Wednesday, September 28, 2011

මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් කසාද බැඳගෙන නැහැ.

අනෝමා ජනාදරී අපට සිටින දක්ෂ නිළියකි. වේදිකාව තිඹිරි ගෙය කරගනිමින් රංගන ශිල්පිනියක ලෙස කලා ලොවට පිවිසි ඇය දුන්හිඳ අද්දර, දිය කැට පහන, සින්තටික් සිහිනය වැනි ටෙලි නාට්‍යවලින් ද මේ මගේ සඳයි, චන්ද කින්නරී, තනි තටුවෙන් පියාඹන්න වැනි සිනමාපටවලින් ද ප්‍රේක්ෂකයා හමුවට ආවා ය. ඇය සිය ජීවිතයෙන් බිඳක් ගෙන ආ පුනරුක්ති මගේ කතාව කෘතියෙන් ලේඛන දිවියට ද පා තැබුවා ය. මේ කතා බහ ඇයගේ නිර්මාණ හා ඒ පිළිබඳ ඇය දරන මත ගැන ය.

රංගන ශිල්පිනියක ලෙස ඔබ කලාවට ප්‍රවිෂ්ට වුණේ වේදිකාවෙන්?

ඔව්. ඒ 1985 වසරේ දී. ඩග්ලස් සිරිවර්ධනගෙ හිට්ලර් නාට්‍යය තමයි මගේ මුල් ම වේදිකා නාට්‍යය වුණේ. ඊළඟට රඟපෑ හෙණ, මාඝාත වැනි නාට්‍ය දැඩි දේශපාලන වුවමනාවකුත් සමඟ කළ නාට්‍යයයි. ඊටත් පස්සෙ ධර්මසිරි බණ්ඩාරනායකගෙ මකරාක්ෂයා වේදිකා නාට්‍යයෙත් රඟපෑවා.

ඒ හැම නිර්මාණයකටම මම දායක වුණේ සමාජවාදී දේශපාලන කලාවක් එහි තිබුණ නිසා. මා රඟපෑවේ අතළොස්සක් වූ වේදිකා නාට්‍ය ගණනක. එහෙත් මගේ නාට්‍ය ගණන වැඩිකර ගැනීමේ වුවමනාවෙන් ප්‍රචාරකවාදී කලාවක් තෝරා ගන්න මම කවදාවත් හිතුවෙ නැහැ. සමාජවාදී අරමුණකට වගකියන කලාවන්ට පමණයි මම දායාක වුණේ”.

ඒ ආ ගමන අදටත් වලංගුයි කියලා හිතනවද?

ඇයි නැත්තේ. මම අදටත් මෙගා නාට්‍යවල රඟපාන්නෙ නැහැ. සැලුන් එකක් දාගෙන නැහැ. ක්‍රිකට් ක්‍රීඩකයෙක් කසාද බැඳගෙන නැහැ. කෙටියෙන් ම කියනවා නම් බඩගෝස්තරවාදී කලාවකට මම කවදාවත් අවතීර්ණ වෙලා නැහැ. මම බඩගින්නෙ මැරුණත් මගේ දර්ශනයෙන් එපිට කලාවකට මම අඩිය තියන්නෙ නැහැ.”

ඔබ ප්‍රචාරකවාදී කලාවක් තෝරා ගන්නෙ නැති බව පැවසුවා. එහෙත් තනි තටුවෙන් පියාඹන්න වැනි සිනමා පටයක් ඇතැම් තැනක ප්‍රචාරකවාදී වුණා. තනි තටුවෙ සිගැරට්ටුව එවැනි එක් අවස්ථාවක්.?

ඕක බොහොම සරල කාරණාවක්නෙ. ප්‍රේක්ෂකයකු දකින බොළඳ කාරණාවක්නෙ. එතැනින් නිරූපණය වුණේ සරල කාරණාවක්. ඒ කියන්නෙ ලංකාවේ ගැහැනියක් පිරිමියෙකුව දකින විදිය ඒකනෙ.

