Saturday, September 24, 2011

රසිකයන්ගේ ආදරයට මම ගරු කරනවා

ඇය පබෝධා සංදීපනී’. පබෝධා කලා පවුලකට සම්බන්ධ දක්ෂ රංගන ශිල්පිනියකි. ඇය වේදිකාව, සිනමාව, රූපවාහිනිය යන මාධ්‍ය තුනෙහිම මේ වනවිටත් තම රංගන හැකියාව මනාව පෙන්නුම් කර හමාරය. මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘ආදර”ය චංචලා’ ටෙලිනාට්‍යයේ චංචලා ඇයය. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘රංගිර’ ටෙලිනාට්‍යයේ කාංචනා ඇයය. ‘සුසීමා’ චිත්‍රපටයේ සුසීමා ලෙස රඟන්නේ ද ඇයය.

පබෝධා මොනවද මේ දවස්වල කරන්නෙ?

මේ දවස්වල ‘ආදර”ය චංචලා’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. මම රඟපෑ ‘ආදර”ය චංචලා’ ටෙලිනාට්‍යයත් ‘රංගිර’ ටෙලිනාට්‍යයත් මේ දිනවල විකාශය වෙනවා.

‘රංගිර’ ටෙලිනාට්‍යයේ කාංචනා චරිතය මොනවගේ එකක් ද?

‘රංගිර’ ටෙලිනාට්‍යයට පසුබිම් වෙලා තියෙන්නෙ 70 දශකයේ මුල් භාගය. ඒ යුගයේ තිබුණු රදල පවුලක් සහ ගමේ දුප්පත් පවුලක් අතර ගෙතුණු කතාවක් තමයි මේ ටෙලිනාට්‍යයෙන් දිග හැරෙන්නෙ. මම නිරූපණය කරන කාංචනා කියන චරිතය ඉතා දිරිමත් ශක්තිමත් චරිතයක්. කාංචනා තමාට එන ගැටලුවලට ඉතාම සාර්ථකව මුහුණ දෙනවා. මෙහි කාංචනා ආදර කතාවෙන් අමුතු ලස්සනක් තියෙනවා. කාංචනා චරිතයට හොඳ සාධාරණයක් කරන්න ගැමි යුවතියකගෙ ගති ලක්ෂණ ටිකක් ගැඹුරින් සොයා යන්න මට සිදුවුණා. ඒ සෙවීමට මම කැමැතියි. මම හිතන්නෙ මගේ උත්සාහය සාර්ථක වුණා කියල.

කාංචනා චරිතයට ලැඛෙන ප්‍රතිචාර කොහොමද?

තවම ‘රංගිර’ ටෙලිනාට්‍යයේ කොටස් කීපයයි විකාශය වුණේ. මේ වනවිටත් හොඳ ප්‍රතිචාර ලැඛෙනව. මේ ටෙලිනාට්‍යයේ මගේ මවගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ලියෝනි කොතලාවල මහත්මිය. ඇය මේ ළඟදී දවසක මට රෑක ටෙලිෆෝන් කරල කිව්ව ර්‍ණපුතේ මේ ටෙලිනාට්‍යයේ ඔයා හොඳට චරිතය කරල තියෙනවර්‍ණ කියල. ඇයගේ ඒ අගය කිරීම මට හරිම ආඩම්බරයක්∙ සතුටක්.

මේ දිනවල ඔබ වැඩියෙන් ම ජනප්‍රිය ‘ආදර” චංචලා’ ටෙලිනාට්‍යයේ චංචලා නිසා. චංචලා පබෝධා වගේ ද?

නැහැ. එහෙම නැහැ. ඒත් මට ආවේණික ගති ලක්ෂණ ටිකක් විතර චංචලා චරිතයේ තියෙනව කියල මට හිතෙනව.

‘සුසීමා’ චිත්‍රපටයේ ‘සුසීමා’ චරිතය ඔබට කිසියම් අභියෝගයක් වුණා ද?

‘සුසීමා’ 80 දශකයේ ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වූ චිත්‍රකතාවක්. ටෙලි නාට්‍යයේ කොටස් විසි පහකින් තිහකින් විතර ප්‍රකාශ කළ කතාව චිත්‍රපටයේ පැය 2 කින් ප්‍රකාශ කිරීම විශාල අභියෝගයක්. ඒ අභියෝගයට ‘සුසීමා’ අධ්‍යක්ෂ රොහාන් වැලිවිට සාර්ථකව මුහුණ දුන්නා.

හැබැයි අපේ නළු නිළි පිරිස චිත්‍රපටයට රංගනයෙන් එකතු වුණේ ටෙලිනාට්‍ය ඔළුවේ තියාගෙන නෙමෙයි. තමන්ට දැනෙන විදියට තමයි ඒ හැම කෙනෙක් ම රඟපෑවේ. මමත් ‘සුසීමා’ චරිතය නිරූපණය කෙළේ පිටපතින් මට දැනුණු ආකාරයට. මම ‘සුසීමා’ නරඹන ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලන එකම දේ තමයි ටෙලිනාට්‍ය ඔළුවේ තියාගෙන චිත්‍රපටය බලන්න එපා කියන එක.

වේදිකාව ඔබට හුරු පුරුදු තැනක් නේද?

