Friday, August 12, 2011

ජෝතිගේ සින්දු සුරේන්ද්‍රට වික්කේ මෙන්න මේ අය

මේ දිනවල “එච්. ආර්. ජෝතිපාල ගායකයාණන් ගැයූ ගී විකුණා ගෙන කනවා” යැයි චෝදනාවට ලක්වන අපේ නිර්මාණකරුවන් සහ මියගිය නිර්මාණකරුවන්ගේ පවුල් සාමාජික සාමාජිකාවන් ගණනාවකි. ඊට හේතුව වී ඇත්තේ ජෝතිපාලයන් ගැයූ ගී නැවත ගායනා කර නිකුත් කර ඇති සුරේන්ද්‍ර පෙරේරාගේ “මේ ජීවනයේ” ඇල්බමයට ඔවුන් දායක වීමය. ගී පද රචකයින් වන ආචාර්ය අජන්තා රණසිංහ, කුලරත්න
ආරියවංශ, විමලදාස පෙරේරා සහ සංගීතවේදී සරත් ද අල්විස් මෙන්ම අප අතරින් වියෝ වූ ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස සංගීතවේදියාණන්ගේ සහ ගී පද රචකයින් වන කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, උපාලි ධනවලවිතාන, ශ්‍රී නිහාල් ඒ. ජයසිංහ, හේමසිරි හල්පිට ආදීනගේ පවුල්වල සාමාජික සාමාජිකාවෝ ද ඔවුන් අතර වෙති. මෙකී චෝදනාවේ සත්‍ය අසත්‍ය දැන ගැනීමට ඔවුන් අතරින් කිහිප දෙනකු සමඟ  කළ කතාබහයි මේ...!



මුලින්ම අප සමඟ කතාබහට එක් වුණේ “මේ ජීවනයේ” ගී ඇල්බමයේ ඇතුළත් “දුහුල් මීදුමේ” “පිහිනා ගීත ජලාසේ” සහ “විල්ලුද පුංචි දෙපා” ගීත තුනේ පද රචක ආචාර්ය අජන්තා රණසිංහ ය.


