Tuesday, September 13, 2011

මහත්තයා නැති වෙද්දී මං දැනගෙන හිටියේ වාහන එළවන්නයි උයන්නයි විතරයි


අවුරුදු 70ක් මේ ලෝකෙ ජීවත්වන මනුෂ්‍යයකු දින 25,550ක් මෙලොවෙහි ගෙවා දමනු ඇත.

නාලකට අනුව, අම්මා ඒ දවස් 25,550 ගෙවා දමා දැන් ටික කලකි.

නිකම්ම නොවේ.

ගැහැනියකට කළ නොහැකි තරමේ මහා වැඩ කන්දරාවක් කරමිනි.

ඇයට මහන්සි නැත. විඩාව ද නොදැනේ. වැඩ කිරීම තරම් සතුටක් තවත් නැත.

එහෙයින් සෝමා එදිරිසිංහ අදත් කාර්යබහුලය. ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික කාන්තාවක සේ ඈ පෙරමුණේය.

ආචාර්ය පදවි - සභාපති ධූර සියල්ල පසෙක ලූ කල ඈ සරල අම්මෙකි.

ජීවක – දීපා - නාලක සහ අසංක දූ දරුවන්ට සමීපතම යෙහෙළියකි.

ජීවිතයේ බර මියෙන තුරුම නොදැනෙන වාසනාවත් ගැහැනු අතළොස්සක් කවදත් මෙලොව බිහිවේ. සෝමා ද එවැන්නියකි.

”මගේ මහත්තයා වගේ කෙනෙක් ලබන්න මං පින් කරල තිබුණා. මගේ දරුවොත් ඒ වගේ පියෙක් ලබන්න වාසනාවන්ත වුණා. ඇති තරම් සල්ලි තිබුණ කියල දරුවන්ට කවදාවත් අනවශ්‍ය විදිහට වියදම් කළේ නෑ.

හැම දරුවාටම තිබුණෙ සපත්තු ජෝඩු දෙකයි. එකක් ඉස්කෝලෙට. එකක් ගමනකට. ඒ අයගෙ සපත්තු ඒ අයම මැදගන්න තාත්තා නියම කරල තිබුණා.

වතුර ටිකක් ඕනෙ වුණත් තමන්ම ගිහින් අරගෙන බොනව මිසක් වැඩට ඉන්න අයට ගේන්න කියන්න තහනම්. පෑනක් ඉවර නම්, ඒ ඉවර වෙච්චි පෑන පෙන්නල තමයි අලුත් පෑනක් ගන්න ඕනෙ.

පුංචි කාලෙ ඉඳල දරුවො හැදුණෙ එහෙම. හැබැයි ඒ ගොල්ලන්ගෙ හොඳ කාලෙ එනකොටමයි තාත්තා වියෝවුණේ. මට අවුරුදු 44යි.

දරුවො හිටියා කියල නෙවෙයි. මහත්තයා මාව පොදු වැඩවලට සමාජ සේවා කටයුතුවලට යැවුවා. 1974 මං සිංහ සමාජයට සම්බන්ධ වුණෙත් ඒ නිසාමයි.

මට ඩ්‍රයිවින් උගන්වල වාහනයක් අරන් දුන්නා. යාලුවන්ගෙ පාටි විනෝද චාරිකා කිසිවක් අත්හැරියෙ නැහැ. මට ඕනෙ දේ හිතන්න විතරයි තිබුණෙ. හිතනවටත් වැඩිය හොඳින් එයා ඒ දේ සපුරල දුන්නා.

දරුවො හතර දෙනාටම කොළඹ කුරුඳුවත්තෙන් ගෙවල් හතරක් හදන්න ඕනෙ කියල තීරණය කළේ ඒ අය පුංචි අවධියේමයි. දරුවන්ට වගේම නෑ හිතවතුන් කාටත් හොඳින් සැලකුවා.

ඒත් 1986 ජනවාරි 23දා එයා සදහටම යන්න ගියා. මං දවස් ගාණක් ඔහේ හිටියා. කා එක්කවත් කතා කළේ නැතිව හොඳටම ඇඬුවා. මහා තනිකමකින් පාළුවකින් මුළු ජීවිතේම වැහිල ගියා වගේ දැනුණා. මහත්තයා නැති වෙද්දී මං දැනගෙන හිටියේ වාහන එළවන්නයි උයන්නයි. ඒත් නෑ හිතවතුන්, හාමුදුරුවරුන් නැවත නැවත මගේ හිත හදද්දි මටත් දැනුණා මෙහෙම ඉඳල හරියන් නැති වග. මං හිත හදාගත්තා. දරුවන් වෙනුවෙන් මේ හැම දේම ආරක්ෂා කරගෙන දියුණු කරනව කියල.

