Wednesday, August 17, 2011

මිනිස්‌ මළ මිශ්‍ර බීම කම්හල වසාදමයි


කටාන කදිරාණ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පලතුරු බීම කම්හලක පැවති අපිරිසිදු බව හා සෞඛ්‍යයට අහිතකර බව පිළිබඳ ලැබුණු මහජන පැමිණිලි මත සෞඛ්‍ය අංශ මගින් කරන ලද සමීක්‍ෂණයකදී එකී බීම සෑදීම පිණිස ගන්නා වතුරට මිනිස්‌ අසූචි හා මුත්‍රා වල අඩංගු බැක්‌ටීරියාවන් අඩංගු බව සෞඛ්‍ය අංශ මගින් අනාවරණය කරගෙන තිබේ.

මෙම බීම නිෂ්පාදනය සඳහා යොදාගන්නා වතුර සාම්පලයක්‌ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා කළ පරීක්‍ෂාවකදී මිනිස්‌ අසූචි හා මුත්‍රාවල ඇති බැක්‌ටීරියා එම වතුරෙහි අඩංගු බව සොයාගත් බව කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඩබ්ලිව්. ඒ. සී. විෙ-කෝන් මහතා කීය.

කම්හල් හිමියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගෙන්වා දැඩිලෙස අවවාද කර තිබේ. මින්පසු එම බීම නිෂ්පාදනය නවතා දමන බවත් පසුව රජයේ බලපත්‍ර නිසිලෙස ලබාගෙන එම නිෂ්පාදනය සිදුකරන බවත් හෙතෙම ලිපියක්‌ ඉදිරිපත් කරමින් පොරොන්දු වී තිබේ.

මෙම බීම කම්හල් හිමියා වසර 5 ක පමණ කාලයක සිට එම කම්හල පවත්වාගෙන ගොස්‌ ඇත.

එම කාලයේදී අපිරිසිදු බව හා සෞඛ්‍යාරක්‍ෂක රහිතවීම පිළිබඳ අවවාද කර ඇතත් ඒවා නොතකා තිබේ.

කම්හල වසාදමා පසුව ප්‍රමිතීන්ට අනුව යළි නිෂ්පාදන අරඹන බවට කම්හල් හිමියා පොරොන්දු වූ හෙයින් දැනට නීතිමය පියවර නොගන්නා බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා සඳහන් කළේය.

මෙම කම්හලේ නිෂ්පාදිත බීම ගම්පහ දිස්‌ත්‍රික්‌කය තුළ නොවිකුණා හලාවත මාරවිල පුත්තලම ආදී ප්‍රදේශවල පමණක්‌ අලෙවිකර තිබේ.


දිවුලපිටිය - අයි. එම්. අබේරත්නදිවයින පුවත්පත ඇසුරෙනි