ජෝති ගැයුවට මේවා මගේ නිර්මාණ
 


ආචාර්ය අජන්තා රණසිංහ

“පැහැදිලිවම තේරුම් ගන්න, මේ ගී පද රචනා මගේ බව. මගේ පද රචනා මනරම් නිසා තමයි මේවා රසිකයන් අතරට ගියේ. මගේ පද රචනාවලට මං කැමැති දේ මම කරනවා. සල්ලි ඇතුව හෝ නැතුව මං කැමැති කෙනෙකුට මගේ ගී පද රචනා දෙන්න මට අයිතිය තියෙනවා. ඒක මගේ වැඩක්. කාටවත් ඇයි එකේ වගක්.”
“ජෝති ගැයූ ගී විකුණා ගෙන කනවාටයි මෙම චෝදනාව කෙරෙන්නේ...?”
“ඔව්. ජෝතිපාල ගැයුවාට මේවා මගේ නිර්මාණ. මේ පද රචනා මගේ බුද්ධිමය දේපළයි. මං මේවා විකුණා ගෙන කන්නේ නැතුව, මගේ පවුලේ අය කන්නේ නැතුව වෙන කවුරු විකුණා ගෙන කනවානම් ද යුක්ති සහගත වෙන්නේ? මම මගේ පවුල රක්ෂා කරනවා මගේ බුද්ධිමය දේපළ අලෙවි කරලා. මං ජීවත් වෙනවා. ගී පද රචනය මගේ ස්වයං රැකියාව. ඉතින් කොහොමද, මේ ගීත විකිණීම වරදක් වෙන්නේ?”
අනික ජෝතිපාලයන් අනුන් ගැයූ ගීත ගීත පටිවලට ගායනා කළා. මම ජෝතිට දොසක් කියනවා නොවේ. ජෝති ‘දුව දීමට කාරේ බැඳා’ සහ ‘සුවඳයි මුවේ මල් පැණි’ වැනි ගීත ගායනා කළා. ඒවා වෙනත් ගායකයින් ගැයූ ජනපි‍්‍රය ගී. ඇයි ඒ වෙලාවේ ජෝතිට මේ වගේ කිසිවෙකු චෝදනා නොකළේ? ජෝති කරපු දේ මේ කියන්නේ. අපිට ඒකට අයිතිය තිබෙනවා. මන්ද ජෝතිට සුදුසු තැන ලබා දෙන්නේ අපි හින්දා. ජෝතිව විකුණා ගෙන කන්න ඔහු වෙළෙඳ භාණ්ඩයක් නොවේ.”
මේ ගීත රැල්ල ඇරැඹුවේ නන්දා මාලනියි. ඇය පැරැණි ගී නැවත ගායනා කළා. ටී. එම්. ජයරත්න සහ සුනිල් එදිරිසිංහ එම ගීතවලට ගායනයෙන් සහාය වුණා. ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’ ගායනා කළා. අමරදේවයන් ගැයූ ගීත දාසයක්ම ඩබ්ලිව්. ඩී. ආරියසිංහ ගායනා කළා. පැහැදිලිවම එච්. ආර්. සොයිසා, රූකාන්ත ගුණතිලක, කිංස්ලි පීරිස් ඔය ආදි ගායකයෝ කී දෙනෙකු නම් ජෝති ගයපු ගී නැවත ගායනා කර තිබෙනවා ද? කවුද ඒවාට චෝදනා කෙරුවේ? අලුත් කොල්ලෙක් සුරේන්ද්‍ර. ඔහු හැදෙනවාට අකැමැති ඊර්ෂ්‍යාකාරයින්ගේ මනස්ගාත ඕවා.”
“ජෝතිපාලගේ අනුස්මරණය වෙනුවෙන් ගීත ඇල්බමයක් කරන්න ක්‍රිෂ්ණි දුව ආවා. මගේ ගී පද රචනා සඳහා අවසරය ගන්න. මගේ මගේ ගී පද රචනා පහළොවක්ම එතැන තිබුණා. මුදලින් රුපියල් දහදාහ බැගින් රුපියල් එක්ලක්ෂ පනස්දාහක්.
මම සතයක්වත් ගත්තේ නැහැ. ජෝති ගැයූ ගීත විකුණා ගෙන කෑමක් කරනවා කියන්නේ කවුරුන් හෝ ගී පද රචකයෙක් වෙන්න ගිහිල්ලා අසාර්ථක වී ඉන්පසු සාහිත්‍යධරයෙකුවත් වෙන්න හදා ඒත් බැරි වුණාම විචාරකයෙකුවත් වෙන්න හදන කෙනෙකු වෙන්න ඇති.
ඔය චෝදනාව එවැන්නෙකුගේ මනස්ගාතයක්. එච්චරයි!”



මේ මුදල් ධර්මසිරි ගමගේ පදනමට භාර කළා


චමින්ද ගමගේ

“සීත මෝසම්” සහ “ආදර මල් පවනේ” (දුලීකා) ගී පද රචනා හිමිකරු ධර්මසිරි ගමගේ ය. ඔහුගේ පුතා චමින්ද ගමගේ අප සමඟ කතා බහට එක්වෙමින් පැවැසුවේ, “තාත්තා ලියූ මේ ගීත විකුණන්න තරම් අපිට ආර්ථික අපහසුවක් නැහැ. මේ ගීත අපි තාත්තා වෙනුවෙන් සත්කාර සේවා සඳහා ධර්මසිරි ගමගේ නමින් පිහිටුවා තිබෙන පදනමට භාර කළා” යනුවෙන් ය.
“මුලින්ම අප සමඟ මේ ගැන කතා කළේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ. ඉන් පසුයි සරත් ද අල්විස් සහ ඔහුගේ පුතා සුරංග ආවේ. ඔවුන් අපිට මේ ගීත සඳහා ගෙවීමක් කළා. ඔවුන් එම ඇල්බමය වාණිජ අරමුණක් ඇතුව කළ නිසා අපි ඒ මුදල් ලබාගෙන තාත්තාගේ පදනමට බැර කෙරුවා. රිංගින් ටෝන්ස් සඳහාත් සමඟමයි මේ ගීත දුන්නේ. හැබැයි මේ ගනුදෙනුවට පෙර අපි ඇහැව්වා, පේ‍්‍රමසිරි කේමදාස මහත්මියගෙන් අවසර ගත්තා ද කියා. මොකද මේ ගීත දෙකේම සංගීතවේදියා කේමදාස මාස්ටර් වූ නිසා. ඔවුන් ඒ බව සනාථ කළා.
රූකාන්ත ගුණතිලකත් මීට ඉහත ‘දුලීකා’ ගීතය ගායනා කළා. එවිට තාත්තාගේ අවසර ගත්තා ද කියා අපි දන්නේ නැහැ. තාත්තා උන්නා නම් සුරේන්ද්‍රට මේ ගීත මුදල් නොගෙන දෙන්න තිබුණා. තාත්තාගේ හැටි එහෙමයි. තවම මේ ගීත අඩංගු ඇල්බමයක් වත් අපිට ලැබුණේ නැහැ. මුලින් මේ ගීත ගායනා කළේ ජෝතිපාලයන් බව සඳහන් නොකිරීම සදාචාරාත්මක නැහැ. මේ නිර්මාණ සඳහා දායක වූ සියලුම පාර්ශ්වයන්ට සාධාරණයක් ඉටු කෙරෙනවා නම් එය යහපත් බවයි අපේ අදහස. කෙසේ වුවත් අපි කාගෙවත් ගී විකුණා ගෙන නොකන බව තරයේම පවසන්න ඕනේ.
තාත්තා උන්නු කාලේ ඔහු සමඟ ඇසුරු කළ සුන්දර මිනිසුන් ගැන මිස මේ දැන් අහන්න ලැබෙන ආකාරයේ මුදල් අරමුණු කරගෙන සුරේන්ද්‍ර වැනි දක්ෂ නවක ගායකයින් දංගෙඩියට බිලි දෙන මිනිස්සු ගැන මම දැනගෙන උන්නේ නැහැ. මේ විෂම චක්‍රය යහපත් ලෙස සකස් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා!”
* * *
කරුණාරත්න අබේසේකර පද රචනය කළ ‘මේ ජීවනයේ’ ගීතය පිළිබඳ අයිතිය හිමිකරුවන්ව සිටින්නේ ඔහුගේ බිරිඳ ඉරානි සහ දිලීප පුතා ය. අපි මේ චෝදනාව පිළිබඳව දිලීප අබේසේකරගෙන් විමසුවෙමු.


