Monday, September 26, 2011

2011 විශ්ව රූ රැජන ලෙයිලා ලෝපස්

මුළු ශාලාවම අලංකාරව විදුලි එළියෙන් නැහැවෙමින් තිබිණ. වේදිකාව පසෙකින් ඇසෙන්නේ සිහින් සංගීත රාවයකි. රැස්ව සිටින්නවුන් ගේ අත්පොළසන් හඬ මධ්‍යයේ තරගකාරියෝ තාලයට පා තබමින් ඉදිරියට පැමිණියහ. ලෝකයේම රූමත් තරුණියන් අතරින් වඩාත්ම රූමත් තරුණියෝ පස් දෙනෙක් අඩ සිනාවකින් මුව සරසාගෙන තාලයට පා තබමින් වේදිකාව හරහා සෙමෙන් ඇවිද ගියහ.

පංච කල්‍යාණයෙන් අනූන ඒ තරුණියන් අතරින් සිවු දෙනකුම පැහැපත්ය. අනෙක් තරුණිය ඡවි වර්ණයෙන් අඳුරුය. සිහින්ය. උසැතිය. වේදිකාව ඉදිරිපිටට පැමිණි තරුණියන් මොහොතකට නතරවූයේ විනිශ්චය මණ්ඩලය වෙතින් නැඟෙන පැනයකට පිළිතුරු දීමට ය.

2011 වසරේ විශ්ව රූ රැජන තේරීමේ තරගය පසුගියදා බ්‍රසීලයේ සාඕ පාඔලෝ නුවර දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. 60 වැනි වරටත් පැවැති විශ්ව රූ රැජන තරගයේ මෙවර ලොව ප්‍රථම වතාවට විශ්ව රූ රැජන ලෙස අභිෂේක ලැබුවේ අඳුරු සමකින් යුත් රූමතියකි.

ඇය ඇන්ගෝලාවේ බෙන්ගුඑලා හි උපන් ලෙයිලා ලෝපස් ය. කළු ජාතික තරුණියක වන ලෙයිලා එංගලන්තයේ ව්‍යාපාර කළමනාකරණ පාඨමාලාවක් හදාරන සිසුවියකි. දෙවැනි තැන ගත්තේ යුක්රේනයේ ඔලෙසියාය. තෙවැනි හා සිවුවැනි තැන් පිළිවෙළින් බ්‍රසීලයේ ප්‍රිස්ලා සහ පිලිපීනයේ ෂැම්සේ ලබා ගත්හ.

ලොව නන් දෙසින් පැමිණි රූමතියන් 89 දෙනකු සති තුනක් පුරා බ්‍රසීලයේ ගතකළේ තමන් අතරින් ලොව වඩාත්ම රූමත් කත කවුදැයි තෝරන විශ්ව රූ රැජන තරගයට ඉදිරිපත්වීම සඳහාය. මෙවර රූ රැජන තරගයේ විශේෂත්වය වූයේ ලොව සෑම මහාද්වීපයකින්ම රූ රැජනන් තරගයට ඉදිරිපත්ව සිටීමය. ඒ සෑම රූමතියක් ම අවස්ථා හා අදියර කීපයක් ඔස්සේ තරගයට මුහුණ දුන්නාය.

වට කීපයක් හරහාම ඉදිරියට පැමිණි ලෙයිලා විශ්ව රූ රැජන වේ යැයි කවුරුවත් විශ්වාස නොකළහ. ඒ ඇගේ සමේ පැහැය නිසාය. එහෙත් විනිශ්චයකරුවන් ඇගෙන් ඇසූ පැනයට ඇය දුන් පිළිතුර ඇගේ දෛවය වෙනස් කළේය.

ඔබට ඔබගේ බාහිර පෙනුම වෙනස් කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නම් ඔබ වෙනස් කරගන්නේ කුමක්ද? ඇගෙන් ඇසූ පැනය එයය.

”දෙවියන්ට ස්තුති වේවා, දෙවියන් මා මවා තිබෙන අන්දම ගැන උදක්ම තෘප්තිමත්. මට කිසිවක්ම වෙනස් කිරීමට අවශ්‍ය නෑ” ලෙයිලා දුන් පිළිතුර එයය.

සිය රූපය හා පෙනුම සම්බන්ධයෙන් ඇය වෙත වූ නිහතමානිත්වය, ආත්ම විශ්වාසය හා තෘප්තිමත් භාවය ඇගේ එම පිළිතුරෙන් ඉස්මතු විය. ඇගේ ජයග්‍රහණය තහවුරු වූයේ එම පිළිතුරත් සමඟය. විශ්ව රූ රැජන ලෙස කිරුළු පලඳින්නේ කවුදැයි යන්න ප්‍රකාශ වෙත්ම මුළු උත්සව ශාලාවම විස්මයෙන් ඇළලී ගියේය. ඉන්පසු ඇසුණේ කන් බිහිකරවන අත්පොළසන් හඬය.

ලෙයිලා විශ්ව රූ රැජන ලෙස කිරුළු පැලැඳියේ පසුගිය වසරේ විශ්ව රූ රැජන වූ මෙක්සිකෝවේ ෂිමෙනා නැවරෙට් අතිනි.

ලෝකයේ ලස්සනම ගැහැනිය තෝරන්නේ රූමත්කම පමණක් සලකා නොවන වග මෙවර ද විශ්ව රූ රැජන තරගයෙන් මනාව පෙන්නුම් කෙරිණ. රූ රැජන තරගය සඳහා සුදුසුකම් ලබන්නේ වයස අවුරුදු 18ත් 21ත් අතර අවිවාහක කාන්තාවන්ය. මහාද්වීප නියෝජනය කරමින් සහභාගි වූ තරගකාරියන් දිරිමත් කිරීම සඳහා ඔවුන්ගේ ආධාරකරුවෝ ද ලොව එහා කොනේ සිට ම මෙවර බ්‍රසීලයට පැමිණ සිටියහ.

කීපවරක්ම විශ්ව රූ රැජන සහ ලෝක රූ රැජනන් බිහිකළ ඉන්දියාවේ තරගකාරිය මෙවර අවසන් දසදෙනා අතරටවත් නොපැමිණීම ද කැපී පෙනිණි.

”මං මා ගැන හිතන්නෙ ඇතුළාන්තයෙන් ලස්සන උරුම වූ ගැහැනියක් ලෙසයි. මට මගේ පවුල වෙතින් අගනා ප්‍රතිපත්ති රැසක් උරුම වී තිබෙනවා. මගේ ජීවිත කාලය පුරාවට ඒවා ඉදිරියට ගෙන යෑම මගේ බලාපොරොත්තුවයි” ලෙයිලා පවසන්නීය.




 

සේමාලි කැල්ලපත
Source : Silumina