Thursday, September 29, 2011

අපේ ප්‍රාර්ථනාව අලුත් ගෙදරට පුංචි පැටියෙක් කැන්දන් එන එකයි


"අර බලන්නකො අර යන්නේ "ගාමනි"චිත්‍රපටයේදී පිහියෙන් ඇනලා මැරිලා වැටෙන චරිතය කරන නැන්දා නේද අම්මේ . . ."

"අර බලන්නකො අර හමුදා කිට් එක ඇඳගෙන හිටිය මාමාත් එයත් එක්කම ඉන්නවා."

"අපි එයාලත් එක්ක කතා කරන්නද?"

අවුරුදු දොළහක, දහතුනක වයස ඇති පුංචි උන් දෙන්නෙක් තමන් කරන කාර්ය මඳකට නවතලා දුවන්නේ සුජානි - බිමල් කියන මේ සොඳුරු යුවළ සමග කතාබහ කරන අදහසින්.

හදිසියේම ලැබුණු විවේකයේ බිමල් - සුජානි කඩයකට ගොඩ වුණේ ඇඳුම් කිහිපයක් ගන්න හිතාගෙන. මෙන්න බොලේ පුංචි උන් දෙන්නෙක් ඇවිත් අතේ එල්ලුනා. උන් දෙන්නගෙන් ප්‍රශ්න වැලයි. පුංචි උන් දෙන්නගේ අම්මා ඇවිත් ඒ දෙන්නාව අරගෙන නොයන්න හරිම අකරතැබ්බයක් තමයි මේ දෙන්නට වෙන්නේ.

"ඇත්තටම ඔය සිද්ධිය එක සිදුවීමක් විතරයි. ඒ තරමටම ඔය වගේ සිද්ධිවලින් අපේ ජීවිත පිරිලා. මේ දවස්වල නම් ගාමනි බැලුව බොහොම දෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර ලැඛෙනවා."

බිමල් මෙහෙම කියන කොට අප හැරුණේ සුජානි දිහාවට.

"ඔය පිහියෙන් ඇනලා මරණ දර්ශනය වගේ පුංචි කොටසක් වුණත් රූපගත කරන්න දවස් තුනක් විතර ගියා. එක දවසක් හොඳටම වැස්ස. ඊළග දවසෙත් ඒ වගේමයි. අවසානයට තුන්වෙනි දවසෙත් ඒ කොටස රූපගත කළා."

මේ විදියට අපේ සුහද කතාබහ ආරම්භ වෙන අතරේ මගේ දෙනෙත් දිව්වේ අවට පරිසරයටයි. සතෙන් සතේ, රුපියලෙන් රුපියල එකතුඳූ කරලා මේ කුරුල්ලයි කිරිල්ලියි අපූරු කැදැල්ලක් තනලා වගෙයි.

"අපූරු කැදැල්ල" මට කියැ වුණා.

"අපි දෙන්නගේ කාලයක පටන් තිබුුණු හීනයක් හැබෑ වුණා. මේ කැදැල්ල අපි දෙන්නා අලුතින්ම ගොඩ නැ¼ගුව එකක් නම් නෙවෙයි. පරණ ගෙයක් අරගෙන අපිට උවමනා විදියට පොඩි පොඩි වෙනස්කම් ටිකක් කළා. ඒ නිසා මේක පරණ ගෙයක් කියලා පෙන්නේ නෑ.ඒ කොහොම වුණත් මේක අපේ අලුත්ම කැදැල්ලයි."

බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටලා තිඛෙන මේ සොඳුරු කැදැල්ල සුන්දර කරන්න සුජානි මේ දවස්වල හරි හරියට මහන්සි වෙනවා වගෙයි.

"මේ දවස්වල මම ටිකක් කාර්යබහුලත්වයෙන් මිදිලා. ඒ නිසා ඉන්නේ ගෙදරටම වෙලා. ඒ කාලය අපේ කැදැල්ල ලස්සන කරන්න මහන්සි වෙනවා. අලුත් ගෙදරක කොයි තරම් නම් රාජකාරි තිඛෙනවාද? මිදුල හදන්න, මල් වවන්න, කැදැල්ල ඇතුළේ කාමර වගේම සාලය ලස්සන කරන්න, පුංචි පුංචි දේවල් හරියට කරන්න තියෙනවා. ඉතිං කැදැල්ල ලස්සන කරන මේ කටයුතුත් එක්ක දවස් ගත වෙනවා දැනෙන්නේම නෑ.

සුජානි මේනකා දවස තිස්සෙම කැදැල්ල ලස්සන කරනවා. සැන්දෑ කළුවරත් අරගෙන කැදැල්ලට ගොඩ වෙන බිමල් ජයකොඩිට කියන්න දේවල් ගොඩයි. ඒවා කියන තුරු ඈට ඉස්පාසුවක් නෑ. zzබලන්න අයියෙ මේ විදියට ගේ ලස්සන ද කියලා?"

"මම ගෙරට එනකොට සුජා ගේ ලස්සන කරන්න කරන දේවල් මට ඔක්කොම පෙන්වනවා. මමත් ඉතිං මගේ දයාබර බිරිඳගේ වැඩ කටයුතු බලලා සතුටු වෙනවා."