ගැහැනියකුට පුළුවන් ද හවස හයෙන් පස්සෙ පාරෙ තනියම ගමනක් යන්න. පිරිමියකුගෙ කරදරයකින් තොරව බස් රථයක යන්න. කෙටියෙන් ම කියනවා නම් සරල ජීවිතයක් ගෙවන්න ගැහැනියකට පුළුවන්ද? අන්න ඒ සමාජ පසුබිම ගැහැනියකට අහිමිවීම ගැනයි මේ සිනමා පටයෙන් කතා කෙරෙන්නෙ. ගැහැනියක ලෙස ජීවත්වීමේ දැඩි අසීරුතාව නිසයි ඇය පිරිමියකු ලෙස වෙස් වලා ගන්නෙ. එතැනදි පැහැදිලි වෙනවා පිරිමියකු ලෙස හෝ බේරී සිටීමට නොහැකි බව.

එහෙම නම් මේ සමාජ ගැටලුව ගැහැනියට පමණක් සීමා වෙලා නැහැ.

මෙහෙමයි. පිරිමියකු ට සාපේක්ෂව ගැහැනියක මුහුණ දෙන ගැටලු ප්‍රමාණය වැඩියි. ඒ නිසා තමයි තවමත් ගැහැනිය පිරිමියාගේ රැකවරණය පතන්නෙ. ගැහැනියට තිඛෙනවා ආත්මීය ගැටලුවක්. ඒ ගැටලුවට පිළිතුරු සොයන්න ඇයට කාලයක් නැහැ. කෝ ගැහැනියට සමානාත්මතාවක්? පාර්ලිමේන්තුවේ හෝ ඒ තත්ත්වය තිඛෙනවද? අඩුම තරමේ බාධා කිරීමකින් තොරව මන්ත්‍රීවරියකට කතා කිරීමේ නිදහසක් හෝ තියෙනවද?

ඔබ පැවසුවා ලාංකීය ගැහැනිය පිරිමියා දකින සරලම ආකාරයක් ගැන. එහෙත් මෙකල ගැහැනිය එවැනි ප්‍රාථමික දර්ශන තලවලින් ඔබ්බට ගිහින් පිරිමියා දකිනවා. නිර්මාණකරුවා සහ ඔබ තවමත් සිටින්නෙ වර්තමාන ගැහැනියට බොහෝ පිටුපසින්?

මම කතා කරන්නෙ පීතෘ මූලික සමාජයක සිටිමින්. ඒ සමාජය අර්ථ ගන්වා තිඛෙන විදිය ගැනයි නිර්මාණකරුවා කතා කරන්නෙ. මේ අර්ථ ගැන්වීම බොරුවක් බව පවසන නිර්මාණකරුවා එය කඩා බිඳ දමන ලෙසට සමාජයට කියා සිටිනවා.”

නිර්මාණකරුවාගේ හා ඔබේ මේ වෑයමට ගැහැනුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ගැහැනු කී දාහක් නම් මට කතා කරන්න ඇත්ද? කවි වලින්, ලිපිවලින්, ඇමතුමෙන් ඔවුන් බොහෝ දේ මට කිව්වා. තම ගැහැනුකම වෙනුවෙන් පෙනි සිටීමට තමන්ට කිසි දිනෙක බැරි බවත් ඔවුන් වෙනුවෙන් මා එය ඉටු කළ බවත් ඔවුන් මට පැවසුවා. ගැහැනුකම සම්බන්ධයෙන් ආසියාතික සම්ප්‍රදායික මත අභිබවා මේ නිර්මාණය ඉදිරියට ගියා. විදේශීය ජූරි පවා මේ ගැන සැලකිලිමත් වුණේ ඒ නිසා විය යුතුයි.”

මේ සිනමා පටයට ඔබ මෙහෙයවුණා පමණයි. ඔබ එහි නිළිය. ඊට අධ්‍යක්ෂවරයකුත් නිෂ්පාදකවරයකුත් සිටියා. පීතෘ මූලික සමාජයක ඔවුන් නැඟූ හ~ යථාර්ථවාදීයි කියලා. ඔබ හිතනවද?