ජෝතිගේ සින්දු සුරේන්ද්‍ර ගැයීම වරදක් නෑ


දිලිප අබේසේකර

“මෙතැන ජෝති ගැයූ ගී විකිණීමේ මුදල් ප්‍රශ්නයක් නැහැ. මුලින්ම මෙම ගී ගැයුවේ ජෝතිපාල බැව් ඇල්බම කවරයේ සඳහන් නොකිරීමේ ප්‍රශ්නයයි තියෙන්නේ. එය මෙම ඇල්බමය කළා වූ අයගේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් මිස මෙයට දායක වූ සියලුම නිර්මාණකරුවන් හට චෝදනා නැගීමට තරම් හේතුවක් නොවේ.
තාත්තා ලියු ‘මේ ජීවනයේ’ ගීතයට කාලයකට ඉහත සරත් ද අල්විස් අම්මාගෙන් අවසරය ලබා ගෙන ගෙවීමකුත් කළා. මේ ගීතය සුරේන්ද්‍රට දෙන්න එපා කියා දුරකතන ඇමතුම් නම් නිතර ලැබෙනවා. කෙසේ වුවත් මගේ අදහස නම් මෙය ඔය තරමට ආන්දෝලනයක් කිරීමට කරුණක් නොවේ. මේ ක්‍රමය අපේ අසල්වැසි ඉන්දියාවේ සංගීත ක්ෂේත්‍රයේ පවා තිබෙනවා. ඒ වගේම සුනිල් ශාන්තයන් ගැයූ ගීත අදත් පවතින්නේ එම ගීත අයිවෝ ඩෙනිස් ගායනා කරන නිසායි. ජෝතිපාල ගැයු ගීතත් ඉදිරියට පවතින්න සුරේන්ද්‍ර, ගැයීමේ වරදක් නැහැ.
තාත්තා ලියු ගීත සඳහා ලැබෙන කිසියම් හෝ මුදලක් වේ නම් අපි එම මුදල් ඔහු වෙනුවෙන් කරනු ලබන සද්කාර්යන් සඳහා යොදවනවා. තාත්තාගේ ගී පද රචනා විකුණා ගෙන කෑමක් අපි සිදු කරන්නේ නැහැ. මේ රටේ නීතියට එකඟව අපි තාත්තාගේ බුද්ධිමය දේපළ ඔහු වෙනුවෙන් සුරක්ෂිත කරනවා.”

