Tuesday, September 13, 2011

අවිගත් පිරිසක්‌ මුරකරුට පහර දී යඨාල කෞතුකාගාරයේ තිබූ බුදු පිළිම සිරස පැහැර ගනිති



තිස්‌සමහාරාම යඨාල කෞතුකාගාරයට කඩාවැදුණු අවිගත් පිරිසක්‌ එහි තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මිල කළ නොහැකි බුද්ධ ප්‍රතිමා හිසක්‌ පැහැරගෙන ගොස්‌ තිබේ. ඉකුත් 10 දා අලුයම එකට පමණ කඩාවැදුණු මෙම අවිගත් පිරිස එහි සිටි මුරකරුගේ මුහුණ ආවරණය කර ඔහුට පහර දී අත්පා බැඳ දමා කෞතුකාගාරයෙහි ආවරණය සඳහා සවිකර තිබූ ලී බීරළු කඩා දමා ඊට ඇතුළු වී මෙම බුද්ධ ප්‍රතිමා හිස පැහැරගෙන ගොස්‌ ඇත.

රුහුණු රාජ්‍යයෙහි රජ පෙළපතෙහි ප්‍රථම රාජ්‍ය නායකයා වූ මහානාග මහ රජු විසින් ඉදිකරන ලද යටාල දාගැබ ආශ්‍රිතව කරන ලද කැණීම්වලදී පුරාවිද්‍යාඥයන්ට හමු වූ මෙම බුද්ධ ප්‍රතිමා හිස ක්‍රි.පූ. පස්‌වැනි හෝ හයවැනි ශත වර්ෂයට අයත් වූවක්‌ බවට විශ්වාස කෙරේ.

චන්ද්‍රකාන්ත පාෂාණයෙන් කලාත්මක ලෙස නිර්මාණය කර තිබූ මෙම බුද්ධ ප්‍රතිමා හිසෙහි අඩවන් වූ දෙනෙතෙහි මැණික්‌ ඔබවා තිබූ බවට පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.

මෙම බුද්ධ ප්‍රතිමා හිස විදේශ රටක පැවැති පුරාවිද්‍යා ප්‍රදර්ශනයකට ද මීට දශක දෙක තුනකට පෙර රැගෙන ගොස්‌ තිබේ.

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙම බුද්ධ ප්‍රතිමා හිස කොල්ලකරුවන් විසින් විදේශ රටකට රැගෙන යැම වළක්‌වාලීම සඳහා අවශ්‍ය පියවර තිස්‌සමහාරාම පොලිසිය මගින් ගෙන ඇත.

කොල්ලකරුවන්ගෙන් පහරකෑමට ලක්‌ව තුවාල ලැබූ මුරකරු තිස්‌සමහාරාම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.




දෙබරවැව - ඒ. ඒ. පේමසිරි

Source : Divaina