ජීවක පුතා විතරයි යමක් කමක් තේරෙන දරුවෙක් වුණේ. අනිත් අය පුංචියි. ඒත් හැමෝම ටිකෙන් ටික මේ ජීවිතේට හුරු වුණා. දරුවො පිටරට යවලා ඉගැන්නුවා.

ව්‍යාපාරවලට ආවට පස්සෙ කවුරුවත් තමන්ගෙ කොටස ඉල්ලගෙන වෙන් වෙන්න හිතුවෙ නැහැ. හැම වෙලාවෙම පවුලක් විදියට එකට හිටියා. ඒ සමඟිය තමයි අපිව මෙච්චර දුරක් ගෙනාවෙ...”

ඒ ඇත්තකි. අදත් අම්මා වටකොට සිටින ඇත් පවුර ඔවුන්ය.

ලාභ ලබන්නට ව්‍යාපාර පටන් ගත්තා සේ ම අම්මා හැදූ “සංහිඳ” වැඩිහිටි නිවාසයටත්, හදවත් සැත්කම් උපකාර ව්‍යාපෘතියටත් අක්ෂි රෝහලටත් දරුවන් එක හෙළා කැමැති වූයේ අම්මා සනසන්නට පමණක්ම නොව දාන ධර්ම දීම යුතුකමක් සේ වටහාගෙනය.

සුලෙයිමාන් ටෙරස්හි කාමර හයකින් යුතු විසල් නිවෙසේ අද ඈත් සේවක මඩුල්ලත් පමණි.

18 හැවිරිදි මනාලියක වී ඊ.ඒ.පී.එදිරිසිංහයන් හැදූ මේ නිවෙසට ආ දා තවමත් ඇයට අද ඊයෙ මෙනි.

ඔහුගේ මතකයත් සමඟ වසන මේ නිවෙස තරම් ප්‍රිය තැනක් ලොව කොතැනකවත් ඇයට නැත.

පාන්දර 5.45 වෙද්දී ඇඳෙන් බසින ඈ මුහුණ කට සෝදා අලුත් ඇඳුමක් අඳියි. මුල් පිටුව - ලෝක සිතියම , බෞද්ධ වැඩසටහන බලන අතරේම එදින පත්තරෙත් ඈ අතට ගනී. බුද්ධ පූජාවට තබන ඈ ඊළඟට යන්නී මුළුතැන්ගෙයි අඩුපාඩු බලන්නටය.

උදේ – දවල් - රෑ වේල් තුනට පිළියෙළ කරන කෑම වට්ටෝරු ඈ සේවිකාවට කියද්දී ඒවා කුස්සියේ එල්ලූ බෝඩ් එකේ සටහන් වෙයි. කිසිවක් ‘නෑ’ නොකියන්නට සියලු පහේ වර්ග ඈ ගබඩා කොට තබන්නී සති කිහිපයකට සෑහෙන්නටය. උයන්නිය, නැති අඩුපාඩු බලා මේ ඒවා දමාගත යුතු වේලාවයි.

සියල්ලට ගතවන්නේ විනාඩි 5කටත් අඩු කාලයකි. සතියට අවශ්‍ය සියලු දේ ගන්නට ආර්ථික මධ්‍යස්ථානයට යන්නට ඈ පුරුදුව සිටී. සුපර්මාර්කට් දැන් ඇයට රිසි නැත.

පොළේ ඇවිද එළවුළු මාළු පිනි ගැනීම ඊට වඩා සතුටකි. ඒ සියල්ල සෙනසුරාදාය.

සිංහ සමාජයේ මහ පුටුව දැරුවත්, ස්වර්ණමහල්, ස්වර්ණවාහිනිය ඇතුළු ඊ.ඒ.පී. සමූහයේ සභාපතිකම් දැරුවත් මේ කිසිවකට ඔය එකදු පට්ටමක් හෝ ඇයට බාධාවක්ව නැත.

සියල්ල තිබෙන්නේ සිතේය.

ඇතැමකු උඩින් යන්නේත් ඇති පදං සුර සැප තිබියදී තව කෙනකු බිමින් ඇවිද යනේන්ත් ඒ සිතනිසා මය.

සෝමා මේ හැම දේටම ඔට්ටුය. හමුවීම උගහට වුවත් හමු වූ කල ඈ සුහදය.

”නාලක කිව්ව වාගේ මගේ ජීවිතේ හැම කාලයක්ම මං උපරිම වැඩ කරල තියෙනවා. ඒ නිසා මට මං ගැන සතුටුයි. මගේ මහත්තයා, දරුවො ගැන සතුටුයි. ඊට වැඩි දෙයක් ගෑනියකට තියෙනවද...?”

 ඉදින්, ජීවිතය සොඳුරුය. සියලු කල්හි ඈ වාසනාවත්ය.

 

ඉනෝකා පෙරේරා බණ්ඩාර
Source: Silumina