Friday, September 30, 2011

ඔකඳ ෆිනෑන්ස්‌ අධ්‍යක්‍ෂවරුන් 4 දෙනකුට රු. ලක්‍ෂ දොළහක්‌ දඩ


ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඉල්ලා සිටි තොරතුරු සැපයීම පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා තුනකට වැරදිකරුවන් වූ සීමාසහිත ඔකඳ ද්‍යිනෑන්ස්‌ (පුද්ගලික) සමාගමේ අධ්‍යක්‍ෂවරුන් හතර දෙනකු හට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (29 දා) රුපියල් ලක්‍ෂ දොළහක (12) දඩ මුදලක්‌ ගෙවන ලෙසට නියෝග කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් කරනලද චෝදනා ගොනු කිරීමකට අනුව පැවැති නඩු විභාගයකින් පසු වැරදිකරුවන් වී මෙසේ දඩ මුදල් ගෙවීමට නියම වූයේ දෙහිවල වෛද්‍ය පාරේ පදිංචි වනික්‌කු බඩතුරුගේ ඔකඳ සිල්වා, තේජා දිල්හානි සුවන්දගේ සිල්වා, චමිලා ජීවනී සුවන්දගේ සිල්වා සහ අංගොඩ- අංගොන පදිංචි වනික්‌කු බඩතුරගේ ධනපාල සිල්වා නමැති අයටය.

වර්ෂ 2002 සැප්තැම්බර් 23 දාත් ඔක්‌තෝබර් 03 දාත් අතර කාල සීමාවේදී 1988 අංක 78 දරන මූල්‍ය සමාගම් පනත ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරිය ඉල්ලා සිටි අධ්‍යක්‍ෂවරුන්ගේ නම් හා ලිපිනයන්, ව්‍යාපාර ලියාපදිංචි, සංස්‌ථාපිත දිනය හා නිලධාරීන්ගේ නම් හා තොරතුරු ඉදිරිපත් කිරීමෙන් හා සැපයීමෙන් පැහැර හැරීම, තැන්පත්කරුවන්ගේ ආයෝජන මුදල් ලබාගත් දින, ආයෝජන වටිනාකම්, පොලී අනුපාතික, ණය ක්‍රම ලබාගෙන ඇති භාණ්‌ඩාගාර බිල්පත් හා වෙනත් තොරතුරු ඉදිරිපත් නොකිරීම සහ 2002 මාර්තු 31 දිනෙන් දින අවසන් වන මුදල් වසර දෙකකට අදාළ ගනුදෙනු පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම පැහැර හැරීම යන චෝදනා යටතේ චූදිතට එරෙහිව නඩු විභාගය පැවැත්විණි.

සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ මහෙස්‌ත්‍රාත්වරයා පැමිණිල්ල මඟින් චූදිතයන්ට එරෙහිව නඟා ඇති චෝදනා සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවත් ඒ අනුව ඔවුන් වැරදිකරුවන් කරමින් එක්‌ එක්‌ චෝදනාවන්ට රුපියල් ලක්‍ෂ තුන බැගින් දඩ මුදල් නියම කරන බවත් පැවසුවේය.

චූදිතයන්ට නියම කළ දඩ මුදල් නොගෙවන්නේ නම් එක්‌ එක්‌ චෝදනාවන්ට වසර එක බැගින් සිරදඬුවම් නියම කරන ලෙසට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා දඩ මුදල් ගෙවන්නේදැයි කළ විමසීමට ඔවුන් දඩ මුදල් ගෙවන බවට කියා සිටියේය.



source : Divaina