මීළඟට අප සමඟ අදහස් පැවැසුවේ මෙම ගීත ඇල්බමයේ ‘නිසංසලයි සීතයි’ සහ ‘හෝ හෝ තුෂාරා’ ගී පද රචනා හිමිකරු වූ ශ්‍රී නිහාල් ඒ. ජයසිංහ වෙනුවෙන් බිරිඳ දයා ජයසිංහ යි.


මින් ඉදිරියට කාටවත් සින්දු දෙන්නේ නැහැ
 


ශ්‍රී නිහාල් ජයසිංහගේ බිරිඳ දයා ජයසිංහ

අපි කාගෙවත් ගීත විකුණුවේ නම් නැහැ. මගේ පුරුෂයාගේ ගීත වුවත් විකිණීමක් අපි කෙරුවේ නැහැ. මේ ගීත දෙකට අපි කර්තෘ භාගය ලෙස දුන් මුදල පමණයි අපි ලබා ගත්තේ. සුරේන්ද්‍ර ආවේ නැහැ, සරත් ද අල්විස් හිතවත් නිසාත් මෙම ගීතය සංගීතවත් කළෙත් ඔහුම නිසාත් ඔහුගේ පුතා සුරංග ආ විට අපි ඔහු සමඟයි මේ ගනුදෙනුව කළේ. මේ වනතුරු මේ ගීත අඩංගු ඔය කියන ඇල්බමය අපිට ලැබුණේ වත් නැහැ.
ගීත දෙකම දුන්නේ රුපියල් පහළොස්දාහකටයි. රිංගින් ටෝන්ස් වලින් ලක්ෂ ගණනින් උපයන බව දැනගන්න තිබෙනවා. ඒත් අපිට ඒවා ගැන සොයා දැනගන්න බැහැ. කොහොම වුණත් මින් ඉදිරියට ශ්‍රී නිහාල්ගේ ගීත අලුතින් ගයන්න අපි කාටවත් දෙන්නේ නැහැ. මොකද තව අවුරුදු පන්සීයකට හරි හරියන්න ජෝතිපාල මේ ගී පද මාලා රසවත්ව ගායනා කරලා තියෙන හින්දා.”

සුරේන්ද්‍රගේ මෙම ඇල්බමයේ ආරම්භක ගීතය ‘දිය කිඳුරිය සේ සාගරේ’ ගී පද රචක උපාලි ධනවලවිතාන යි. උපාලි වෙනුවෙන් මෙම චෝදනාව පිළිබඳ අප සමඟ කතා බහ කළ ඔහුගේ බිරිඳ ශ්‍රීමා ධනවලවිතාන පැවසුවේ මෙලෙසින් ය.



නීතියට අනුව කටයුතු කර තිබෙනවා


ශ්‍රීමා ධනවලවිතාන

“මුලින්ම නවක ගායකයකු විසින් ගායනා කිරීමට කියා සරත් ද අල්විස් සහ ඔහුගේ පුතා රුපියල් පන්දාහ බැගින් පහළොස් දාහකට ‘දිය කිඳුරිය’ ඇතුළු ගීත තුනක් සඳහා මගෙන් අවසර ලබාගෙන ගියා. පසුව දුරකථනවල රිංගින් ටෝන්ස් සඳහා ‘දිය කිඳුරිය’ සුරේන්ද්‍ර ලවා ගායනා කර තිබෙනු අසා මම කළ විමසීමකින් පසුව සරත් ඔහුගේ බිරිඳ සහ සුරංග ද පැමිණ රුපියල් පනස්දාහක් මෙම ගීතයට ගෙව්වා. උපාලිගේ බුද්ධිමය දේපළ වල උරුමය අද තිබෙන්නේ මටයි මගේ දරුවන්ටයි.
ඉතින් අපිට අයිති දේ අපි සදාචාරාත්මකව සුදුසු අයුරු පරිහරණය කිරීමේ වරද කුමක් ද?
මෙම චෝදනාව සාධාරණ චෝදනාවක් නොවේ. අද මේ වනතුරු ද අපට ඔය ගීත ඇල්බමය දකින්නවත් ලැබී නැහැ.
2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 2 11 විධි විධාන අනුවත්, මේ රටේ වලංගු නීතියට අනුවත් අපි කටයුතු කර තිබෙනවා. මෙය ජෝතිපාල ගැයූ ගී විකුණා ගෙන කෑමක් වෙන්නේ කෙසේ ද? මෙම ක්‍රමවේදය යහපත් ප්‍රවණතාවක් යැයි මම හිතනවා. මන්ද හොඳ ගී පද රචනා නැවත නැවත මේ රටේ ජනතාවට රස විඳින්නට මේ නිසා අවස්ථාව උදා වෙනවා.