ඔවුන් ගැන එදා තිබුණ හැඟීම මට අද නැහැ. මාව දූවිල්ලක් වී යෑම තමයි ඔවුන්ගෙ වර්තමාන ප්‍රාර්ථනාව. ඔවුන්ගෙ එදා හැසිරීමයි අද හැසිරීම වෙනස්. එහෙත් මගේ ස්ථාවරයන් වෙනස් වෙලා නැහැ. මම මගේ ආත්මය කඩා ඉහිරුවාගෙන නැහැ.”

එහෙත් පීතෘ මූලික සමාජයක ඔබ ඔවුන්ගේ නිර්මාණයක සම්පත්දායකයෙක් පමණයි. ඒ කියන්නෙ ඔබේ කැපවීම යථාර්ථයක් නොවෙයි?

නිළියක් විදියට මා නිර්මාණකරුවා විසින් මෙහෙය වුණා තමයි. හැබැයි මම ඒ නිර්මාණයට දායක වුණේ මගේ දෘෂ්ටිය අනුව මිසක ඔවුන්ගේ අවශ්‍යතාවකට නොවේ. මා ඒ රඟපෑම කළේ සමස්ත ගැහැනිය වෙනුවෙන්.

ඔබේ අරමුණු යථාර්ථයක් වෙයි කියලා හිතනවද?

මම අදටත් පවතින්නෙ ඒ අරමුණුවල. දුෂ්කරයි. ඒත් පවතිනවා.

විශේෂයෙන් දුන්හිඳ අද්දර, දියකැට පහන වැනි නාට්‍යවලට පසුව ඔබ දායක වූ නිර්මාණවල ඔබ ඔය කියන තරම් ගැඹුරක් හෝ දර්ශනයක් නොමැති බව මා කිව්වොත්?

නැහැ. මම එහෙම හිතන්නෙ නැහැ. මා රඟපෑ සිනමා පට වුණත් ශේෂ්ඨයි. මං හිතන්නෙ නැහැ ඒවට කව්රුත් අභියෝග කරයි කියලා.”

ඔබේ කෘතිය, පුනරුක්ති - මගේ කතාව ලියැවුණෙත් පෙර කියූ සමාජවාදී අරමුණු පෙරදැරි කරගෙන ද?

මගේ ජීවිත කතාව කවදා හෝ ලියන්න මගේ බලාපොරොත්තුවක් තිබුණා. ඒ කෘතියෙන් සමාජයට ප්‍රයෝජනයක් ඇති බවයි මගේ හැඟීම. මා කුඩා දැරියකව සිටිද්දී පවුල හා සමාජය මා පිළිගත් ආකාරය ගැනයි එහි සඳහන් වෙන්නෙ. ආසියාතික සමාජයක ගැහැනු දරුවකුගේ ඉරණම ගැන කතා කරන්න මට අවශ්‍ය වුණා. තෙලිජ්ජවිල පාසලේ දී අතවරයට ලක්වූ පාසල් දැරියගේ කතාව මේ කතාවට ආසන්නම උදාහරණයයි.”

ඔබ හිතන්නෙ මේ සමාජ ක්‍රමය ඇතුළත අනාරක්ෂිත ගැහැනු දරුවා පමණයි කියලද?

මම ගැහැනියක්. මම කතා කළේ මට ලැබුණ අත්දැකීම් මත. මම පිරිමියකු වුණා නම් මම ඒ ගැන කතා කරයි. හැබැයි මම ගැහැනියක් නිසා විශේෂයෙන් ගැහැනියක ලෙස මා ලැබූ අත්දැකීම් පිළිබඳවයි කතා කරන්නෙ. කෙසේ වුවත් මේ කෘතියෙන් සමස්ත දරු පරපුර ගැනම කතා කරනවා.”

