Wednesday, September 28, 2011

පොලිස් ගැටුමෙන් දෙදෙනාම මිය යයි


රාජකාරි කටයුත්තක්‌ සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්‌වීමක්‌ දුරදිග යැමෙන් අම්පාර, මහඔය දහඅට කඳවුරේ අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක (සී. අයි.) ජයතිලක විසින් අම්පාර විශේෂ කාර්ය බළකා කඳවුරේ ප්‍රාදේශීය අණදෙන නිලධාරි සහකාර පොලිස්‌ අධිකාරි (ඒ.එස්‌.පී.) සිසිර කුමාර මහතාට පිස්‌තෝලයකින් වෙඩි තබා ඝාතනය කර ඔහුද හිසට වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන තිබේ.
      සහකාර පොලිස්‌ අධිකාරිවරයා නිල කාමරයේම මියගොස්‌ සිටි අතර ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා ගුවනින් මහනුවර රෝහලට ගෙන ඒමෙන් පසු මියගියේය. මෙම සිද්ධිය වී ඇත්තේ (25 වැනිදා) පෙරවරු 10.30 ට පමණ අම්පාර, මහඔය විශේෂ කාර්ය බළකා හැට නවය කඳවුරේය. ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා සිය රාජකාරි පිස්‌තෝලයෙන් සහකාර පොලිස්‌ අධිකාරිවරයාගේ මුහුණට වෙඩි ප්‍රහාර හතරක්‌ එල්ල කර ඇතැයි ද පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මෙම සිද්ධිය වන මොහොතේ අදාළ ස්‌ථානයේ සිට ඇත්තේ මොවුන් දෙදෙනා පමණකැයි ද පොලිසිය පවසයි.

මියගිය සහකාර පොලිස්‌ අධිකාරිවරයාගේ මුහුණට වැදුණු උණ්‌ඩ නිසා දත් කිහිපයක්‌ ගැලවී මේසය මත තිබූ බව ද පොලිසිය පවසයි.

රාජකාරි පැහැර හැරීමේ සිද්ධීන් පිළිබඳව චෝදනා ලැබ සිටින අය සහකාර පොලිස්‌ අධිකාරිවරයා හමුවට  (25 වැනිදා) ගෙන්වාගෙන තිඛෙන අතර මුලින්ම කොස්‌තාපල්වරුන් දෙදෙනකු සහකාර පොලිස්‌ අධිකාරිවරයා හමුවට ගොස්‌ තිබේ.

මෙම කොස්‌තාපල්වරුන් දෙදෙනා දින දහහතරක්‌ සේවයට වාර්තා කර නැත. ඒ පිළිබඳව සහකාර පොලිස්‌ අධිකාරිවරයා කොස්‌තාපල්වරුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා කාර්යාලය ඇතුළට පැමිණ තිබේ.

"අපි හතරදෙනාම රත්නපුරේ අය" යෑයි කියමින් ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා සහකාර පොලිස්‌ අධිකාරිවරයාගේ කාමරයට ගිය බවත් ඊට විනාඩි දෙකකට පමණ පසු වෙඩි හ~ ඇසුන බවත් එහි සිටි නිලධාරීන් විසින් පොලිසියට පවසා තිබේ.
ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජයතිලක මහතා, සහකාර පොලිස්‌ අධිකාරිවරයා හමුවට පැමිණ සිටියදී දෙදෙනා අතර මුලින්ම බහින් බස්‌වීමක්‌ ඇතිවී ඇති බවත් එහිදී කෝපය පාලනය කරගත නොහැකිව ජයතිලක මහතා සිය රාජකාරි ගිනි අවියෙන් සහකාර පොලිස්‌ අධිකාරිවරයාට වෙඩි තබා ඇති බවත් මූලික පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

සහකාර පොලිස්‌ අධිකාරි සිසිර කුමාර මහතා උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු ලෙස පොලිස්‌ විශේෂ කාර්ය බළකායට බැඳී ත්‍රස්‌ත මර්දන කටයුතුවලදී විශේෂ දක්‍ෂතා දැක්‌වූ අයකු බවත් පසුව සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ලෙස උසස්‌වීම් ලද බවත් නියෝජ්‍ය පොලිස්‌පති රණවක මහතා කීවේය. සහකාර පොලිස්‌ අධිකාරිවරයා කඩවත, ගෝනහේන ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහු වයස අටක පුතකුගේ සහ අවුරුදු තුනක පමණ දියණියකගේ පියකු බව ද රණවක මහතා සඳහන් කරයි.




කොළඹ පාතාලය මර්දනය කිරීමේදී ඇපකැපව රාජකාරි ඉටුකර ඇති සහකාර පොලිස්‌ අධිකාරිවරයා පසුව මහඔයට මාරු කර යවා තිබේ.

ඊට හේතු වී ඇත්තේ පාතාල නායකයකුගේ ඝාතනයක්‌ බවත් පොලිසියේ ඉහළින් ලැබුණු නියෝගයකට අනුව මහඔයට මාරු කර ඇති බවත් පොලිස්‌ විශේෂ කාර්ය බළකා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම වෙඩි තැබීම සිදුකළ බව කියන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා විශේෂ කාර්ය බළකායට බැඳී ඇත්තේ කොස්‌තාපල්වරයකු ලෙසිනි.

ඔහුද දියණියන් තිදෙනකුගේ පියෙකි. බලන්ගොඩ පදිංචිව සිටින ජයතිලක මහතා ද ඉතා නිර්භීත හා දක්‍ෂ පොලිස්‌ නිලධාරියෙකි. විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරීන් කිහිපදෙනකුගේ පෞද්ගලික සහකාර නිලධාරියා ලෙස ද ඔහු කටයුතු කර තිබේ.



සිද්ධිය සැළ වූ වහාම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ජගත් අබේසිරිගුණවර්ධන, අම්පාර පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල යන මහත්වරුන් අම්පාර හැටනවය විශේෂ කාර්ය බළකා කඳවුරට ගොස්‌ පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස්‌ මත පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිඛෙන බව ද පොලිස්‌ විශේෂ කාර්ය බළකාය පවසයි.







Source : divaina