සුරේන්ද්‍රගේ මෙම ‘මේ ජීවනයේ’ ගීත ඇල්බමයේ ධර්මසිරි ගමගේ ලියූ ගී පද රචනා දෙකේම (‘සීත මෝසම්’ සහ දුලීකා’) සංගීතය නිර්මාණය කරනු ලැබුවේ ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් විසිනි. කේමදාසයන් ගේ හිමිකම් වෙනුවෙන් අප හා කතා බහට එක්වූයේ ඔහුගේ ආදරණීය බිරිඳ ලතා කේමදාස යි.



අගක් මුලක් මම දන්නේ නැහැ


ලතා කේමදාස

“මේ ගීත ඔය ඇල්බමයට ඇතුළත් කිරීමේදී සම්බන්ධීකරණය කළේ අජන්තා රණසිංහයි. එතකොට මං උන්නේ කැනඩාවෙයි. මං ලංකාවට ඇවිත් මේ ගැන දැනගන්නා විට පටිගත කිරීම් පවා අවසන් වෙලා තිබුණේ. කොහොම මොනවා කළා ද? තාමත් දැනගන්න බැහැ. මේ වනතුරු ඔය ඇල්බමය දකින්නවත් ලැබුණේ නැහැ.”
“මට රුපියල් හතළිස් දාහක් ගීත දෙකටම දුන්නා. ඇල්බමයට විතරද රිංගින් ටෝන්ස් සඳහා ද මොනවාටද කිසි වගක් තවම වැටහෙන්නේ නැහැ. මම ඒ ගිවිසුමේ පිටපතක් ඉල්ලුවා. ඒකවත් තවම ලැබුණේ නැහැ. මාස්ටර් හරිම මහන්සි වී ඔය ගීත නිර්මාණය කෙරුවේ. හරිම කනගාටුයි. එකිනෙකා දැන් තම තමන්ට කැමැති විදිහට මාස්ටර්ගේ ගීත විකුණා ගෙන කනවා. බුද්ධිමය දේපළ ලෙස මාස්ටර්ට අයිති හිමිකමක් හැර අපි කාගෙවත් දේවල් විකුණා නැහැ.”
 

අපි දුන්නේ තාත්තගේ සින්දු
 


හේමසිරි හල්පිටගේ පුත් දයන්ත හල්පිට
අවසාන වශයෙන් ජෝති ගැයූ ගී විකුණා ගෙන කෑමේ චෝදනාව පිළිබඳ අපේ කතාබහට අපි එක්වුණේ සුරේන්ද්‍රගේ මෙම ගී ඇල්බමයේ අඩංගු ‘නිදි නැති රෑ යාමේ’ ගී පද රචක හේමසිරි හල්පිට වෙනුවෙන් ඔහුගේ පුතා වන දයන්ත දිනූෂ හල්පිට සමඟින් ය.
“සුරේන්ද්‍ර මේ ගීතය ගායනා කරන්න ලබාගන්න හෝ අවසර ගන්න අප හමුවෙන්න ආවේ නැහැ. සුරංගයි, ධම්මි සේපාලිකායි ඇවිත් තමා මගේ අම්මාට තාත්තාගේ මේ ගීතය වෙනුවෙන් මුදලක් ගෙවා ගායනා කිරීමට අවසර ලබාගෙන තිබෙන්නේ. රිංගින් ටෝන්ස් සඳහා යෙදවීමටත් සමඟ තමයි එම අවසරය ලබා ගෙන තිබෙන්නේ.
තව මේ වනතුරු අපිට නම් ඔය ගීත ඇල්බමය ලැබුණේ නැහැ. එම නිසා ඒ ගැන කිසිවක් කියන්න බැහැ. හැබැයි ඉතින් අපි දුන්නේ තාත්තාගේ ගී පද රචනයක් මිස වෙන කාගෙවත් පද රචනයක් නොවේ. සරත් ද අල්විස්මයි මේ ගීතයේ සංගීත නිර්මාණය කර තියෙන්නෙත්. ඔහු තාත්තාගේ හොඳම හිතවතකු නිසා ඔය ගීතය දීම පිළිබඳ අපිට දෙවරක් හිතන්න ඕනෑමක් තිබුණෙත් නැහැ.


ජෝජ් රොබ්සන් ද සිල්වා


සිළුමිණ පත්‍රයෙන් උපුටා ගත් කොටසකි