මගේ කතාවර්‍ණ පෞද්ගලික ද්වේශසහගත රටාවකට, රාමුවකට කොටු 

නොවී පොදු සහ සාහිත්‍යමය නිර්මාණයක් වූවා නම් සාර්ථක කෘතියක් වේවි යැයි ඔබට සිතෙන්නෙ නැද්ද?

මට සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් කොහොමත් තිබුණෙ නැහැ. මේ කෘතිය පොදු කළා නම් මගේ කතාව වෙන්නෙත් නැහැ.

ඔබ මේ කෘතිය නිසා යම් සමාජ ස්ථරයකින් ප්‍රතික්ෂේප වෙන වග ඔබට දැනෙනවද?

ප්‍රශ්නයක් නැහැ. ගතානුගතික, තිරිසන් මූලධර්මවාදී අදහස් තියෙන පිරිසක් සිටින බව මා දන්නවා.”

එහෙම නොවෙන පිරිසකුත් ඉන්නවද?

පැහැදිලිවම ඉන්නවා. ඒ අයටයි මේ කතා කරන්නෙ. ගැහැනිය සම්බන්ධයෙන් සමානාත්මතාවයෙන් සිතන පිරිමි ලංකාවෙ නැහැ.”

මූලධර්මවාදී නැති පිරිමි සිටින බව ඔබේ පිළිතුරේ මුලින් කියැවුණා. ඒ කියන්නෙ ගැහැනුන් ගැන සමානාත්මතාවයෙන් හිතන පිරිමින් ඉන්නවා කියන එක නොවේද?

ඉන්නවා කියන එක නොවෙයි. එහෙම සමාජ විපර්යාසයක් වෙන ලෙසට මම පතනවා. මේ කෘතිය ලියැවුණෙත් ඒ වෙනුවෙන්.”

දරුවන් ගැන සිය කෘතියෙන් ඔබ කතා කරන්න බලාපොරොත්තු වුණා ඔබ ඔබේ දරුවන්ට ඔය කියන සාධාරණත්වය ඉටු කළා ද?

මම මගේ දරුවන් රැක්කා. කිසිම පිරිමියකුට මම දරුවන් වඩා ගන්න දුන්නෙ නැහැ. දරුවො අපහරණයට ලක්වෙන්න ඉඩ දුන්නෙ නැහැ. ඒ වගේ ම මගේ ඇගේ එල්ලී සිටින දරුවො මම හැදුවෙත් නැහැ.

පිටරටවල දරුවො අවුරුදු 13 වන විට ස්වාධීනයි. ඒ දරුවන්ට ආරක්ෂාව සමඟ සමාජ අත්දැකීම් ලබන්න පුළුවන් මට්ටමට ඒ මව්වරු දරුවන් හදනවා. මම මගේ දරුවො හැදුවෙ බුද්ධිමත්ව, ස්වාධීනව.

අවුරුදු 13 දී සමාජ අත්දැකීම් ලබන්න තරම් වැඩිහිටි බුද්ධිමය භාවයක් දරුවන්ට තිඛෙන බව ඔබ සිතනවද?

ඒ දැනුම මම දරුවන්ට දීලා තියෙනවා. මගේ දරුවො අද ඉන්න තත්ත්වය ගැන මට සතුටුයි.

ඔබේ අනාගතය කැප වෙන්නෙත් සමාජවාදී කලාවක් පිණිස ද?

ඔව්. ඒ ස්ථාවරයට, ප්‍රතිපත්තියට මම කවදාවත් පිටුපාන්නෙ නැහැ. අනාගතයේ මගෙ විශාල බලාපොරොත්තුවක් තියෙනවා. පුනරුක්ති - මගේ කතාව කෘතිය සිනමා පටයකට නැඟීම මගේ ඒ බලාපොරොත්තුවයි. හැම ගැහැනු දරුවකුටම ඒ කතාව ප්‍රයෝජනවත් වෙයි.



 



සුමේධා නවරත්න

Source : silumina