෙනගියා

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසියට ලැබී ඇති හොඳම සාක‍ෂිය ලබා දී ඇති දමිත් කුමාර(34) තරුණයන් දෙදෙනා සමග එදින පොලිස් සිර මැදිරියේ රඳවා සිටි අයෙකි.ඔහු පවසන පරිදි එදින සවස ඔවුන් දෙදෙනා රැගෙන ආ විට වරද කුමක්දැයි ඇසූ විට "නිකං ඇල්ලූවා" යයි පැවසූ බවත් රාත්‍රියේ ස්ථානාධිපතිවරයාගේ කාමරය වෙත ඔවුන් දෙදෙනා රැගෙන ගොස් හොඳටම පහරදෙන හඬ ඇසුණ බවත් කියා ඇත.පසුව එම රැයේදීම පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ඔවුන් දෙදෙනාගේ මුහුණේ බෑග් බැඳ පොලිසියෙන් පිටතට රැගෙන ගිය බවත් ඉන්පසු ඔවුන්ට වූ දෙය නොදන්නා බවත් පවසා ඇති අතර එසේ ගිය නිලධාරීන් යළි පැමිණ"උඹ මේවා දැක්ක බව කාටවත් කියන්න එපා" යයි තමාට තර්ජනය කළ බවද පවසා ඇත.

අනියම් බිරිය ආගිය අතක් නෑ

මේ සිද්ධියට මුල්වූ කාන්තාවගේ නිවස ගිනි තැබූ පසු ඇය හෝ එම පවුලට සම්බන්ධ අය හෝ ඒ පළාතේ නොරැඳී කිසියම් වෙනත් ප්‍රදේශයකට පළා ගොස් ඇතැයිද වාර්තාවේ.මෙතරම් ජන ගඟක් විරෝධය පාන අවස්ථාවක ඇය පෙනෙන්නට සිටියා නම් මිනිසුන් ගල් ගසා මරනු ඇත.

2009 අගෝ 25

අනියම් බිරිය සාක‍ෂි දෙයි

අඟුලාන සිද්ධියට අදාළව ගල්කිස්ස උසාවියට අද සාක‍ෂි දීමට පැමිණ සිටි නිව්ටන් හිටපු පොලිස් ස්ථානාධිපතිතුමන් හා අනියම් ඇසුරක් පැවති බවට කටකතා පැතිරුණු නදීෂා කල්පනී ප්‍රනාන්දු නම් 25 හැවිරිදි එක් දරු මව මියගිය ධනුෂ්ක හා දිනේෂ් දෙදෙනාට චෝදනා එල්ල කරමින් පවසා සිටියේ, තමන් සුනාමි නිවසක පදිංචිකාරියක බවත් මීට ටික කලකට ඉහතදී සැමියා හා නිදා සිටි රාත්‍රියේ මේ දෙදෙනා නිවසට පැමිණ සිගරට් ඉල්ලන්නට පැමිණි බව පවසා තමා ළඟට ගිය පසු අතවර කරන්නට උත්සාහ කර තිබූ බවත් එම පැමිණිල්ල නිවැරදිව පොලිසිය සටහන් නොකළ බවත් මොවුන් විහිළු කළ සිදුවීම පසුව සිදුවූ බවත්ය.
කෙසේ වෙතත් ඔවුනට පහරදීමේ සිද්ධිය ඇය වසන් නොකළ අතර සිද්ධිය වූ දිනයේ පොලිස් ස්ථානාධිපතිතුමන් හා තවත් තිදෙනෙකු එක්වී දෙදෙනාටම අතින් පයින් හා ත්‍රීරෝද රියක පටියකින් දරුණු ලෙස පහරදුන් ආකාරය තමා දුටු නමුත් ඔවුන් මිය ගිය බව දන්නේ පසුදා බව කීවාය.
ඇගේ සාක‍ෂිය පැය 2 කට ආසන්න කාලයක් අධිකරණයේ විභාග විය.
මෙම සිද්ධියෙන් පසුව ගම්වාසීන් තමාගේ නිවස්නයට ගිනි තැබූ නිසා ප්‍රදේශයෙන් පළාගොස් නැවත අද පැමිණි බවද කිවාය.

සිද්ධිය සම්බන්ධව 2009 අගෝස්තු මස ප්‍රචාරය වූ සිරස වීඩියෝ වාර්තාව පහතින්







Source:gossiplankanews