වේදිකාවට මම ගොඩක් ආසයි. ඒ වගේ ම වේදිකාවට මගෙ හිතේ තියෙන්නෙ විශාල ගෞරවයක්. පුංචිම කාලෙ ඉඳල මම වේදිකාව ඇසුරු කළා. අම්මල පුංචිල වේදිකා නාට්‍යවල රඟපාන කාලෙ මම වේදිකාවෙ දුව පැන පැන හිටිය. පසුකාලෙක මම වේදිකා නාට්‍ය කීපයකටම සම්බන්ධ වුණා. අන්තිමට සම්බන්ධ වුණේ මනෝරත්න මහතාගේ ‘මකරා’ වේදිකා නාට්‍යයට. ඉදිරියේදීත් ආරාධනයක් ලැබුණොත් හොඳ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න කැමැතියි.

ජනප්‍රියත්වය කරදරයක් කියල ඔබට හිතෙනවද?

මම කලා කටයුතුවලට එකතු වුණේ පුංචි කාලෙදීමයි. මගෙ අම්ම පුංචිල මෙරට කලාවට සම්බන්ධයි. ඒ නිසා ජනප්‍රියත්වය පුංචි කාලෙ ඉඳලම මට අලුත් දෙයක් නෙමෙයි. ඒ වගේ ම ජනප්‍රියත්වය මගෙ ජීවිතයට කරදරයක් කරගෙන නෑ. ඒ වගේ ම මගේ නිර්මාණවලට ආදරය කරන ප්‍රේක්ෂකයින් නිසයි මම අද මෙතැන රැඳිල ඉන්නෙ. ඒ නිසා ප්‍රේක්ෂකයින්ගෙ ආදරයට මම හැමවිටම ගරු කරනවා. ඒ නිසා ජනප්‍රියත්වය කරදරයක් කියල මම කොයිම වෙලාවකවත් හිතන්නෙ නෑ.

ඔබේ නිර්මාණ ජීවිතයට අම්මාගෙන් ලැඛෙන සහයෝගය මොනවගේ ද?

මගෙ අම්ම (ගීතා කාන්ති ජයකොඩි) තමයි මට තියෙන විශාලම ශක්තිය∙ මගෙ සෙවණැල්ල. මට ලැඛෙන ටෙලිනාට්‍යයක හෝ චිත්‍රපටයක පිටපතක් මුලින් ම කියවන්නෙ ඇය. ඊට පසුව තමයි මම ඒ නිර්මාණය ගැන හිතන්නෙ.

රූපගත කිරීමකට සහභාගි වනවිට ඔබට දැනෙන හැඟීම මොනවගේ ද?

චිත්‍රපට, ටෙලිනාට්‍ය ගණනාවකටම මම මේ වනවිට රංගනයෙන් දායක වෙලා තියෙනව. ඒත් අදත් රූපගත කිරීමකට කැමරාව ඉදිරියට ගියාම පළමු දවසෙ ඇති වුණා වගේ පුංචි චකිතයක් දැනෙනවා. ඒ සීන් එක හොඳින් කරන්න හැකි වෙයිද කියල හිතෙනව.

බිමල් ජයකොඩි සහ ඔබ තාත්තයි දුවයි හැටියටත් පෙම්වතුන් හැටියටත් රඟපෑවා නේද?

ඔව්. බිමල් අයියා මගෙ අම්මගෙ අයියගෙ පුතා∙ මස්සිනා. ‘පබළු’ ටෙලිනාට්‍යයේ බිමල් අයිය මගෙ තාත්තා. ‘සැණකෙළියයි මායා’ ටෙලිනාට්‍යයේ ඔහු මගේ පෙම්වතා. මම හිතන්නෙ මේක රංගන ශිල්පිනියකට ලැඛෙන විරල අවස්ථාවක් කියලයි. ‘සැණකෙළියයි මායා’ රූපගත කරනවිට මට පුංචි බයක් දැනුණා අධ්‍යක්ෂවරයා ටෙලිනාට්‍යයෙන් පෙන්නුම් කරන්න උත්සාහ කරන ‘ආදරය’ මගෙ රංගනයෙන් දෙන්න පුළුවන් වේවිද කියල. නමුත් මම හිතනව ඒ අභියෝගයට මම සාර්ථකව මුහුණ දුන්නා කියල.

ඔබට ආදරවන්තයෙක් ඉන්නවද? ඔබේ විවාහය ළඟදී සිදුවේවිද?

ආදරය, ප්‍රේමය හැමෝගෙම ජීවිත වලට අවශ්‍යයි. ඒ වගේ ම විවාහයත් අවශ්‍ය කාලයේදී සිදුවිය යුතුයි. ඉදිරි කාලයේ මගේ විවාහයත් සිදුවේවි.

මොනවගේ බලාපොරොත්තු ද ඔබට තියෙන්නෙ?

මේ දක්වා ඔබ කලාවේ සිටි කාලය තුළ මට හොඳ නිර්මාණ ලැබුණා. ඉදිරියේදීත් රංගනය පැත්තෙන් යමක් කළ හැකි හොඳ නිර්මාණවලට දායක වීමයි ලොකුම බලාපොරොත්තුව.



Source : Silumina