"ඒ විතරක් නෙමෙයි. වැරැද්දක් තිබුණොත් කියලා දෙන්නත් අමතක කරන්නේ නෑ."

සුජානි එහෙම කියන්නේ හඬ නගා සිනාසෙන ගමන්.

"අපි දෙන්නටම විවේකය ලැඛෙන්නේ කලාතුරකින්. ඒ දවස්වලට අපි චිත්‍රපටයක් බලන්න යනවා. එහෙමත් නැත්නම් යාළුවොත් එක්ක හරි, අපි දෙන්නා විතරක් හරි විනෝද ගමනක් යන්නත් අමතක කරන්නේ නැහැ. මගේ මව්පියන්, සහෝදරයෝ ටිකත් පදිංචි වෙලා ඉන්නේ මට වඩා ඈතට වෙලා. ඒ නිසා මට ඉන්න හොඳම යාළුවා වගේම එකම නෑදෑයා මගේ බිරිඳයි. ජයග්‍රහණයේදී, දුකේදී, සැපේදී මේ හැම දේකදීම ඈ මගේ ළගටම වෙලා ඉන්නවා. ඒ නිසා මගේ කැදැල්ල හරියට විවේක ආශ්‍රමයක් වගෙයි. මගේ විවේකය කියන්නේ ඉතිං සුජානිම තමයි."

"බිමල්ගේ රුව පසුගිය දවස්වල පුංචි තිරයේ නිතරම අපි දැක්කා."

"ඒ මම දායක වුණු ටෙලි නිර්මාණ සියල්ලම වගේ එකම කාලයක විකාශය වෙන්න පටන් ගත්තා. "සැනකෙළියයි මායා", පබළු", මේ දවස්වල තවම විකාශය වන "බොරළු වැස්ස" කියන ටෙලි නාට්‍යවලින් මාව දැකලාම ප්‍රේක්ෂකයන්ට එපා වෙන්න ඇති කියලත් හිතෙනවා. මේ දවස්වල විකාශය වන "අමා" ටෙලි නාට්‍යයෙත් මම ඉන්නවා. කොහොම වුණත්"ගාමනි"චිත්‍රපටයේ කරන චරිතය ගැනත් යමක් කියන්න ඕන. ඒ චරිතය විශේෂයෙන් ප්‍රතිනිර්මාණය කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේ චරිත ගැන ඕන තරම් පසුගිය කාලයේ අපි දැක්කා. ඒ ගෝනගල ගමේ සිදු වුණු සැබෑ සිදුවීම චිත්‍රපටයකට රැගෙන එන්න අධ්‍යක්ෂවරයා අපමණ මහන්සි වුණා. ඒක සාර්ථක වී ඇති බව පෙනෙනවා. මාව සිනමාවට රැගෙන ආ අධ්‍යක්ෂවරයා වුණු අනුරුද්ධ ජයසිංහගේ "බෝම්බ සහ රෝස" ඇතුළුව මගේ රංගනය රැගත් චිත්‍රපට කිහිපයක් ළගදීම තිරගත වීමට නියමිතයි."

"රම්‍ය සුරම්‍ය"

බිමල් - සුජානිට අපූරු නවාතැනක්.

සංදිස්ථානයක්.

"ගාමනි" චිත්‍රපටයෙත් මේ දෙපළට රංගනයට වරම් හිමි වුණා.

"ඇත්තටම කාලයකට පස්සේ තමයි අපි දෙන්නට එකම නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණේ. ඒත් ඉතිං විශේෂයක් නෑ. මම මගේ කොටස රගපෑවා. සුජානි, සුජානිගේ කොටස රගපෑවා. කොහොමත් අපි දෙන්න ඉන්නේ අපි දෙන්නා පිළිබඳ හරිම අවබෝධයෙන්. ඒ නිසා මම කුමන නිිළියක් එක්ක රගපෑවත්, සුජා කුමන නළුවෙක් එක්ක රගපෑවත් අපේ පෞද්ගලික ජීවිතයට ඒක අදාළ වෙන්නේ නැහැ."

"අපි දෙන්න අතරෙත් පුංචි පුංචි රණ්ඩු සරුවල් ඇති වෙනවා. මොකද ඉතිං අපිත් සාමාන්‍ය මිනිස්සුනේ. ඒත් ඉතිං ඒ රණ්ඩු බත ඉෙඳනකම් විතරයි."

"නේද අයියේ"

සුජානි කියන්නේ බිමල්ගේ ගෙල වටා අතක් යවමින්.

"අපි දැන් විවාහ වෙලා අවුරුදු හතරක්. හරිම ඉක්මනට දවස් ගෙවෙනවා. ඊළග අපේ ප්‍රාර්ථනාව අලුත් ගෙදරට පුංචි පැටියෙක් කැන්දන් එන එකයි. එයා ඉතිං නියම කාලයට අපේ කැදැල්ලේ පාළුව මකන්න අපි අතරට ඒවි. ඒ එනකම් අපි බලන් ඉන්නවා."

"අපූරුවට කැපෙන ජෝඩුව"

අපට හිතුණෙ එහෙමයි.



 




තිලානි ශානිකා විතානාච්චි
සේයාරුව - මාලන් කරුණාරත්න

Source : sarasaviya